[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදු දහම ව්‍යාප්ත කිරීමටයොවුන් ප්‍රජාව දුන් දායකත්වය අප්‍රමාණයි

බුදු දහමේ ව්‍යාප්තියට යොවුන් ප්‍රජාවේ දායකත්වය

 

තරුණ වියෙහි ජීවත්වන පිරිමින් හැඳින්වීම සඳහා තරුණයා, ගැටයා, ගැටවරයා, යෞවනයා, මානවකයා, කොල්ලා යනාදී ව්‍යවහාර ද, ගැහැනුන් හැඳින්වීම සඳහා තරුණිය, යෞවනිය, මානවිකාව, ගැටිස්සිය, කෙල්ල යනාදී නම් ද වහරනු ලැබේ.

මෙම සියලු පර්යාය පදවල අර්ථමය වශයෙන් ඔවුන්ගේ ගති ලක්ෂණ සමඟ කිසියම් සම්බන්ධයක් දක්නට ලැබේ. යොවුන් පුද්ගලයන් තුළ පවතින ගුණාංග අතර සුවිශේෂී ලක්ෂණය වන්නේ කායික ජවසම්පන්න භාවයයි. (ජවො) එහෙත් මීට වඩා බොහෝ ලක්ෂණ තරුණ පුද්ගලයන් තුළ දක්නා ලැබේ. පෙනුම (රුපවා) නව්‍ය බව (යොබ්බඤ්ඤං) ධෛර්ය සම්පන්න බව (ධිතිමා) ක්‍රියාශීලිත්වය, කාර්යශූරත්වය (සුරො) මෙම වයසේ සිටින පුද්ගලයකුට උපරිමයෙන් හිමිවේ. මෙම නිසා ලෝකයෙහි කවදත් තරුණයන් හා තරුණියන් විෂයයෙහි විවිධ ක්ෂේත්‍රවල වැඩි ඉල්ලුමක් පවතී. ස්වකීය ගෘහයෙහි දී පමණක් නොව විවාහය, අධ්‍යාපනය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ද, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද තරුණයන් විෂයෙහි දක්වන ඉල්ලුම ප්‍රබල වේ. ඔවුන්ගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය තියුණු වීම මෙයට හේතුවයි. එහෙයින්ම තරුණ විය ඉක්මවා යාම මානසික කනස්සල්ලකට හේතුවන බැවින් වයස්ගත පුද්ගලයෝ ද තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට විවිධ උත්සාහයන් දැරීම සමාජයේ සුලබව දක්නට ලැබෙන කරුණකි. එයින් ඇඟවෙන්නේ භෞතිකත්වයට වටිනාකම් ලබා දෙන ජීවන රටාවක් නිර්මාණය වන විට වයස් සීමාවන් මනුෂ්‍යත්වයේ වටිනාකම ද තීරණය කරනු බවයි. මේ නිසා තරුණයකු හෝ තරුණියක හෝ තම යෞවන විය සහ එහි වටිනාකම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව සිටීම අතිශය ප්‍රයෝජනවත් වේ.

තරුණ විය යනු ළමා සහ වැඩිහිටි කාලය අතරතුර කාල සීමාවයි. මෙම කාල සීමාව සම්බන්ධයෙන් විවිධ මත පවතී. යුනෙස්කෝ සංවිධානය පිළිගත් පරිදි වයස අවුරුදු 15 - 24 කාලය අතර ජීවත් වන පුද්ගලයා අයත් වන්නේ තරුණ වියට ය. තරුණ ප්‍රජාව නව්‍යකරණය උදෙසා අදහස් මතුවන උල්පත බවත් ඔවුන් අද දවසේ චින්තකයන් බවත් අර්බුද විසඳන්නන් බවත්, සාමයේ උත්ප්‍රේරකයන් බවත් පිළිගන්නා යුනෙස්කො සංවිධානය තරුණ විය සම්බන්ධයෙන් විමසන විට ඔවුන්ට හිමි වයස් සීමාවක් ඇතත් සැබැවින්ම ඵලදායක වන්නේ ඔහුගේ හෝ ඇයගේ වයස් සීමාව නොවේ. ඇතැමුන්ගේ නිර්වචන අනුව යොවුන් විය යන්නෙන් සැලකෙනුයේ වයස අවුරුදු 18 සිට 24 දක්වා කාලයයි. තවත් සමහරු 20 සිට 40 දක්වා කාලය තරුණ විය ලෙස සලකති. එහෙත් වැදගත් කාරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ කායික මානසික සෞඛ්‍ය බව සිතීම වඩාත් යෝග්‍ය වේ. කුමක් නිසාද යත් තරුණ වියෙහි සිටින ඇතැම් අය මහල්ලන් මෙන් අක්‍රිය තත්ත්වයෙන් ද තරුණ විය ඉක්මගිය, මුහුකුරා ගිය වයසෙහි සිටින ඇතැම් අය තරුණයන් මෙන් ජව සම්පන්න ව, සමහර විට ස්වකීය බුද්ධිමය හා ශ්‍රමික දායකත්වය මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා කැපකරවන හෙයිනි. තරුණ විය රටක් වෙනුවෙන් ඵලදායක මෙහෙවරක් කළ හැකි වටිනා කාලයක් වුව ද ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල තරුණ ප්‍රජාව පිළිබඳ මෙතෙක් විධිමත් ප්‍රතිපත්තියක් හෝ ප්‍රඥප්ති හෝ සැකසී නැත.

