ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව වඩාත් බලවත් ය
“එතෙන සච්චෙන සුවත්ථි හොතු”
සත්‍යකීම මෙන්ම සත්‍යයෙහි පිහිටීම ද උසස් ගුණයකි. බොරු කීමෙන් වැළකීමක් වශයෙන් නොව
තමා කෙරෙහි කිසියම් විද්‍යමාන ගුණයක් හෝ ප්‍රතිපදාවක් හෝ ආරම්භයේ පටන් අඛණ්ඩ වශයෙන්
රැකගෙන පවත්වාගෙන එන අතර, එය
හෝ සාධක වශයෙන් හෘදයංගමව ඉදිරිපත් කොට “ඒ
සත්‍යානුභාවයෙන් මෙනම් දෙය සිද්ධ වේවා” යි වාචිකව ප්‍රකාශ කිරීම නැතහොත් සිහි කිරීම
“සත්‍ය ක්‍රියා” නම් වේ.
බුද්ධාදී උතුමන්ගේ හෝ දෙවි දේවතාවන්ගේ හෝ ගුණයක් හෝ සිද්ධියක් සාධක කොටගෙන සිදු
කිරීමක් නම් “එය බාහිර සත්‍ය ක්‍රියා” වශයෙන් සැලකිය යුතු වේ. පිරිත් දේව ස්තොත්‍ර,
ආදිය ඊට ඇතුළත් වේ. රතනසූත්‍රය ආදිය කීමේ දී බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ
කියා ඉදංපි බුද්ධෙ රතනං පණීතං.... එතෙන සච්චෙන සුවත්ථි හොතු” කියා සත්‍ය ක්‍රියා
කරයි. බෝධි පූජා, දේව පූජා ආදී ශාන්තිකර්ම ද, “බාහිර සත්‍ය ක්‍රියාවට” අයත් ය.
ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව ඊට වඩා බලසම්පන්නය. එසේම දුෂ්කර ය. එසේ සත්‍යක්‍රියා
කරන්නා තමන් ඒ කියන සත්‍යයෙහි පිහිටා එය සිදු කළ යුතු ය. සර්වප්‍රකාරයෙන්ම එම සාධකය
පවිත්‍ර සත්‍ය එකක් විය යුතු ය.
නැතහොත් එය තමාට හෝ අභිමතයාට ආශීර්වාදය, ශාන්තිය පිණිස හේතු නොවිය හැකිය. බොරු
දිව්රීමක් මෙන් ශාප පිණිස හෝ විය හැකි ය. ආධ්‍යාත්මික සත්‍යක්‍රියාවට උදාහරණ වශයෙන්
අංගුලිමාල තෙරුන් ගැබිනි මාතාවකට ප්‍රසූති පහසුව සඳහා ප්‍රකාශ කළ “යතො හං භගිනි
අරියාය ජාතියා ජාතො” ආදී පාඨය
දැක්විය හැකි ය. එය සාර්ථක විය. පසු කල එය භික්ෂූන්
වහන්සේ පිරිතක් ලෙස සකස් කරගෙන බාහිර සත්‍යක්‍රියාවක් ලෙස අද දක්වා භාවිත කෙරෙති.
එයින් කියවෙන්නේ තමන් ආරිය ජාතියේ උපන්දා පටන් හෙවත් බුදුන් හමුව මඟ ඵලලත් දින පටන්
ප්‍රාණියකුගේ දිවි තොර කළ බවක් නොදන්නා බවත්, ඒ සත්‍යයෙන් ඇයට ද ගැබට ද ශාන්තිය
වේවා’යි පැතූ බවත් ය.
තවද චක්කන නම් උපාසකතුමා ආධ්‍යාත්මික සත්‍යක්‍රියා බලයෙන් තම මෑණියන්ගේ රෝගය සුව
කළේ ය. ඒ මෙසේ ය. තම මෑණියන් රෝගී වූ අවස්ථාවක වෛද්‍යවරයා ඇයට සා මස් ආහාර පිණිස
දිය යුතු බව නියම කළේ ය. සාවෙකු මරාගෙන ඒමට ගොස් පුඬුවක් දමා සාවකු අල්ලත්ම තමා
සමාදන් වූ පංචශීලය සිහි වී සාවාට අභය දී ඒ අනුහසින් මෑණියන්ගේ රෝගය සුවවේවායි
පැතීය. ගෙදර ගොස් බලන විට මෑණියන් සුවපත් වී සිටිනවා දුටුවේ ය.
