[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිල කළ නොහැකි ජීවිත රක්ෂණය

මිල කළ නොහැකි ජීවිත රක්ෂණය

අසාරෙ සාරමතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා

නිසරු දේ සරු වශයෙනුත්, සරු දේ නිසරු වශයෙනුත් ගෙන වැරැදි සංකල්පවල එල්බගත් පුද්ගලයන් කිසිදා සරුඵල නොලබති.

ලොව්තුරු දහමෙහි සනාතනික හැඟීම වන්නේ මේ ලෝකය හා ලෝකයා අස්ථීර බව ය. තිර පැවැත්මක් නැති, අස්ථීර ලොවක් තුළ වෙසෙන අප ජීවිතයේ සැබෑ ස්වරූපය මනාව තේරුම් ගත යුතු ය.

සැබැවින් ම ජීවිතය යනු කුමක්ද? පින්වත් ඔබ මොහොතක් මේ ගැන සිතන්න. ඉහත ගාථාවෙන් ප්‍රකාශිත අයුරු, බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ පුද්ගලයකු ජීවිත අවබෝධය ලබා සරුඵල ලබන අයුරු ය.

අද බොහෝ මිනිසුන් වැරැදි ආකල්ප, වැරැදි අදහස්, වැරැදි තීන්දු නිසා නොමඟ ගොස් ඇත. වැරැදි මතවාද පතුරුවමින් නිසරු දේ පසුපස හඹාගොස් සිය ජීවිත අසාර්ථක කර ගෙන ඇත.

පුද්ගල ජීවිතයේ යහපත පිණිස පවතින බොහෝ සරු දේ ඇත. නමුත් ඒවා හැරදා ඇත. අද බොහෝ දෙනා නිර්මල දහම තිබිය දී පුද්ගලවාදී දෙසුම් කෙරෙහි ඇලීගැලී නොමඟ ගොස් තිබේ.

බුදුන් වහන්සේ වදාළ මැඳුම් පිළිවෙත අනුගමනය නොකොට වැරැදි මාර්ග ඔස්සේ ගමන් කරමින් පුද්ගල ජීවිත අවුලෙන් අවුලට පත්කර ගෙන ඇත.

පවිටු අදහස්, පවිටු සිතිවිලි වෙනුවට, සම්මා සංකප්ප හෙවත් යහපත් සංකල්පනා ඇතිකර ගත යුතු බව බුදුදහමේ එන මූලික දෙසුමකි. ඒ අනුව අප අපගේ පළමු පියවර වශයෙන් වැරැදි සංකල්පනා දුරු කළ යුතු ය. ඉන්පසු සරු දේ කුමක් දැයි සෙවිය යුතු ය. පංචකාම දුෂ්චරිතයෙන් ඈත් වීම එහි එක් පියවරකි. එනම් පංචසීල ප්‍රතිපදාව ගෘහස්ථ සීලය වශයෙන් ගෙන පළමුව රැකිය යුතු ය. මෙය ලොව සැමට ජීවිත රක්ෂණය ලබා දෙන පොදු දහමකි. එය සැමට අනුගමනය කළ හැකි යහපත් සංකල්පනාවකි.

අටලෝ දහමින් කම්පා නොවී ජීවත්වීම තවත් සරුඵල ලබා දෙන සංකල්පනාවකි. ලාභ අලාභ, අයස - යස, නින්දා - ප්‍රසංසා, සැප - දුක් කෙරෙහි මධ්‍යස්ථ සිතින් බැලීම හා එය ඉවසීම අටලෝ දහම ය.

අතීතයේ පටන් මේ දක්වා අප ලැබූ යහපත් අයහපත් ප්‍රතිඵල බොහෝ තිබේ. එබැවින් ලාභ ලබන පිළිවෙත එකකි. නිවන් දකින පිළිවෙත තවත් එකක් යැයි සිතිය යුතු ය. එය අවබෝධයෙන් පසක් කළ යුතු උතුම් සංකල්පනාවකි.

ගෙවුණු අතීතයේ අප මුහුණදුන් කොරෝනා වසංගතය ඉන් එකකි. අද අප මුහුණ දී සිටින ආර්ථික පීඩනය තවත් එකකි. ඒ අනුව අප හමුවේ ඇති සම්බාධක හඳුනාගෙන ඉන් කම්පා නොවී ජීවිතයට මුහුණ දිය යුතු ව ඇත.

ඒ හැර පුද්ගල ජීවිතයේ ස්වභාවය අප තේරුම් ගත යුතු ය. එය පංචස්ඛන්ධයක් තුළ ඔබ්බවා තිබෙන පංච ඉන්ද්‍රියන්ගෙන් පිරිපුන් අනිත්‍ය දුක්ඛ අනාත්මාදි ලකුණුවලින් හෙබි එකක් බව අප මෙහිදී අවබෝධ කරගත යුතු ය. පංචස්ඛන්ධය පෝෂණය කරනු විනා අන් දෙයක් අප නොකරන බව පසක් කර ගත යුතු ව ඇත. එය ප්‍රමාණවත් නොවන බවත්, දාන සීල භාවනාදි පින්කම් කළ යුතු බවත් අවධාරණය කළ යුතු ය. දස අකුසලින් දුරුව දස පුණ්‍යක්‍රියාවල නිරත විය යුතු ය.

එමෙන් ම අප දුබල සිතිවිලි අභියස වැටෙන, අන් අයගේ ක්‍රියාකාරීත්වය නිසා සැලෙන මනසකින් යුතු කෙනකු බව නිතර සිතිය යුතු ය. කර්මය හා කර්ම ඵලය විශ්වාස කරන අප ඒ කෙරෙහි ඇලිය යුතු ය. ඒ බැව් දැනගත් අප මේ සමාජයට ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය සහ උපේක්ෂාව බෙදිය යුතු ය. අනෙකා කෙරෙහි දයානුකම්පාව දැක්විය යුතු ය.

විපතේදී පිහිට විය යුතු ය. වෛරය, ක්‍රෝධය, හිංසාව දුරු කළ යුතු ය. සැමට මෙත්සිත පැතිර විය යුතු ය. වැරැදි මත බෙදා හැරීමෙන් වැළකිය යුතු ය. යහපත් ක්‍රියාවලින් යහපත් ප්‍රතිඵල උදාකර දෙන බව අප නිතර සිතිය යුතු ය. නරක සිතිවිලිවලින් ඈත් වූ විට මනස ද පවිත්‍ර ය. එබඳු සිතකින් කරන ක්‍රියාවල ප්‍රතිඵල සරු වශයෙන් ගත හැකි ය. එබැවින් ඔබ වපුරන හොඳ බිජුවල තරමට ම එහි අස්වැන්න නෙළාගත හැකි වනු ඇත.

ගෙවුණු කාලය පුරා ඔබ කළ හොඳ වැඩ මෙන් ම අවැඩ ද තිබෙන්නට පුළුවන. අවැඩ තුළින් ලැබූ අයහපත් ප්‍රතිඵල ද, යහපත තුළින් ලද සරු ප්‍රතිඵල ද ඔබ අද මේ වනවිට භුක්ති විඳීනවා ඇත. ඒ අනුව කළ යුත්තේ සරුඵල ලබා දෙන දේ පමණක් රැගෙන නූපන් අනාගතයට ප්‍රවේෂ වීම ය.

දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]