එසේම තරුණ ප්‍රජාව මුහුණපාන දැවෙන අභියෝග හා ගැටලු පිළිබඳ අවධානයක් යොමු වී ද ඇත.

තරුණ විය හඳුනා ගැනීමෙහි දී වඩාත් සිත් ගන්නා සුලු අදහසක් බුද්ධඝෝෂ හිමියන් විසින් විසුද්ධිමග්ගයේ ජීවිත දසක යටතේ දක්වා ඇත. ඒ අනුව කෙනෙකු ජීවත්විය හැකි උපරිම කාලසීමාව වර්ෂ 100ක් ලෙස උපකල්පනය කෙරේ. එම වර්ෂ සියය වර්ෂ දහය බැගින් වන දසක දහයකට බෙදා දක්වා ඇත.

මන්දදසක (අවුරුදු 01 - 10 අතර කාලය)

බොළඳ ළමයෙකු ලෙස ක්‍රියා කරයි.

බිඩිඪාදසක (අවුරුදු 10 - 20 අතර කාලය) ක්‍රීඩාශීලී ළමයෙකි.

වණ්ණදසක (අවුරුදු 20 - 30 අතර කාලය)

කායික වර්ණ කෙරේ සැලකිලිමත් වෙයි.

බලදසක (අවුරුදු 30 - 40 අතර කාලය) ශක්තිමත් වෙයි.

පඤ්ඤාදසක (අවුරුදු 40 - 50 අතර කාලය ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කරයි.)

හානිදසක (අවු. 50 - 60 අතර කාලය) කායික පරිහානිය ආරම්භ වෙයි.

පබ්හාරදසක (අවු. 60 - 70 අතර කාලය)

කය ඉදිරියට නැමෙයි.

පවඩ්කදසක (අවු. 70 - 80 අතර කාලය) වකුටු වෙයි.

මොමුහදසක (අවු. 80 - 90 අතර කාලය ) සිහි කල්පනාව අඩුවේ.

සයනදසක (අවු. 90- 100 අතර කාලය)

වැඩි වශයෙන් සයනයෙහි වෙසේ.

ඉහත විග්‍රහය අනුව මිනිසකුගේ කායික හානිය ආරම්භ වන්නේ වර්ෂ 50ක් ගත වූ පසුව ය. වර්තමානය වන විට පරමායුෂ වර්ෂ සියයක් ලෙස නොසැලකෙන හෙයින් එය වර්ෂ 40කින් පසුව සිදුවේ යැයි සැලකුව ද වරදක් නැත. බෞද්ධ සාහිත්‍යගත සාධක අනුව වර්ෂ 16 සිට 35 තරම් වන කාලය භද්‍ර යෞවනය ලෙස සැලකිය හැකි ය. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය 29 වන වියේ දී සිදුවීමත් මෙම වයස භද්‍ර යෞවනය ලෙස සලකා තිබීමත් මෙයට සාධකයකි. එතැන් සිට මුහුකුරා ගිය කෙනෙකු වශයෙන් සැලකේ. වයස මුහුකුරා ගිය තැනැත්තෝ බොහෝ විට ජීවිත අත්දැකීම් සහිතව සංයමය උපදවා ගනිති. එහෙත් තරුණයෝ එසේ නොවෙති. ඔවුන්ගේ බුද්ධියට වඩා හදවත සක්‍රිය වේ. බුද්ධියෙන් සිතාමතා තීරණ ගත යුතු වුවත් හදවතට දැනෙන දේ අනුව තීන්දු තීරණ ගැනීමට ඔවුහු රුචි කරති. යමෙකුට වයස අවුරුදු 18 දී විප්ලවීය අදහස් පහළ වේ නම්, ඔහුට බුද්ධියත් නැතැයි වරක් බර්නාඩ් ෂෝ පැවසුවේ මේ නිසා විය යුතු ය.

