නො ඇලීමේ සුවය
බුදුදහමේ ඉගැන්වෙන වැදගත් සංකල්පයක් වනුයේ “නො ඇලීම” යි. මෙම සංකල්පය, ලොව ඇති
වස්තූන්ගේ ගොඩනැඟීම පරමාර්ථමය වශයෙන් දැකීමෙන් උපදින තත්ත්වයක් වන බැවින්, සාමාන්‍ය
ව්‍යවහාර ඇසුරින් පැහැදිලි කිරීමට නොහැකි ය.
සාමාන්‍ය ව්‍යවහාරයෙහි ඇති ඇබ්බැහි නොවීම, පමණට භාවිත කිරීම යනාදිය ඉහත කී “නො
ඇලීම” නම් වූ සංකල්පය විස්තර කරන පද සේ නො සැලකිය යුතුය.
සමාජයෙහි ඇතැමෙක් පාලනයක් රහිත ව තම ඉන්ද්‍රියයන් පරිහරණය කරත්දී, තවකෙකු තමා අසන
දකින දෑ පිළිබඳ මනා සිහි නුවණින් යුතු ව, යම් පාලනයකට යටත් ව ඉන්ද්‍රියයන් පරිහරණය
කිරීම නුවණැති ක්‍රියාවකි. නමුත්, බුදුදහමේ විශේෂ කොට දක්වා ඇති මෙම “නො ඇලීම” වූ
කලී, පොතපත ඇසුරින් හෝ වැඩිහිටියන් ඇසුරින් හෝ ලබාගත් උපදෙස් නිසා, තම ලෞකික
අභිමතාර්ථ සාර්ථක කර ගැනීම පිණිස හෝ ආත්මාරක්ෂාව පිණිස හෝ අනුගමනය කරන සුවිශේෂි
උපායක් වැනි යමක් නොව, තෘෂ්ණාව නැවත හට නො ගන්නා පරිදි සිඳ දැමීම පිණිස, නිවන
අරමුණු කරගෙන වඩන කුසලතාවයකි.
සිතෙහි සිතිවිලිවල නො කැලඹුණු ස්වභාවයක් පවත්වාගෙන යාමට ස්වභාවික කැමැත්තක් ඇති
ශ්‍රාවකයන් වෙත බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ අවම සීල ප්‍රතිපත්තිය වනුයේ
“පංචසීල ප්‍රතිපත්තිය” යි. එය ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල සිතිවිලි ත්‍රිත්වය යම්
මට්ටමකින් ඉවත් කිරීම පිණිස හේතුවන ශීක්ෂාපද පහකින් සමන්විත ය. පංචසීල, ප්‍රතිපදාව
වුවද ප්‍රත්‍යවේක්ෂා කරමින් අනුගමනය කරන්නාට, කාම වස්තූන් පිළිබඳ ව ඇති ඇලීම සෑහෙන
පමණකට දුරුවේ. එසේ කාම වස්තූන් වෙත නො ඇලී සිටීමේ කුසලතාවය හුරු වූ තැනැත්තාට
තෘෂ්ණාව සහමුලින් ම දුරුකිරීම පිණිස පුහුණුකළ යුතු වඩාත් සංකීර්ණ වූ ධර්ම කොටස් වෙත
සිත යොමු කිරීම ද බෙහෙවින් පහසු ය.
ලෝකය කෙරෙහි නො ඇලීම, සිතට ඉතා සුව දනවන්නකි. නිර්වාණාවබෝධය ලත් සියලු උතුමෝ, ලෝකය
කෙරෙහි නො ඇලීම තුළින් සිතට ලැබෙන සුවය, මානසික නිදහස වර්ණනා කළහ. එසේ වූ “නො ඇලීම”
නම් වූ ගුණය පුහුණුවීම පිණිස අනුගමනය කළ යුතු නිසි පිළිවෙත් බුදුරජාණන් වහන්සේ
විසින් ලොවට හෙළි කළ වදාළහ. මෙකල ධර්මාවබෝධය මුහුකුරා ගිය බුද්ධ ශ්‍රාවක පිරිස අඩු
බැවින්, බුදුදහමෙහි අනකුත් ධර්ම කොටස් වරදවා වටහාගන්නා සේ “නො ඇලීම” නම් වූ ගුණය ද
වරදවා තේරුම් ගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි ය.
“නො ඇලීම” යනු, තමා ඇතුළු ලෝකය ප්‍රතික්ෂේප කිරීම හෝ අපි‍්‍රය කිරීම හෝ විවේචනය
කිරීම නොවේ. ඇතැමුන් පුරුදු වී ඇති පරිදි සම්මුති වශයෙන් පි‍්‍රයය’යි සම්මත
වස්තුවක් දුටුවිට එහි කුමක් හෝ අගුණක් සොයාගෙන එම වස්තුවට දෝෂාරෝපණ කිරීම නො ඇලීමට
කිසිසේත් උපකාර නොවන අතර, එමඟින් සිදුවනුයේ තම සිතිවිලිවල “ගැටීම” වැඩිවීම පමණි.
එනම්, නො ඇලීමට ය’යි සිතා කළ එම ක්‍රියාවෙන් අවසානයේ සිදුවී ඇත්තේ ගැටීම වැඩිකර
ගැනීමකි. ගෞතම බුද්ධ ශාසනයෙහි ම අග්‍ර උපස්ථායිකාව වූ විශාඛා සිටුදියණිය ලෝකයෙහි
සම්මත වශයෙන් රූපයෙන් අගතැන්පත් කාන්තාවකි. නමුත්, එතුමිය බුදුරජාණන්වහන්සේ හමුවට
යන අවස්ථාවලදී උන්වහන්සේ විශාඛාවගේ රූපවත් බව පිළිකුල් කළේ නැත.
