ගමයි පන්සලයි යළි ගොඩනඟන දහම් සෙවණේ සිඟිත්තෝ

ගමයි පන්සලයි යළි ගොඩනඟන දහම් සෙවණේ සිඟිත්තෝ

ජපානයේ වැඩසිටින ආචාර්ය සුදුහුම්පොළ විමලසාර නාහිමියෝ පනාගොඩ බෝධිරාජාරාමය මුල් කර ගනිමින් ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ නමින් දූ දරුවන් යහමඟට ගෙන ඒමට පදනමක් ආරම්භ කළහ.

ඒ 1996 වසරේ දී ය. එහි අරමුණ වූයේ දිවයින පුරා සිටින සියලු දූ දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය හා සහජ කුසලතා සංවර්ධනයෙන් දක්ෂතා එළි දැක්වීමට කටයුතු කිරීමයි. එසේ ආරම්භ කළ ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ අද වන විට මෙරට ස්වේච්ඡාවෙන් නිහඬ සේවාවක් සපයනු ලැබේ. මේ වනවිට වසර 30ක් ගත ව ඇති ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ ශාඛා 8322ක් දක්වා ව්‍යාප්ත වී ඇත. පනාගොඩින් ආරම්භ වූ දූ දරුවන්ගේ කුසලතා වර්ධනය උදෙසා වූ මේ


ආචාර්ය
සුදුහුම්පොළ විමලසාර නාහිමි

වැඩසටහන පසුව මත්තෙගොඩ කිරිගම්පමුණුව දක්වා ගෙන යන්නට විමලසාර හිමියෝ කටයුතු කළහ. අද වන විට එම භූමිය බෞද්ධ පරිසරයකට අනුව හැඩගස්වා ඇත. විමලසාර හිමියන් ජපානයේ වැඩ වාසය කරන හෙයින් උන්වහන්සේ එරටින් ලබා ගත හැකි දායකත්වය ලබාගෙන මේ වැඩසටහන වැඩි දියුණු කළහ. අද වන විට දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ළදරු පාසල් මෙන්ම පාසල් විෂයයන්ට සමගාමී සියලු උපකාරක පන්ති දක්වා ව්‍යාප්තව තිබේ. එහි විශේෂිතම කරුණ වන්නේ ඒ කිසිවක් උදෙසා දූ දරුවන්ගෙන් හෝ මවුපියන්ගෙන් කිසිදු මුදලක් අය නො කිරීමයි.

විමලසාර හිමියන් පවසන්නේ තමන් වහන්සේ මේ කාර්යය සිදු කරන්නේ ගුණගරුක දූ දරු පරපුරක් මෙරට ස්ථාපිත කිරීමට පමණක් බවයි.

“දූ දරුවන් මේ කාර්යය සඳහා තෝරා ගැනීමේ දී අප ඉතාම ප්‍රවේශම් වනවා. අපි දන්නවා ඕනම තැනක විවිධාකාරයේ දූ දරුවන් ඉන්නවා. ඔවුන්ගේ කතාබහ මෙන්ම හැසිරීම් ගැන අප හොඳීන් නිරීක්ෂණය කිරීමෙන් පසුව තමයි ඔවුන් අදාළ ශ්‍රේණිවලට යොමු කරන්නේ. උදාහරණයක් හැටියට යම් පන්තියක හැසිරීම් රටාව, සංයමය වදන් භාවිතය හොඳීන් සිදු කරනු ලබන දූ දරුවන් හා එක්වරම එවන් වදන් භාවිතයෙන් තොර සිසු සිසුවියන් යොමු කරන්නේ නැහැ. ඔවුන්ට නො දැනෙන සේ සෙසු දරුවන් හා වැඩි සබඳතාවකට යොමු නො වන සේ ඔවුන් වෙනම ම ශ්‍රේණියකටයි අප යොමු කරන්නෙ. ඔවුන්ගේ හැසිරීම් රටාව, වදන් විලාශය අනෙක් අය මෙන් සකස් කරගත් විට ඔවුන් ද සෙසු සිසු සිසුවියන් හා එක්වීමට යොමු කරනවා. මේක හරියට සත්තිගුම්භ ජාතකයේ ගිරවු දෙන්නගෙ කතාවට සමාන ආකාරයේ ක්‍රියාවලියක්. ඒ කියන්නෙ දහම් සෙවණේ මේ දූ දරුවන් යහපත් ගුණාංග වඩනා විට ඔවුන් සියලු දෙනා එක්කර එකම දූ දරුවන් රොත්තක් මෙන් සමාජයට යොමු කිරීමයි අපේ අරමුණ වන්නේ.