තවද වට්ටක ජාතකයට අනුව ළැව්ගින්නකින් වනය දැවීගෙන එද්දී තම දෙමාපිය වටුවන් දෙදෙනා
දිවි ගලවා ගැනීමට පැටියා හැර දමා පියාඹා ගිය අතර කැදැල්ලේ තනි වූ වටු පැටියා “සන්ති
පක්ඛා අපතනා” ආදී වශයෙන් නොහොත් පියාපත් ඇති නමුත් පියාඹිය නොහැකිව පා ඇතත් ඇවිදිය
නොහැකි ව මවුපියන් බැහැරට නික්මුණාහ යි පවසා ගින්න ආපසු හැරී යන ලෙස අයැදීය. ගින්න
මේ අහිංසක වටු පැටියාගේ ඛේදජනක ආයාචනයෙන් බොහෝ දුරට ආපසු හැරී ගියේ ය. මේ සිද්ධිය
‘වට්ටක පිරිත’ නමින් බෞද්ධයෝ භාවිත කරති.
තවද කන්හදීපායන ජාතක කතාවට අනුව මණ්ඩව්‍ය නම් පින්වතෙක් යඤ්ඤදත්ත නමැති තම කුඩා
පුතු හා බිරියත් සමඟ තම මිත්‍ර දීපායන නමැති තවුසාණන් බැහැදැකීමට ගියේ ය. ඔවුන්
පිළිසඳර කතා කරමින් සිටින අතර, දරුවා පන්දුවකින් ක්‍රීඩා කරමින් සිටියේ ය. අසල
තිබුණු විලකට පන්දුව වැටුණේ ය. එය ගැනීමට දරුවා විලට අත දමත්ම එහි සිටි සර්පයකු
දෂ්ට කිරීම නිසා දරුවා සිහිසන් නැතිව එතනම වැටුණේ ය. මෙය දුටු මව්පියන් දරුවා
ඔසවාගෙන ගොස් තාපසයන් පා මුල හොවා කෙසේ හෝ සත්‍යක්‍රියා කොට දරුවා සුවපත් කරදෙන ලෙස
ඉල්ලා සිටියහ. තාපසතුමා සත්‍යක්‍රියා කරමින් ‘සත්තාහ’ මේවාහං පසන්න චිත්තො
පුඤ්ඤත්ථිකො අවරිං බ්‍රහ්මචරියං ආදී වශයෙන් මා පැවිදිව ප්‍රසන්න සිතින් පින්
කැමැතිව මහණකම කළේ සත් දිනක් පමණ ය. ඉන්පසු පනස් වසකට අධික කාලයක් මා මහණකම කළේ
නොකැමැත්තෙන් ය. ඒ සත්‍යානුභාවයෙන් යඤ්ඤදත්ත දරුවාට සුව වේවා. විෂ නැසේවා. ඔහු
ජීවත් වේවා’යි කීවේ ය.
මේ සත්‍යක්‍රියාවත් සමඟම දරුවාගේ හිස පටන් පපුව දක්වා තිබූ විෂ පොළොවට බැස ගියේ ය.
දරුවා ඇස් හැර බලා “අම්මේ” කියා හැරී නැවතත් නිදා ගත්තේ ය. “මට කළ හැකි දේ මා කළා
ඔබට කළ හැකි දෙයක් ඔබත් කරන්නයි තාපසතුමා කී විට පියා ද සත්‍යක්‍රියා කරමින්
‘ආගන්තුකයන් මගේ ගෙට පැමිණි කළ ඔවුන්ට යමක් දීමට මට කවදාවත් කැමැත්තක් නොවීය.
