[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක පෝ දා 2024-02-02

ජීවිතය නුවණින් හසුරවමු

යම් කෙනෙක් අනුවණ වූයේ ද ඒ තරමට ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය ද අවුල් සහගත ය. අපිළිවෙළ ය. ඒ යම් දෙයක් කියන්නට, කරන්නට පෙර එහි අර්ථ, අනර්ථකාරි බව පිළිබඳ සිතා තීරණ ගන්නට තරම් ඉවසීමක්, අවබෝධයක් අනුවණයා සතු නොවන නිසා ය.

සත්ත්වයන් අතර මිනිසාට උසස් මනසක් හිමි ව ඇත. මනසින් උසස් වුව ද ඇතැම් කෙනෙක් එය නිවැරැදි ව මෙහෙයවීමට නොදනිති. අඥානකම් ම කෙරෙති. ඒ අනුවණ බව තමනුත් විනාශයට වැටී සමාජයට ද අනර්ථ උපදවන්නේ ය. ප්‍රඥාව වර්ධනය කරගත යුතු එහෙයිනි.

කෙනකුගේ ප්‍රඥාව වර්ධනය සඳහා හේතුවන කරුණු සතරක් පිළිබඳ අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළහ. අංගුත්තර නිකායේ පඤ්ඤාවුද්ධි සූත්‍රයට අනුව එම සතර කරුණු නම් සත්පුරුෂයන් ඇසුරු කිරීම, සද්ධර්මය ශ්‍රවණය කිරීම, ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම (යොනිසො මනසිකාරය) හා ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් හි හැසිරීමයි.

තථාගත දහම් මඟ යන අපට මෙහි සුවිශේෂත්වය වන්නේ මේ ජීවිතයට පමණක් නොව මේ සතර ධර්මතා අපගේ පරලොව ජීවිතයේ යහපත පිණිස ද ඉතා මහෝපකාරි වීමයි. ධර්මයේ සඳහන් වන්නේ මේ ධර්මතා යහපතෙහි හැසිරෙන කල්‍යාණ පෘථග්ජන පුද්ගලයාට සෝවාන් මාර්ගයට ප්‍රවේශය සඳහා කළ අනුශාසනාවක් ද ලෙසිනි.

කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා ම ජීවිතය වෙනස් කරවන ප්‍රබලතම සාධකයක් වන්නේ ඇසුරයි. පුංචි දරුවා බහතෝරන්නට පටන් ගන්නටත් පෙරම අනුකරණයට පි‍්‍රය කරයි. බිළිඳා වැඩිපුරම පි‍්‍රය කරන්නේ මවුපිය දෙදෙනා ය.

හේ අනුකරණය කරන්නේ ද ඔවුන් ම ය. යම් හෙයකින් මව්පිය දෙදෙනා අයහපත්, අනුවණ අඳබාලයින් වූයේ නම්, දරුවාට යන කල දවස කිසිසේත් ම සුබවාදී වීමට නොහැකි ය.

මවුපියන් නුවණැති කල්‍යාණ මිත්‍රයන් විය යුතු එහෙයිනි. එවැනි මවුපියන්ට තමන් ගේ දරුවා ගැන, ඔහු ඇසුරු නිසරු කරන අය ගැන ද අවබෝධයක් ඇත.

අපි අජාසත් රජු ගැන අසා ඇත්තෙමු. තම පියාට අපමණ වධහිංසා දී මරණය ළඟා කරන තැනට ඔහුගේ සිත දරුණු වූයේ අසත්පුරුෂ ඇසුර නිසා ය. දෙව්දත් තෙරුන් සම්බන්ධ ඒ කතා පුවත අපි අපමණ අසා ඇත්තෙමු. එහෙයින් පවුල් පරිසරයේ සිටම අප ඇසුරු කළ යුතු සත්පුරුෂයන් ම ය.

විශේෂයෙන් බෞද්ධයන් ලෙස අපට අවවාද අනුශාසනා ලබන්නට භික්ෂූන් වහන්සේ අපමණ වෙති. ධර්මධර, විනයධර උන්වහන්සේ බෞද්ධයා විසින් ඇසුරු කළ යුතු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකි. උන්වහන්සේ අපගේ අර්ථය පිණිස ම අනුශාසනා කරති. ආදර්ශයෙන් මඟ පෙන්වති. එහෙයින් මඟ වරදා නොගන්නට බෞද්ධයා නිරතුරුව ම සත්පුරුෂ භික්ෂූන් වහන්සේගේ ආශ්‍රය පි‍්‍රය කළ යුතු ය.

අද බෞද්ධයන් ලෙස අපි නිතර සදහම් ශ්‍රවණය කරමු. අතීතයට වඩා මෑත ඉතිහාසයේ අපට දහම් ශ්‍රවණය කිරීමේ මාර්ග පෘථුල ය. ධර්ම ශ්‍රවණයෙහි ලා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනු ද පෙනේ. දහම් ඇසීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ දහම් කරුණු හොඳින් සිතට ගෙන නුවණින් මෙනෙහි කළ යුතු ය. ධර්මයෙහි වටිනාකම ජීවිතයට හොඳින් අවබෝධ වන්නේ එවිට ය. ඒ ධර්මය දැනුමට පමණක් සීමා වන්නේ නම් එය ද නිෂ්පලය. දහම ජීවිතයට පුරුදු කළ යුතු ය. එනම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරිය යුතු ය. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය එයයි.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]