මේ සඳහා සිසු දරු දැරියන් යොමු කිරීමෙන් මවුපියන්ට ටියුෂන් පංති වෙනුවෙන් වැය කරනු ලබන අතිවිශාල මුදලක් ඉතිරි කර ගැන්මට හැකි වෙනවා. ඒ වගේම සුරැකෙන ගුණ දහමින් පිරි දූ දරු පිරිසක් බිහි කරනවා. මේ වන විට 800ක පමණ පිරිසක් එසේ ගුණගරුක සමාජයක් කරා යොමු කර තියෙනවා. පාසලේ 1 වසරේ සිට 13 වසර දක්වා සියලු විෂයන් මෙහිදී ආවරණය කෙරෙනවා. එහිදී ආචාර්යවරුන් 32ක් විදුහල්පතිවරයෙක් හා අධ්‍යක්ෂවරුන්ගෙන් මේ ආයතනය සමන්විත වනවා.

දරුවන්ට මානසික සංවර්ධනය සහ දරුවන්ට කරුණාව දයාව මෛත්‍රීය සම්බන්ධ පැහැදිලි දැනුමක් අවශ්‍ය වනවා. ඒ උදෙසා තමයි අපි දූ දරුවන් පරිසරය හා සම්බන්ධ වන පරිදි කටයුතු කරන්නේ. එක් පැත්තක කුඹුරු යායක් සහ අනෙක් පැත්තෙන් දූ දරුවන්ට දුව පැන යාමට හැකි වන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීමයි අපේ අපේක්ෂාව වන්නේ. දරුවා තමන් පරිසරයේ කොටස්කාරයෙක් වගේම ගුණධර්ම තමන් විසින් අනුගමනය කළ යුතු බවට ඔවුන්ට වැටහීමට අවශ්‍ය පසුබිම මෙහිදී සකස් කර තියෙනවා.”

මත්තේගොඩ කිරිගම්පමුණුවෙන් ආරම්භ කරන ලද ‘දහම් සෙවණේ සිඟිත්තෝ‘ හරහා සිදු කෙරෙන මේ වෑයම සාර්ථක කර දෙන්නට නම් දූ දරුවන්ගේ ගුණ දහම් වැඩුමට අවශ්‍ය පසුබිම මවුපියන් විසින් ද සකස් කළ යුතු ම ය. වයස අවුරුදු දෙකේ සිට දූ දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත පවතින අතර එය පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව ඇති අතර පෙර පාසල පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා දූ දරුවන්ට විවෘත ය. අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබුණ ද ඒ අයදුම්පත් අතුරින් තෝරාගන්නා ලද අයදුම්පත් පමණක් සම්මුඛ පරීක්ෂණයන්ට භාජන කොට තෝරා ගනු ලැබේ. විමලසාර හිමියන් පවසන්නේ පවුල් පසුබිම අනුව දූ දරුවන් තෝරාගැනීම කරනු ලබන නමුත්, පවුල් පසුබිමේ ගැටලු ඇති දරුවන් ද හැකි උපරිම අයුරින් සදාචාර සංවර්ධනයට යොමු කරන්නට කටයුතු කරනු ලබන බවයි.

ජපානයේ දී ලත් අත්දැකීම් මෙන්ම ජපන් ජනතාව විසින් සිදු කරන්නා වූ ළමා ආකල්ප ගොඩනැඟීමේ ක්‍රමෝපායයන් මෙරටට හඳුන්වාදීමට පියවර ගනු ලැබේ. ආචාර්යවරුන් විදුහල්පතිවරයාට මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයට වැටුප් දීමනා ගෙවා අවශ්‍ය සියලු කටයුතු කිරීමෙහි ලා උන්වහන්සේ දක්වන්නේ අප්‍රතිහත කාර්යයකි. උන්වහන්සේ විසින්ම ජපානයේ සකස් කරගත් ආර්ථික ක්‍රමවේද අනුව මේ සඳහා ප්‍රතිපාදන සකස් කර ගන්නට කටයුතු කරති.

මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]