[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙව්ලොවට මඟ සැදූ දානයක අනුසස්

දෙව්ලොවට මඟ සැදූ දානයක අනුසස්

භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වසන සේක්, රජගහ නුවර එක්තරා පවුලක් අහිවාතක රෝගයට ගොදුරුවිය. මෙහි එක් ස්ත්‍රියක් හැර අන් සියල්ලෝ මිය ගියහ. ඇය නිවෙස හා එහි ඇති ධනය සියල්ල හැරදා මරණ බියෙන් බිය පත්ව බිත්ති හිඩැසකින් පැනගොස් අනාථ වී අනුන්ගේ නිවසක් අසලට ගොස් නිවස පිටුපස වාසය කළාය.

එම නිවසෙහි සිටි කාරුණික පුරුෂයෙක් ගෙදර ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දෙන්නේය. කැඳ බත් කා මැය මෙහි ම ජීවත් වූවා ය. මෙකල්හි සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදි (සත් දිනක් නිරාහාරව ප්‍රීති සුඛයෙන් විසීම මෙහි එක් ස්වභාවයකි.) සිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැඟිට අද මා කවරකුගේ ආහාරයක් පිළිගෙන කවරකුට අනුග්‍රහ දක්වන්නමෝ දැයි බලන්නේ, නිරයෙහි ඉපදීමට හේතුවන කර්ම ඇති මරණයට ආසන්න ව සිටි මේ ස්ත්‍රිය දැක දැන් මා එහි වැඩිය හොත් ඇයට ලැබෙන කැඳ වතුර ටික මට පූජා කිරීමෙන් නිරයෙහි වැටීමෙන් මුදවා ස්වර්ග සම්පත් ලබාදීමට හැකි යැයි සිතා එහි වැඩි සේක්හ.

මේ අතර සක් දෙව් රජ ද අප්‍රකට වේශයකින් යුතුව නොයෙක් රසයෙන් සෑදූ, නොයෙක් සූප හා ව්‍යංජන සහිත ආහාර ද, දිව සළු ද, ගෙන අතර මඟ රැඳී සිටියේ පූජා කිරීමේ අදහසින් ය. මොහු කවරෙක් දැයි හඳුනාගත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ '

ශක්‍රය, දිළින්දන්ට ලැබෙන සම්පත් නොවළක්වන්න. ඔබ කරන ලද පින්කම් බොහෝ යැ'යි වදාරමින් ඉදිරියට වැඩ දුකට පත් ස්ත්‍රිය ඉදිරියෙහි සිටි සේක.

ඇය තෙරුන් වහන්සේ දැක "මේ නම් මහානුභාව සම්පන්න තෙර නමකි. මට මේ උත්තමයන්ට වළඳන්නනට පූජා කළ හැකි දෙයක් නැත. ඇත්තේ මේ කිළිටි භාජනයෙහි දැමූ තණ කැබලි දූලි ආදිය විසිරුණු ලුණු නැති, සීත වූ, රස අඩු කැඳ ටිකක් පමණි. මෙවැනි මහා තෙර නමකට මෙය පූජා නොකිරීමට උත්සාහ නොගනිමි'යි සිතා, දීමට දෙයක් නැත පෙරට වඩින්න යැයි කීවා ය.

මහරහතන් වහන්සේ එක් පියවරක් පමණක් ඉදිරියට තබා නැවතුන සේක. මෙය දුටු නිවෙස් වැසි ගෙහිමියා පූජා කිරීමට ආහාර ගෙන ආවේ ය. තෙරුන් වහන්සේ පිළිනොගත්හ. මෙහි දී එම දුගී ස්ත්‍රිය මට ම අනුග්‍රහ පිණිස වැඩම කළේ යැයි සිතා පැහැදුණු සිත් ඇත්තී වඩ වඩාත් පැහැදීමෙන් යුතුව තමාට ලැබුණු කැඳ වතුර ටික පාත්‍රයට වත් කළා ය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇයගේ ශ්‍රද්ධාව තවත් වැඩි වනු පිණිස පිදූ කැඳ එහි ම වැඩ සිට වැළඳීමට රිසි ආකාරයක් දුටු ගෙහිමියා වහා ආසනයක් පැණවීය.

තෙරුන් වහන්සේ එහි හිඳ කැඳ වළඳා භුක්තානුමෝදනා බණ වදාරා ඒ දුගී ස්ත්‍රියට ඔබ මීට පෙර තුන් වන ආත්ම භවයේ දී ඔබ මගේ මෑණියන් වූහයි වදාරා වැඩි සේක. එයින් ද ඇය වඩ වඩාත් පැහැදී සිටියේ එදිනම රාත්‍රී පළමු යාමයේ ම කළුරිය කොට නිර්මාණරතී දෙවි ලොව උපනි.

සක් දෙව් රජ ඇය කළුරිය කළ බව දැන තම තව්තිසා දෙව් ලොව ඇය නොදැක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙත පැමිණ ඇය කොහි උපන්නේ දැයි විමසූ විට නිර්මාණරතියෙහි බව දැන අසරණ ස්ත්‍රිය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මනාව පැහැදීමෙන් දෙන ලද ඒ කැප දානය ආශ්චර්ය බවත්, අනුන්ගෙන් ලැබුණු දෙයකින් දෙන ලද දානය පවා මහානිසංස වන්නේ යැයි "අහො දානං' ගාථාව කීහ.

කාශ්‍යප මහ තෙරුන් වහන්සේ මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේ භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට රැස්ව සිටි පිරිසට වදාළ සේක. බොහෝ දෙනාට එය වැඩ සහිත වූහ.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]