[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුහුදුන් සත්වගට නොපෙනෙන ගමනාන්තය

පුහුදුන් සත්වගට නොපෙනෙන ගමනාන්තය

සසර ගමන බොහොම දිගයි. බෙහෙවින් ම කටු කොහොල් සහිතයි. ගමනාන්තය තෙක් විඳින්නට සිදුවන දුක් සමූහය මෙ පමණකැයි ප්‍රමාණ කළ නොහැකියි. එහෙත් ඒවා මූලික මාතෘකා හතරක් ඔස්සේ වර්ග කළ හැකියි. ඒ තමයි, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. මිනිස් තිරිසන් ආදී කිසිවකුට මෙයින් වැළකී සිටිය නොහැකියි. ගමන පවත්නා තාක් දුකින් තොර නොවෙයි.

විශ්වයේ දිව්‍ය බ්‍රහ්මාදී කිසිවකුට වුව ද මේ ගමනින් බැහැර විය නොහැකියි. සත්ව ලෝකවල පමණක් නොව සියලු ද්‍රව්‍ය වස්තුවල ද පවත්නා අනිත්‍යතාව මත දුක ද ලුහුබඳී. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක් සහිත නම් එය අනාත්මයි. මම ය මගේ යැයි ගත යුතු හරයක් නැත. කිසිවකු විසින් නිර්මිත යැයි ද, සදාකාලික යැයි ද ගත හැකි කිසිවක් කිසිදු සත්වයකු තුළ හෝ ද්‍රව්‍යයක් තුළ නැත.

එසේ නම් විශ්වය පුරා පවත්නා මේ දුක්බර ගමනේ කෙළවර කුමක්ද? ලොව්තුරා බුදුරුවන පහළ වන්නේ මේ ගමනාන්තය පෙන්නා දීමට ය. පුහුදුන් සත්වගට එය නොපෙනේ. සත්‍යය දකින්නට ඉඩ නොදී එය මුවහ කරන බලවේග පහක් ඇත. ඒවා නම් පංච නීවරණයි.

ධ්‍යානාදී හැම කුසල් සිත්වලට ඉඩ නොදෙන, නිවන ආවරණය කරන, ප්‍රඥාව දුර්වල කරන මේ බලවේගයන්හි ශක්තිය ප්‍රහීණ කොට අප සසර බැඳ තබන දස සංයෝජන සපුරා ප්‍රහීණ කිරීමෙන් සංසාර ගමනේ කෙළවර දැකිය හැකි ය. සංසාර ගමානාන්තය නිවනයි.

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා නමින් දැක්වෙන්නේ පංච නීවරණ ධර්මයි. ඒවා ම වෙන් වෙන් ව චෛතසික වශයෙන් ගත්කල හතකි. ඊට අවිජ්ජා නීවරණත් එකතු කළ විට අටකි. කුසල චිත්තයන්ගේ උපත වළක්වන, නිර්වාණ මාර්ගය ආවරණය කරන බැවින් මේවා නීවරණ නාමයෙන් හැඳින්වෙයි. ධ්‍යාන භාවනාවේ දී ප්‍රථම ධ්‍යානයට මුලින් පහළ වන උපචාර ධ්‍යානයේ දී කාමච්ඡන්දාදී නීවරණ යටපත් වෙයි. විෂ්කම්භන වශයෙන් ප්‍රහීණ වීමෙන් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන ලැබෙයි. නීවරණ ප්‍රහාණය ධ්‍යාන ලාභයට හෝ නිර්වාණාවබෝධයට පමණක් අවශ්‍ය වන්නක් නොවේ. එදිනෙදා ජීවිතයට නීවරණයන්ගේ ශක්තිය හීන කිරීම විශේෂයෙන් වැඩදායක වෙයි.

පස්කම් ගුණයන්හි අධික ඇල්ම කාමච්ඡන්දයයි. ඡන්ද නම් ඇල්මයි. පසිඳුරන්ට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳ ආශාව දැඩි වූ තරමට ඒවා ලබා ගැනීමෙහිලා උත්සුක ද වෙයි. තම ශක්තියෙන්, උත්සාහයෙන් දැහැමින් ලබා ගැනීමට අපහසු වන විට වැරැදි ක්‍රම මඟින් ද ඒවා සෙවීමෙහි උපක්‍රම කෙරෙයි. එහිදී සිදුවන වැරැදි බොහෝ යි. කරදර කම්කටොලු බොහෝයි. සමාජ අසාධාරණකම් ද බොහෝයි. ධන නාස්තිය, පවුල් අවුල් වීම, අඬදබර ඇතිවීම, අත් පා කන් නාසා ආදිය අහිමිවීම, වටිනා ජීවිත විනාශ වීම, ආදිය බොහෝමයි. එසේ නම් ඉන්ද්‍රිය සංවරයේ අගය ප්‍රමාණ කරන්නට අමාරු ය. එම සංවරය ඇතිවුවහොත් ඉඳුරන් මඟින් ඉල්ලන ඉල්ලීම් ද සීමා වෙයි. කාමයන් පිළිබඳ ආශාවන් සෑහෙන දුරකට පාලනය වීමට ද ඉන්ද්‍රිය සංවරය විශේෂයෙන් බලපායි.

