සදහම් ගුණ සිහිකරමින් භාවනා වඩමු

සදහම් ගුණ සිහිකරමින් භාවනා වඩමු

“පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම පවතිනවා.

ඒ එක ම එක දෙය නම් ධම්මානුස්සතිය යි”.

තවද ධම්මානුස්සති භාවනාවේ ආනිශංස සම්බුදුරජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය රජුට මෙලෙසින් ද වදාළා.

“මහානාමයෙනි, ආර්ය ශ්‍රාවකයා ධර්මයේ ගුණ සිහිකරමින් ධම්මානුස්සති වඩයි. එ සමයෙහි ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ධර්මයෙහි ගුණ අරබයා ඍජු බවට පත් වූයේ වෙයි. ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කරමින් සතුට ලබන්නේ ය. ධර්මය තුළින් සතුට ලබන්නේ ය. ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ ය. ප්‍රමුදිත වූ කෙනාට පී‍්‍රතිය උපදී. පී‍්‍රති සිත ඇති කෙනාගේ කය සන්සිඳෙයි. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි.

මහානාමයෙනි, මේ ආර්ය ශ්‍රාවකයා රාග ද්වේෂ මෝහ ආදියෙන්, විෂම බවට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද? දුක් සහිත ව ප්‍රජාව අතර නිදුක් ව වාසය කරයි කියා ද, දහම් සැඩ පහරට පැමිණියේ ධම්මානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.”

තවද ධම්මපද ගාථාවල දී ධම්මානුස්සතිය වඩන ශ්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද වදාළා.

“යමෙක් දවාලටත්, රාත්‍රියටත් නිතර ම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධවත්වයි පිබිදෙන්නේ.”

තවත් අවස්ථාවක දී විශාකා උපාසිකාවට ධම්මානුස්සතිය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් විශාඛා, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරනවා. එවිට ඔහුගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේශ ඇත්නම් ඒවා ප්‍රහාණය වෙනවා. මෙයට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා ධර්ම උපෝසථයෙන් වාසය කරනවා කියලා.”

ධම්මානුස්සති භාවනාව

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතා ම යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතා ම යහපත් ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතා ම යහපත් ය. එහි අවසාන කොටස නම් වූ ප්‍රඥාවත් ඉතා ම යහපත් කොට දක්වන ලදහ. අර්ථ සහිත ව පෙන්වා දෙන ලදහ. පැහැදිලි වචනවලින් පෙන්වා දෙන ලදහ. අතිශයින් ම පරිපූර්ණ වූ, පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතය පෙන්වා දෙන ලදහ.

භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළ හෙයින් ස්වක්ඛාත වන සේක. මෙසේ ස්වක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද ශ්‍රී සද්ධර්මය මේ ජීවිතය තුළ දී ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ශ්‍රී සද්ධර්මය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ හැකි වන සේක. ඒ ශ්‍රී සද්ධර්මය සෝවාන් මාර්ග ඵල, සකදාමී මාර්ගඵල, අනාගාමී මාර්ග - ඵල, අරහත් මාර්ග - ඵල වශයෙන් අවබෝධ කර ගත හැකි වන සේක. ඒ ශ්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. මෙසේ සන්දිට්ඨික වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ සන්දිට්ඨික වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය ඕනෑම කාලයක දී ඒ ආකාරයෙන් ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ධර්මයේ සඳහන් වන සීල, සමාධි, ප්‍රඥා හෝ මාර්ගඵල හෝ චතුරාර්ය සත්‍යයාදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකි වන සේක.

මෙසේ අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. මෙසේ අකාලික වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ අකාලික වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය, ඇවිත් බලන්නැ’යි දක්වාලන, දෙව් මිනිසුන් අතර විවෘතභාවයට පත් වුණ සේක.’

රහස් බණ, රහස් උපදෙස්, සැඟවී කතා බස් කිරීම් නොමැති මේ ශ්‍රී සද්ධර්මය හිරු මඬල දක්වන්නා සේ, සඳ මඬල දක්වන්නා සේ හඬ නඟා පෙන්වාදිය හැකි සේක.

මෙසේ ‘නුවණින් විමසා බලන්නැ’යි දෙව් මිනිස් ලෝකයා හමුවේ විවෘත ව තබන ලද නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය ඒහිපස්සික වන සේක.

මෙසේ ඒහිපස්සික වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඒහිපස්සික වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය මනා කොට ශ්‍රවණය කිරීමෙන් ද මනා කොට ධාරණය කිරීමෙන් ද, වචනයෙන් පුරුදු කිරීමෙන් ද, නුවණින් මෙනෙහි කිරීමෙන් ද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීමෙන් ද තම තමන්ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හෙයින් ඕපනයික වන සේක.

මෙසේ ඕපනයික වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඕපනයික වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වනාහි ඕනෑම ජාතියක, ඕනෑම ගෝත්‍රයක, ඕනෑම කුලයක, කපටි නැති, මායා නැති, අවංක ගති ඇති ප්‍රඥාවන්තයන් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහී වන සේක.

මෙසේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහී වන ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි වන ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.

නවම් අමාවක

පෙබරවාරි 16 සඳුදා අ.භා. 05.32න් අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා. 05.28න් ගෙවේ.
16 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]