|
සුවපත් මනසක්
සුවබර දිවියක් - 43 කොටස:
මානසික අහුමුළුවලට සිහියේ
ආලෝකය දල්වන්න
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.
එක් දිනක් තුළදී ඔබගේ සිරුර සිට ගැනීම, වාඩි වීම, හාන්සිවීම, නැමීම, දිවීම, බඩගෑම,
අතපය විහිදීම වැනි නොයෙක් පෙරළිවලට බඳුන් වෙයි. මෙම නිරන්තර නර්තනය ගැන සිහියෙන්
සිටීමට අපට භාවනා ගුරුවරු
උගන්වති. දවස ගෙවන අතර ඔබගේ ඉරියව් ගැන පරීක්ෂාකර බැලීමට
විනාඩි කීපයක් වැය කරන්න. එය විනිශ්චයකින් තොරව සිදුකරන්න. මෙය ඔබගේ ඉරියව්ව
නිවැරැදි කිරීමේ හෝ ඔබගේ පෙනුම වර්ධනය කිරීමේ හෝ අභ්‍යාසයක් නොවේ.
ඔබගේ අවධානය සිරුර වෙත යොමු කර එය සිටින ඉරියව්ව ගැන දැනීමක් ඇති කර ගන්න. “වාඩිවී
සිටීම, ඇවිදීම, වැතිරී සිටීම හෝ සිටගෙන සිටීම” හෝ මනසින් පවසන්න. මෙය ඉතාමත් සරල
ලෙස හැඟුන ද එය සුළු කොට නො තකන්න. මෙය ප්‍රබල අභ්‍යාසයකි. ඔබ, සත්‍ය වශයෙන් ම මෙම
මානසික පුරුද්ද දියුණු කර ගත් කල ඔබගේ අත්දැකීම්වල පෙරළියක් සිදුවෙයි. මුළු මහත්
සංවේදනා තලයම ඔබට විවෘත වන විට අන්ධ ව සිට නැවත පෙනීම ලැබුවා සේ ඔබට දැනෙනු ඇත.
මන්දගාමී ක්‍රියා
ඔබ සිදුකරන සෑම ක්‍රියාවක් ම වෙන්වූ කොටස්වලින් සැදී ඇත. පාවහන් යුගලයේ ලේස් පටිය
ගැට ගැසීම වැනි ඉතා සරල ක්‍රියාවක් සියුම් චලන සංකීර්ණයකින් සෑදී තිබේ. සිහිය ඇතිකර
ගැනීමේ පුරුද්ද ඇති කර ගැනීමේ අරමුණින් ඔබගේ ක්‍රියා ඉතා සෙමෙන් සිදුකරන්න.
මේසයක් ඉදිරියේ වාඩි වී, තේ කෝප්පයක් පානය කිරීම උදාහරණයක් ලෙස ගනිමු. එහි
අත්දැකීමට බොහෝ දේ ඇත. ඔබ වාඩි වී සිටින ඉරියව්ව දැකගෙන කෝප්පයේ අඬුව ඇඟිලි
තුඩුවලින් ස්පර්ශ කරන්න. තේ කෝප්පයේ සුවඳ ආඝ්‍රාණය කර කෝප්පය, තේ, ඔබගේ අත හා මේසය
තිබෙන අන්දම දකින්න. අත එසවීමට සිතෙහි ඇති කැමැත්ත දැක, අත එසවී කෝප්පය තොල්පෙති
ස්පර්ශ කිරීම හා තේ කට තුළට පිවිසීම දැන ගන්න. තේ රස බලා අත පහත හෙළීමේ අභිප්‍රාය
සිතේ නැඟෙන අයුරු දැක ගන්න. සියුම් සංවේදනා සිතිවිලි හා හැඟීම් ධාරාව වෙත නො බිඳුණු
අවධානය සහමුලින් ම යොමු වූ විට, මෙය සුන්දර හද බැඳ ගන්නා අත්දැකීමක් වෙයි.
මෙම උපක්‍රමය ඔබගේ බොහෝ දිනපතා කටයුතුවල දී පාවිච්චි කළ හැක. සිතාමතා සෙමෙන් සිතීම,
කථාකිරීම හා චලනය මඟින් ඒවායේ ගැඹුරට යාමට ඔබට හැකි වෙයි. ඔබ එහිදී සොයා ගන්නා දේ
පුදුම සහගත වනු ඇත. පටන් ගැන්මේ දී මෙලෙස සිතාමතා මන්දගාමීව කටයුතු කිරීම අසීරු වුව
ද කාලයක් ගතවන විට ඔබ එම නිපුණත්වය අත්කර ගනු ඇත. වාඩි වී භාවනා කරන විට ප්‍රබල
අවබෝධය ලැබෙනු ඇත. නමුත් එලෙස එදිනෙදා කටයුතු මධ්‍යයේ ද අපගේ ඇතුළාන්ත ක්‍රියාවලිය
පරීක්ෂා කිරීමේදී ද එවන් ප්‍රබල අවබෝධවීම් පහළ විය හැක.
