[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිරිසඟබෝ රජු හිස දන්දුන් ඓතිහාසික පුදබිමේ හත්ථිකුච්චි විහාරය

සිරිසඟබෝ රජු හිස දන්දුන් ඓතිහාසික පුදබිමේ හත්ථිකුච්චි විහාරය

ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලෑව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි හත්ථිකුච්චි විහාරය ඓතිහාසික බෞද්ධ පුදබිමකි.

අනුරාධපුර - පාදෙණිය මාර්ගයෙහි මහගල්කඩවල සිට කිලෝ මීටර් 3.5ක් දුරින් එසේත් නැත්නම් කුරුණෑගල අනුරාධපුර පාරේ 43 වැනි සැතපුම් කණුව අසලින් වූ බටහිර පාරේ සැතපුම් තුනක් පමණ ගිය විට මේ විහාරස්ථානය හමු වේ. අනුරාධපුර නගරයේ සිට සැතපුම් 13ක් පමණ දුරින් හත්ථිකුච්චි විහාරය පිහිටා තිබේ.

අක්කර 300ක් පමණ වූ මේ භූමි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක සාධක විසිරී පවතී. ක්‍රි. ව. 251 – 253 අතර සමයේ රජකම් කළ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි යැයි අදහසක් පවතින අතර, එය මහාවංශ ටීකාවේ ද සඳහන් වෙයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහත්වරුන් ද මේ බව පවසා තිබේ.

රජකම අත්හළ සිරිසඟබෝ රජු අනුරාධපුර නගරයෙන් පිටත්ව ගොස් රාත්‍රි කාලයේ ඔහු සිටි ස්ථානයේ දී භාවනානුයෝගී ව සිටි බව වංශකථාවල සඳහන් වේ. අනුරාධපුරයේ සිට බත්මුලක් රැගෙන පැමිණි දුගියකු පර්වත මුදුනකට පැමිණ ආහාර ගැනීමට සූදානම් වන මොහොතේ භාවනාවේ යෙදී සිටින තාපසයකු දැක තම බත්පතෙන් කොටසක් පූජා කර ඇත. ඒ තාපසයා දුගියාගෙන් අනුරාධපුරයේ තොරතුරු ඇසූ මොහොතේ පවසා ඇත්තේ සිරිසඟබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන අයකුට මසුරන් දහසක් දෙන බවට ගෝඨාභය රජු අණබෙර යැවූ බවත්, මේ හේතුවෙන් මහා මිනිස් ඝාතනයක් විය හැකි බවත් ය. සිරිසඟබෝ රජුට මේ මිනිස් ඝාතනය ගැන මහත් ශෝකයක් ඇති වුණි. ‘මා නිසා මිනිසුන් මිය යෑම වැළැක්විය යුතුයි” යැයි අධිෂ්ඨාන කරගෙන තම හිස සිඳ දුගියා අත තබා එය ගෙන ගොස් රජුට පෙන්වා කහවනු දහස ලබා ගන්නා ලෙස සිරිසඟබෝ රජු කී බව වංශකථාවල දැක්වේ.

දුගියා හිස ගෙනැවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටුවා ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව සඳහන් වේ. හත්ථිකුච්චි විහාර භූමියෙහි ඊට අනුරූප නටබුුන් ද දැකගත හැකි වේ.

මෙහි පිහිටි ලෙන්වල ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ලිපි ගණනාවක් හමු වී ඇත. ක්‍රි. ව. 9 වැනි සියවස දක්වා කාලයට අයත් ලිපි ද මෙම ස්ථානයෙන් හමු වී ඇත. ​

පළමු වැනි අග්ගබෝධි රජු මෙම භූමියේ ප්‍රාසාදයක් නිර්මාණය කර ඇති අතර, නව වැනි අග්ගබෝධි රජු එය සංරක්ෂණය කොට ඇත. දැනට මේ ස්ථානයේ මතුව ඇති නටබුුන් අතර පොහොය ගෙයක්, බුදු මැඳුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදාගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත. තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැඟිිලි සංඛ්‍යාවක් මෙම පූජා භූමියේ විසිරී පවතී.

මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් මෙහි තවමත් දක්නට ලැබේ. ‘’අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේ දී හමු වී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත් ම ආසන්නයේ පැරැණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසනවලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් ද, එක් පසෙක කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙතෙක් මෙවැනි නිර්මාණයක් මෙරට කිසිදු බෝධිඝරයක දක්නට නැති බව කියැවේ.

බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]