අභිමානවත් ජාතියක් ලෙස නැඟී සිටිමු

අභිමානවත් ජාතියක් ලෙස නැඟී සිටිමු

රටක නැඟී සිටීම කෙරෙහි ඒ රටවාසීන්ගේ චර්යාව තරම් බලපාන තවත් සාධකයක් නැත්තේ ය.

විනය, උගත්කම, බුද්ධිමත්කම, කුසලතා, නීතිගරුක බව ආදී වූ ගුණාංගවලින් යම් රටක ජනයා වැඩී යයි නම් එය නිසැකව ම එරට සමෘද්ධියට හේතු වන්නකි. දිනූ මව්බිමෙහි දියුණුව කැමැත්තෝ කළ යුත්තේ මේ ගුණාංගවලින් හික්මීම ය.

අපි දියුණුව සොයා යන රටක වැසියන් වෙමු. හුදෙක් එක්තරා රටක වැසියන් ම නොව, ලොව අන් කිසිදු බිමෙක මුල් බැසගෙන නැති, මෙරට පමණක් ම මුල් බැසගෙන සිටින, අති දුර්ලභ වූ සම්බුද්ධ රාජ්‍යයක පැවැත්ම රඳා පවත්නා පින්බර බිම්කඩෙහි ජන්ම දායාදය ලද මහා ජාතිය ද වෙමු. ශ්‍රේෂ්ඨ වංශකතාවක උරුමය ඇති ජාතියක් ද වෙමු.

ඒ සියල්ල ලබා සිටිය දී ම වේගයෙන් පිරිහීම කරා ම යන නිවට නියාළුකමින් යුතු ජාතියක් බවට අද අප පත්ව සිටීම අවාසනාවක් නොවේ ද?

අපට මේ දුර්භාග්‍ය සම්පන්න කලදසාව ඉක්මවාලිය නොහැකි ද? සෙසු ජාතීන් හා ගැටෙන්නවුන්, වාද විවාද කරන්නවුන් බවට පත් නො වී අදීන චින්තනයෙන් යුතු ව බලවත් ජාතියක් ලෙස ඒ සියල්ලන්ට ඉහළින් නැඟී සිටිය නොහැකි ද? අපට මේ සියල්ල කළ හැකි ය. එසේ බලවත් ජාතියක් ලෙසින් නැඟී සිටීමේ විභවතාව අප සතු ය. කළ යුත්තේ ඒ බලසම්පන්න නැඟී සිටීම වළකළන දුර්වලතා හඳුනාගෙන ඒවා දුරු කිරීම ය.

මෙහිලා බීමත්කමින් ප්‍රමාදයට පත් ජාතියක් වීමත්, අභිමානයකින් තොර ජාතියක් වීමත් අපේ සියලු දියුණුවීම් මැඩ පවත්වන ප්‍රමුඛ කාරණා බවට පත්ව තිබේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් පවුලේ ගෘහමූලිකයා බෙලහීනයකු බවට පත්ව ඇති අතර, උපදවන ආදායමින් ඉතා ඉහළ ප්‍රතිශතයක් ඒ වෙනුවෙන් වැය කරන විනාශකාරී බවකට ද ගොදුරු වී ඇත.

ශත වර්ෂාධික කාලයකට එපිට දී අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් පෙන්වා දෙන ලද්දේ ස්වකීය දුර්වලතා පිටු නොදැක්කොත් මේ දුර්භාග්‍ය සම්පන්න කලදසාව නිසැකයෙන් ම සිංහලයාට අත්වන බවයි. අද අපි එය ඇස් පනාපිට අත්විඳිමු. දැන්වත් නිවැරැදි නොවුණහොත් පරම ශ්‍රේෂ්ඨ සද්ධර්මයේ පැවැත්ම පවත්වාගෙන පැමිණි පින්බර ජාතියක අවසානය වැඩි ඈතක නො වනු ඇත. ඒ පාපයට හවුල් නොවනු වස් අප කළයුත්තේ ධීර වීර ගුණ ශෝභා ඇති ධර්මපාලතුමන් වැනි යුග පුරුෂයන්ගේ චින්තනය පෙරටු කොටගෙන නැඟී සිටීම ය. එසේ නොමැති ව පාලකකාරකාදීන් එවන් යුගයක් නිර්මාණය කරනු ඇතැයි හරසුන් අපේක්ෂා තබා ගත යුතු නැත.

මේ වෙනුවෙන්, තමන් සහමුලින් ම බීමත්කම බැහැර කොට අමද්‍යප ප්‍රතිපත්තිය දිවි දෙවෙනි කොට රකින්නකු වීමට තිර අදිටන් කරගත යුතු ය. තමන් වැනි ම දස දෙනකු බිහි කරලීම පරම යුතුකමක් කොට ක්‍රියා කළ යුතු ය. එසේ ම මිසදිටු ජාතියක් හමුවේ දණින් වැටෙමින් බැල මෙහෙවරකම් කොට මුදල් උපදවනා නීච තත්ත්වය සහමුලින් ම අත්හළ යුතු ය.

මෙසේ කටයුතු කරමින් තම තමන්ගේ දියුණුව උදෙසා ධාර්මික වැඩපිළිවෙළක නියැළෙන්නේ නම්, එවන් උදාර ජාතියක අභිවෘද්ධිය නසාලිය හැක්කෙක් නම් ලොව නැත. සිංහලයිනි, ඒ බලසම්පන්න භාවය අත්පත් කර ගනු පිණිස සිත කය යොදවනු මැනැවි.

මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]