[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක පෝ දා 2026-02-16

 කම්පා නොවීමට නම්...

කීර්ති, ප්‍රශංසා, ගෞරව සේ ම සැප සම්පත් බලාපොරොත්තු වීම් සාමාන්‍ය මිනිස් ස්වභාවය යි. බුදුදහමට අනුව සෑම කල්හි ම එවැනි බලාපොරොත්තු එක ලෙස ම ඉටුවන්නේ නැත. ලාභය වෙනුවට අලාභය, යසස වෙනුවට අයස, ප්‍රශංසා වෙනුවට නින්දා, සැප වෙනුවට දුක ආදී ලෙස බලාපොරොත්තු කඩවීම වැළැක්විය නොහැකි ය.

එහෙත් තමන් යමක් බලාපොරොත්තු වෙනවානම්, ඒ අනුව තමන්ගේ ද චර්යාවන් හසුරුවා ගන්නට කෙනෙක් උත්සාහ ගන්නවානම් සමාජයෙන් ලැබෙන අපකීර්තිය, නින්දාව ආදී අප අකැමැති ධර්මතාවන් යම් පාලනයකට නතුකර ගැනීමට පුළුවන.

හොඳ - නරක, කළයුතු - නො කළයුතු දෙය තෝරා බේරා ගන්නටයි මිනිසාට උසස් මනසක් ලැබී තිබෙන්නේ. එසේ තිබිය දීත් කළ කම් හි විපාක නො දන්නා තිරිසන් සත්ත්වයකුගේ තත්ත්වයට ඇද වැටෙනවා නම් ඒ මිනිස්කමෙන් ඇති වැඩක් නැත.

නින්දා ලැබෙන ලෙස ජීවත් වෙනවානම් නින්දාව ම ලැබීම වැළැක්විය නොහැකි ය. එහෙත් යහපත් හැසිරීම් ඇති යම් කෙනකුට නිරපරාදේ යමෙක් අස්ථාන චෝදනා, නින්දා අපහාස කිරීමට පුළුවන. එය බොහෝ මිනිසුන්ගේ ස්වභාවය යි. එහෙත් ඒ නින්දා අපහාස ඉතාමත් තාවකාලික ය. රැයක් පුරා, තණපත් මත වැටුණු පිනි බිඳු හිරු දුටු සැණින් වියැකී යන්නා සේ පදනම් විරහිත ව ලැබෙන නින්දාවට, අපකීර්තියට ආයුෂ අඩු ය. එහෙයින් වඩාත් වැදගත් වන්නේ තමන් එවැනි දේ නො ලබන ලෙස ජීවත්වීමට උත්සාහ ගැනීම යි. අනෙක් අතට කවුරුන් කෙසේ කීවද තමන් හොඳනම්, තමන් ගේ පිළිවෙත පිළිබඳ තමන්ට සතුටු විය හැකිය.

ගිහි ජීවිතය සාර්ථක කර ගන්නට ආර්ථික දියුණුව අත්‍යවශ්‍ය ය. කුසීතකමින්, උත්සාහයෙන් තොරව ධනය ගැන සිතුවාට ලැබෙන්නේ නැත. මවුපිය උරුමයෙන් ලද ධනය වුවද වර්ධනය කර ගන්නට, රැක ගන්නට, අරපරෙස්සමෙන් පරිහරණය කරන්නට උත්සාහ නො ගන්නේ නම් ඒ ධනය පිරිහී යන්නේ ය.

නිවෙසෙහි, පාසලෙහි, කුඩා කණ්ඩායම් අතරෙහි ආදී ලෙස ඕනෑම තැනක හැසිරෙන්නට තමන්ට හොඳ විනයක් තිබිය යුතුය. තමන් විනය ආරක්ෂා නො කොට අවිනයැති මිනිසුන්ගේ කරදර විපත් එන කල, නුසුදුසු දේ සිදුවන කල ඒවාට ගැරහීමෙන් කම්පාවීමෙන් ඵලක් නැත.

ජීවනෝපාය සරිකර ගන්නා රැකියා ස්ථානය තුළ තමන්ගේ විනය රැක ගත නො හැකිනම් එහි පරිහානිය අත ළඟ ය. එහෙයින් වංචාවෙන්, දූෂණයෙන් තොරව උදාසීනත්වයෙන් තොරව කාර්යක්ෂම බවින් තම සේවය සලසන්නට හැකිනම් එහි ප්‍රතිඵලය තමන්ට ය.

බොහෝ කෙනෙක් සිදු කරන්නේ තමන් එතැනට පත් නොවී අනුන්ගේ වරදට ඇඟිල්ල දිගු කරන්නට ය. අනුන් නොව තම තමන් නිවැරැදි වනවානම්, තමන්ට තමන් අවංක වෙනවානම් සමාජය ම ක්‍රමයෙන් සංවරශීලි වනු ඇත. විනයවත් වනු ඇත. තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය නො දැක අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙන්ද දකින තාක් තමන් ද, සමාජය ද එකම තැන ය. දියුණුවක් නැත.

තමන් ගෙන යන්නේ තමන් රැස් කරන දේ ය. අස්වනු ලැබෙන්නේ වපුරන දෙයට අනුව ය. වපුරන ස්වභාවයට අනුව ය. හොඳක් වෙනවා දකින්නට තමන් හොඳ විය යුතු ම ය.

නවම් අමාවක

පෙබරවාරි 16 සඳුදා අ.භා. 05.32න් අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා. 05.28න් ගෙවේ.
16 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]