ව්‍යාපාදය දෙවැන්නයි. ක්‍රෝධය යනු ද එයට තවත් සමාන නමකි. අසවලා තමන්ට අයහපතක් කළේ ය. කරයි. කරන්නේ ය. තම ඥාති මිත්‍රාදීන්ට අයහපතක් කළේ ය. කරයි. කරන්නේ ය. තම සතුරාට යහපතක් කළේ ය. කරයි. කරන්නේ ය. යනුවෙන් සිත තුළ ක්‍රෝධය වැඩෙයි. අස්ථාන කෝපය ද ව්‍යාපාදයට අයත් ය. මේ ක්‍රම දහය තුළින් ව්‍යාපාදය බලවත් වූ තරමට සිදුවන විපත් ද බලවත් ය. සාමයට, සහජීවනයට ව්‍යාපාදය එරෙහි වෙයි. අනුන් නැසීමේ කල්පනා නිසා තමන් ද විපතට පත්වනු වැළැක්විය නොහැකියි. අරි අටඟි මඟේ දී සම්මා සංකප්පය යටතේ නිවන් මඟේ පියවරක් ලෙස ව්‍යාපාදයෙන් තොර, අනුන් නොනැසීමේ කල්පනා ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපාදය නිවන් මඟට මහත් බාධකයක් මෙන් ම අඳුරක් ද වන නිසා ය. කවර සමාජයක වුවත් යහපත් පැවැත්මට බලවත් තර්ජනයක් වන නිසා ය.

ථීන මිද්ධ චෛතසික වශයෙන් දෙකක් වුව ද නීවරණ වශයෙන් එකක් ලෙස දැක්වෙයි. සිතේ ගිලන්කම ථීනයයි. කයේ ගිලන්කම මිද්ධයයි. එය චෛතසිකයන්ගේ ගිලන්කම වශයෙන් ද දැක්වෙයි. මේ දෙකෙන් ම චිත්ත චෛතසිකයන්ගේ ගිලන්කම, අලසකම, ලීනතාව කියැවෙයි. ධ්‍යානාදී කුසල් සිත් පහළවීමට හෝ නිවනට පමණක් නොව අධ්‍යාපනය, රැකියාව, සෞඛ්‍යය, ගෘහ ජීවිතය ආදී සියලු ආකාර ජීවන පැවැත්මට මේ මානසික ගිලන්කම තදින් බලපායි. එනිසා මේ නීවරණය මැඬලීමට අවශ්‍ය වනුයේ වීර්යයයි. අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකීමත්, ඉරියව් මාරු කරීමත්, කල්‍යාණමිත්‍ර සේවනයත්, එළිමහන් පරිසරයත් ථීනමිද්ධය හීන කිරිමට උපකාර වෙයි.

උද්ධච්ච කුක්කුච්ච යනු චෛතසික වශයෙන් දෙකකි. සිතේ නොසන්සුන් බව උද්ධච්චයයි. පසුතැවිල්ල කුක්කුච්චයයි. කළ අකුසල් ගැන ද, නොකළ කුසල් ගැන ද සිහිවන විට ඇතිවන මේ මානසික ස්වභාවය ද ධ්‍යානාදියට බාධක වෙයි. එදිනෙදා ජීවිතයේ අභිවෘද්ධිය පිණිස කළ යුතු කටයුතුවලට ද අහිතකර ලෙස බලපායි.

විචිකිච්ඡා නීවරණයේ ලක්ෂණය සැකයයි. තුනුරුවන් ගැනත්, ශික්ෂාපද ගැනත්, සසර අගමුල හා ඒ දෙකම ගැනත් හේතුඵලවාදය ගැනත් ඇතිවන සැකය විචිකිච්ඡාවයි. එහි වැඩීම සිදුවන්නේ නුවණින් මෙනෙහි කිරීමෙනුයි. අවශ්‍ය වන්නේ නුවණින් මෙනෙහි කිරීමයි. හරවත් පොත පත කියවීමත්, ප්‍රශ්න සාකච්ඡා කිරීමත්, කල්‍යාණ මිත්‍ර ඇසුරත්, මඟ නොමඟ දැන කරන නිවැරැදි, සාකච්ඡාවලට සවන් දීමත් විචිකිච්ඡාව තුනී වීමට හේතුයි.

මෙලෙසින් බලන විට සංසාර ගමනේ කටුක ස්වභාවය අවම කර ගැනීමටත්, නිවන් මඟ ආලෝකවත් කර ගැනීමටත් නීවරණ ප්‍රහානය ඉතා වැදගත් වන බව සඳහන් කළ හැකියි.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]