එතුමිය තමන්වහන්සේ හමුවට ඒම තහනම් කළේද නැත. සිහිනුවණින් ඉඳුරන් පරිහරණය කළ
බුදුරජාණන් වහන්සේට විශාඛාවගේ ශෝභමාන වූ රූපය, සත්ත්වයකු කර්මානුරූපී ව ලද තවත් එක්
රූපයක්ම පමණක් විය.
ඇතැමුන්, ලෝකයෙහි ඇති පි‍්‍රයයැ’යි සම්මත වස්තූන්ට නො ඇලී සිටීම පිණිස ඒවා භාවිතයට
නො ගෙන සිටීමට තීරණය කරති. භාවිතයට නො ගැනීමෙන් එම වස්තූනට ඇති ඇල්ම ක්‍රම
ක්‍රමයෙන් අඩුවී යනු ඇතැ’යි ඔවුහු විශ්වාස කරති. නිදසුනක් ලෙස, යම් ආහාරයකට ඇති
ඇල්ම දුරුකිරීමට වුවමනා වූ විටෙක එම ආහාරය නො ගෙන සිටීම හෝ දුන් විටෙක ප්‍රතික්ෂේප
කිරීම ප්‍රතිඵලදායක නොවේ. ප්‍රතික්ෂේප කිරීම යනු පරිහරණය නො කිරීම් මාත්‍රය ම වේ.
යමක් ප්‍රතික්ෂේප කිරීම එම වස්තුවට ඇති කැමැත්ත තිබිය දී ම සිදුවිය හැකිය. එබැවින්,
යමක් ප්‍රතික්ෂේප කිරීමෙන් එයට ඇති කැමැත්ත, ආසාව නැතිවී යාමක් සිදු නොවේ.
බුද්ධකාලීන භාරත සමාජයෙහි සිටි ඇතැම් මිත්‍යාදෘෂ්ටික ශාස්තෘවරු ද මෙසේ ප්‍රතික්ෂේප
කිරීම තුළින් ලෝකය කෙරෙහි නො ඇලී සිටින්නට උත්සාහ දැරූ හ. නමුත් ඒ සියලු ක්‍රමවල
ඇති නිසරු බව බුදුරජාණන් වහන්සේ විසින් ධර්මානුකූලව පහදා දෙන ලදහ.
රූප, ශබ්ද, ආදී වස්තූන් ඇස, කන ආදී ඉන්ද්‍රියයන්හි ස්පර්ශ නො වන පරිදි එම ඉඳුරන්
වසා තැබීමට හැකියාවක් ලදහොත් එයින් ද, ඉන්ද්‍රියයන් මුලිනුපුටා දැමීමට හැකිවුවහොත්
එයින් ද, නො ඇලී සිටීම පිණිස කිසිදු උපකාරයක් නො ලැබේ. ඇස් මුලිනුපුටා දැමුවද රූප
බැලීමේ ආශාව දුුරුවීමක් සිදු නොවේ. එබැවින්, නො ඇලීමේ ගුණය වැඩීමට හේතුවන ස්ථිරසාර
ක්‍රමය නම්, එම වස්තූන්හි පරමාර්ථ සත්‍යය මනසින් දැකීම යි.
එසේ ලෝකයා පරමාර්ථමය වශයෙන් දැකීමට තම මනස හුරුවන තෙක්, බුද්ධ භාෂිතයෙහි ඇතුළත්
දේශනාවන් කියවා හෝ වැඩිහිටි ගුරුවර උපදෙස් පිළිගෙන හෝ, ඉඳුරන් සංවර කර නො ගැනීමේ
විපාක පිළිබඳ ව වටහාගෙන, කල්පනාකාරී ව කටයුතු කිරීමෙන් ද යම් පමණකට ඇලීම, දුරු කළ
හැකි ය. නමුත්, එම ක්‍රමවේදය සදාකාලික විසඳුමක් නොවේ. යම් හෙයකින් ඉඳුරන් පාලනය කර
ගැනීමේ උත්සාහයට වඩා ඉඳුරන් පිනවීමේ ආශාව වැඩිවුවහොත්, අනාගත විපාක ගැන නො සිතා ම
තම ආශාවන් සපුරා ගැනීමට යොමුවීම නිතැතින් ම සිදුවේ.
අප ද, “මේ පාර විතරයි“ යි කියමින් කො තරම් වාර ගණනක් අපගේ ම සීමාවන් ඉක්මවාගොස්
ඉඳුරන් පිනවා තිබේ ද, එසේ වූ අපට ඉඳුරන්ගේ සම්පූර්ණ පාලනයක් ඇතිකර ගැනීම සඳහා
සාමාන්‍ය අත්දැකීම් හෝ උපදේශ ප්‍රමාණවත් නො වන බව ඔබට වැටහෙනු ඇත. ලෝකයෙහි
වස්තූන්හි ස්වභාවය වඩාත් සියුම් ලෙස දකිමින් එහි පරමාර්ථ සත්‍යය දැකීමට අපට සිදු
වනුයේ එහෙයිනි.
බුදුරජාණන් වහන්සේ විසින් වැරදීමක් නැතිව දේශනා කළ ධර්මය වුවද වරදවා වටහා ගත හොත්
එමඟින් සිදුවන මානසික හා සමාජයීය හානිය ඉමහත් ය. ලෝකය වෙත නො ඇලීම සැනසිලිදායක
වුවද, “නො ඇලීම” යන්න වරදවා වටහා ගතහොත් තම ජීවිතය ද, මුළුමහත් ලෝකය ම ද අපි‍්‍රයවන
තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක. එබැවින් නො ඇලීමේ සුවය අත්විඳීම පිණිස අප
විසිනුදු නිවැරැදි ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.
- ටී. සේනානායක |