මෙම නිසා බුද්ධියෙන් තීරණ ගැනීම සඳහා තරුණයන්ට උපදෙස් සැපයීමට වැඩිහිටියෝ උත්සුක වෙති. එබැවින් තරුණ විය, ජීවිත කාලය තුළ පුද්ගලයකු ලබන ජවසම්පන්න ම කාලය වුවත් කායික මානසික සංයමයක් මෙම කාලය තුළ තිබීම වැදගත් වේ.

ථෙරවාදී බෞද්ධ මුලාශ්‍රයන්හි සුපුෂ්පිත යෞවනත්වය හෝ ගොඩනැඟීමට අවශ්‍ය කරුණු ගොඩගැසී ඇතත් අවාසනාවකට තවමත් ඒවා බොහොමයක් සැඟ වී ඇත. බුදුන් වහන්සේ ආගමික ශාස්තෘවරයකු වශයෙන් පමණක් නොව සමාජ විශ්ලේෂකයකු හා මනෝවිද්‍යාඥයකු වශයෙන් ද තාරුණ්‍යයේ ප්‍රභූත්වය, ශක්තිය, අපේක්ෂා, හැඟීම්, ආවේග යනාදිය කෙරේ දැඩි අවධානය යොමු කොට ඇත. චින්තන විප්ලවයකට තුඩුදුන් බුදුදහම භාරතය තුළ ස්ථාවර කිරීමට එකතු කරගත් පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තරුණයන් හා තරුණියන් බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වේ.

ප්‍රථම භික්ෂූන් හැටනම අතර දෙතුන් දෙනෙකු හැරුණුවිට අනෙක් සියල්ලෝ ම නිසැක වශයෙන් ම තරුණයෝ ය. යසකුල පුත්‍රයා සහ ඔහුගේ මිත්‍රයන් පනස් එක් දෙනෙකු එකවර සසුනට ඇතුළත් වූහ. බුදුරදුන් කෙරෙහි පැහැදුණු තුන් බෑ ජටිලයන් ඇතුළු පිරිස එක් දහස් දෙසිය පනහක් වේ.

බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා මෙම යොවුන් ප්‍රජාව දුන් දායකත්වය අප්‍රමාණ වේ. ක්‍රි.පූ. සියවස ආගමික ක්ෂේත්‍රය තුළ නව හැරවුම්කරුවෙකු ලෙස අන්‍යාගමික නායකයින්ගේ ද අවධානයට බුදුන් වහන්සේ යොමුවීමට කරුණු රාශියක් බලපෑ අතර උන්වහන්සේ තුළ පැවති යොවුන් බව ද ප්‍රධාන කරුණකි.

බ්‍රාහ්මණ ආගමික නායකයකු වන කූටදන්ත විශාල අනුගාමිකයන් පිරිසකගේ විරෝධතාව ද නොසලකා බුදුන්වහන්සේ බැහැදැකීමට යාම සඳහා තීරණය කරන ලද්දේ තරුණ ආගමික නායකයකු වීම ද සැලකිල්ලට ගැනීමෙනි.

ශ්‍රී ලංකාවේ දැවැන්ත සංස්කෘතික ප්‍රතිසංස්කරණයක් සිදුකළ මහා මහින්ද හිමියන් සියලු ක්‍රියාදාමයන් සිදු කළේ භද්‍ර යෞවනයේ දී බව අපි දනිමු. රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් ආක්‍රමණය කරමින් සිය නාමය ස්ථාපිත කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජීවිත කාලය වයස අවුරුදු තිස් දෙකකින් නිමාවට පත්විය. එබැවින් තරුණ විය නිකරුණේ මලානික වීමට ඉඩ දීම දුර්වල මිනිසකුගේ ලක්ෂණයක් බව පෙනේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]