අපගේ ම චිත්තවේග හා තද ආශාවන් ක්‍රියාකරන ආකාරය නියමාකාරයෙන් දැකිය හැකි
පරීක්ෂණාගාරය මෙයයි. අපගේ තර්කනය කො තරම් විශ්වාසවන්ත ද යන්නත්, අපගේ සැබෑ චේතනාව
හා අපත් අනෙක් අයත් රැවටීම සඳහා මතුපිටින් පෙන්වන මවාපෑම අතර තිබෙන වෙනසත් මැන
බැලෙන තැන ද මෙයයි.
මෙහිදී හමුවන තොරතුරුවලින් සමහරක් විශ්මයජනක හා අනෙක්වා සිත්කරදරයට ද හේතු විය හැක.
එහෙත් ඒ සියල්ල ප්‍රයෝජනවත් ය. පිරිසිදු අවධානය සැඟවුණු මුළුවල ගොඩගැසී තිබෙන කුණු
කන්දල් පිළිවෙළකට සකසයි. එදිනෙදා කටයුතු මධ්‍යයේ දී ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා
අතර අහේතුක මානසික අහුමුළුවලට සිහියේ ආලෝකය දල්වා ශාන්ත බව හා බුද්ධිමත්ව ජීවත්වීමට
හැකියාව ලබා ගනියි. ඔබගේ මානසික අතෘප්තියට කො තරම් ඔබ වගකිව යුතු ද යන්න දැකීමට
පටන් ගනියි. ඔබගේ දුක, බිය හා ආතතීන් ඔබ විසින් ම සනාත කළ බව ඔබ දකියි. ඔබගේ දුක,
දුර්වලතා හා සීමාවන්වලට හේතුව ඔබම බව දකියි. මේ මානසික ක්‍රියා වඩාත් ගැඹුරින් දකින
විට ඒවායේ ග්‍රහණයට ඔබ අසුවීම ද අඩුවෙයි.
හුස්ම සම්බන්ධීකරණය
වාඩි වී භාවනාවේ යෙදෙන විට අපගේ ප්‍රධාන අරමුණ හුස්ම ය. නිරතුරුව ම වෙනස්වන හුස්ම
මත සිත එකඟ කිරීම අප ඍජුව ම වර්තමාන මොහොතට රැගෙන එයි. චලනයන් මැද දී ද මෙම නියමය
පාවිච්චි කළ හැකියි. ඔබ නිරත වී සිටින කාර්යය සමඟ හුස්ම ගැනීම සම්බන්ධ කළ හැක. එය
ඔබගේ චලනයට ගලා යන රිද්මයක් ලබා දෙන අතර, හදිසියේ සිදුවන ඉරියව් මාරු කිරීම පහසු
කරනු ඇත. ක්‍රියාවන් කෙරෙහි සිත එකඟ කිරීම පහසුවන අතර, සිහිය ද දියුණු වෙයි. එමනිසා
ඔබගේ දැනීම ලෙහෙසියෙන් වර්තමානයේ පවතිනු ඇත. සැබැවින් ම, භාවනාව විසිහතර පැයේ
පුහුණුවක් විය යුතු ය. මෙය ඉතාමත් ප්‍රායෝගික යෝජනාවකි.
සිහිය පිහිටුවා ගැනීම මානසික සූදානමකි. සිත කරදරවලින් හෝ බාහිර කල්පනාවලින් බර වී
නැත. පැනනඟින සෑම ස්වභාවයක් සමඟ ම ක්ෂණයකින් ගනුදෙනු කළ හැකි ය. ඔබ සැබැවින්ම
සිහියෙන් සිටින විට ස්නායු පද්ධතියේ හටගන්නා පිබිදීම හා ඉක්මනින් නැවත ප්‍රකෘති
තත්ත්වයට පත්වීම විසින් විනිවිද දකින නුවණ උපදවයි. ගැටලුවක් මතුවන විට ඔබ, එය
කඩිනමින්, දක්ෂ ලෙස හා අනවශ්‍ය කලබලයෙන් තොරව විසඳා ගනියි. වෙවුලමින් බලා සිටීමක්
හේ නිශ්ශබ්ද ව මුල්ලකට දිව ගොස් ඒ ගැන භාවනා කිරීමක් හෝ නො කරයි. ඔබ හුදෙක් ම එය
සමඟ ගනුදෙනු කරයි. විසඳුමක් නොපෙනෙන විරල අවස්ථාවල දී වුව ද ඔබ සිත කරදර කර නො
ගනියි. හුදෙක්ම ඔබගේ අවධානය අවශ්‍ය කරන ඊළඟ කරුණ කෙරෙහි යොමු කරයි. ඔබගේ සහජ ඥානය
ඉතාමත් ප්‍රායෝගික අධිකාරියක් බවට පත්ව ඇත. |