නොකැමැත්තෙන් මම සංග්‍රහ කරනවා. එහෙත් ඒ බව කිසිවකුට නොදැනුනේ ය. ඒ සත්‍ය බලයෙන්
යඤ්ඤදත්ත දරුවාගේ විෂ නැසේවායි පියා කියත්ම තුනටියෙන් උඩ තිබූ විෂ බැස ගියා, ඔහුගේ
භාර්යාව හෙවත් දරුවාගේ මව සත්‍යක්‍රියා කරමින් “දරුව නුඹට දෂ්ට කළ ඒ සර්පයා
කෙරෙහිත්, නුඹගේ පියා කෙරෙහිත් මගේ අපි‍්‍රයතාව එක සමානයි. දෙදෙනාම මට අපි‍්‍රයයි.
එහෙත් ඒ බව මෙතෙක් කිසිවෙක් නොදනී. මම කිසිවෙකුට නොදැන්වූයෙමි. ඒ සත්‍යයෙන් නුඹගේ
විෂ බසීවායි කියත් ම දරුවා නැඟිට සෙල්ලම් කිරීමට පටන් ගත්තේ ය.
මත්ස්‍ය රාජ ජාතකයට අනුව නියං සමයක සියලු වැව් පොකුණුවල දිය සිඳී ගිය විට මත්ස්‍යයෝ
මඩ යට සැඟවී ගත්හ. කපුටෝ උකුස්සෝ මඩ පිට හිඳි මසුන් ඇද ඇද කන්ට වූහ. මේ විපත දැක
මත්ස්‍ය රාජයා සත්‍යක්‍රියා කරමින් ‘මා කිසිවිටෙකත් දැන දැන එක් ප්‍රාණියෙකුවක්
නොමැරුවෙමි. මේ සත්‍යයේ බලයෙන් වර්ෂාව වසීවා. කපුටන්ගේ නිධානය වනසා මසුන් ශෝකයෙන්
මුදවා’ කියා අදිටන් කරත්ම රට පුරා මහ වැසි වැස වැව් පොකුණුවල ජලය පිරී ගියේ ය. අදත්
මේ සිද්ධිය පදනම් කරගෙන ‘වැසි පිරිත’ නමින් බෞද්ධයෝ සාගත කාලයේ භාවිත කරති.
තවද මිලින්ද ප්‍රශ්න ග්‍රන්ථයේ සඳහන් වන සිද්ධියක් අනුව, දිනක් ධර්මාශෝක රජතුමා
මැති ඇමතීන් පිරිවරාගෙන ගංගා නදිය ඉවුරේ සැරිසරන අවස්ථාවක පහළට වේගයෙන් ගලා බැස යන
ජල ප්‍රවාහය දැක, මේ ජල ප්‍රවාහය ඉහළට ගලායන්ට සැලසිය හැකි කෙනකුන් සිටිනවා දැයි
පිරිසෙන් විමසූ විට එක්තරා බින්දුමතී නම් ගණිකාවක් සත්‍යක්‍රියාවක් කොට ගඟ ඉහළට
ගලන්ට සැලැස්වීය.
“එසේ කළේ කවුදැයි” යි සොයන විට ‘එය කළේ මා විසිනැයි ගණිකාව පැවසීය. ඇයගේ තොරතුරු
විමසා එබඳු අපවිත්‍ර චරිතයක් ඇති ගණිකාවකට එබඳු බලයක් ඇත්තේ කෙසේදැයි රජු ඇසූ විට
ඇය තමාගේ වෘත්තීය පිළිවෙත මෙසේ පැහැදිලි කළා ය.
මා ජීවිකාව සඳහා කරන්නේ ගණිකා වෘත්තියයි. මා වෙත පැමිණි කෙබඳු තරාතිරමක අයෙකු
වුවත්, කොපමණ අඩු මුදලක් හෝ අත්තිකාරම් දී ගොස් කොතෙක් කල් ගතවුවත්, ඔහු එන්ට කලින්
අන් අයෙකු පැමිණ කෙනෙක් වැඩි මුදලක් දෙන්නට පොරොන්දු වුවත් ඔහු හෝ එය පිළිනොගැනීම
මගේ ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්තිය සාධක කොට මම සත්‍යක්‍රියා කළෙමි. ගඟ ඉහළට
හැරෙන ලෙස අධිෂ්ඨාන කළෙමියි ප්‍රකාශ කළා ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
ලිපි ලේඛන ඇසුරිනි.
- හේමමාලා රන්දුණු |