[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තිලොවට තිලක වූ සම්බුදු හිමි ගුණ මහිම

තිලොවට තිලක වූ සම්බුදු හිමි ගුණ මහිම

වරක් ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්සේරු කළ අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරකින් ශ්‍රාවකයින් දක්ෂතා දැක්වුව ද බුදුරජාණන් වහන්සේගේ ඤාණ ශක්තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නො වීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්තරාත්මක ව පැහැදිලි කර දුන්හ.

ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා ශ්‍රාවක පිරිස අතර වෙනසක් නොමැති වුව ද රහතන් වහන්සේ හා සාධාරණ නොවන තථාගතයන් වහන්සේට පමණක් විශේෂිත ඤාණ ශක්තීන් සමුදායක් බුදුරදුන් සතුව පැවතුණි. ඒවා දසබල ඤාණ හා චතුර් වෛශාරද්‍ය නොහොත් විශාරද ඤාණ යනුවෙන් පැහැදිලි වේ. බුදුරදුන් ම.නි.මහා සීහනාද සූත්‍රය තුළින් සිංහයෙකු අන්සතුන් අභිබවා සිංහනාද පවත්වන්නා සේ බුදුහිමිද සිංහනාද පැවැත්වූ ආකාරය පැහැදිලි කොට ඇත. බුදුහිමි එලෙස සිංහනාද පැවැත්වූයේ බුදුහිමිට ම පමණක් සීමා වූ දසබල ඤාණ හා චතුර් වෛශාරද්‍ය ඤාණ තුළින් බව පැහැදිලි වේ.

ඒ අනුව බුදුරදුන්ගේ එම සුවිශේෂි ගුණ පිළිබඳ වර්තමාන ගිහි – පැවිදි ශ්‍රාවකයින්ද දැන හඳුනාගෙන නව අරහාදී ගුණයන්ගෙන් හෙබි බුදුරදුන් පිළිබඳ තව තවත් ගෞරවය, ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගත යුතුව ඇත. කිසිදු ශාස්තෘවරයකුට නොමැති, බුදුරදුන්ට පමණක් සීමා වූ ඤාණ සමුදායක් බුදුහිමියන් තුළ පවතින බව දේශනාවන් තුළින් පැහැදිලි වේ. ඒ අතර සුවිශේෂී ඤාණ ශක්තීන් දෙකක් වශයෙන් දසබල ඤාණ හා චතුර් වෛශාරද්‍ය ඤාණ හැඳින්වීමට පුළුවන. ඒ අතර දසබල ඤාණ පිළිබඳ විමසීමේ දී එහි තිබෙන ගාම්භීරත්වය පැහැදිලි වේ. එනම්.

1. ඨානඤ්ච ඨානතෝ අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති – ඨානා ඨාන ඤානය (හේතු ඵල න්‍යායානුකූලව විය හැකි දේ හා නොවිය හැකි දේ දැන ගැනීමේ හැකියාව)

2. අතීතානාගතපච්චුප්පන්නං කම්මස්සමාදානං ඨානසො හෙතුසො යථාභූතං පජානාති – කම්ම විපාක ඤානය (යථාභූත විපාක ඤානය) (අතීත වර්තමාන හා අනාගත කර්මය සමාදානයන්ගේ කාරණා වශයෙන් හේතු වශයෙන් තතු පරිදි දැනීම)

3. සබ්බත්ථගාමිනී පටිපදං යථාභූතං පජානාති – සබ්බත්ථ ගාමිණි පටිපදා ඤාණය (සුගති දුග්ගති ආදී සෑම තැන්වල ම සත්වයා යොමුවන ප්‍රතිපදාවන් යථාභූත වශයෙන් දැනීම)

4. ආනෙකධාතු නානාධාතු ලෝකං යතාභූතං පජානාති – අනේක ධාතු නානාධාතු ලෝකධාතු ඤාණය (සංඛාර ලෝකයේ ධාතු නානත්වය පිළිබඳ ඇති සැටියෙන් දැකීම)

5. නානාධිමුත්තිකතං යථාභූතං පජානාති – නානාධිමුත්තිකතා ඤාණ නානාධිමුත්තිකත්ව ඤාණය (පුද්ගලයාගේ විවිධ මානසික වූ චරිත ස්වභාවයන් පිළිබඳ ඇති සැටියෙන් දැකීම)

6. පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රීයපරොපරියත්තං යථාභූතං පජානාති – ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය (සත්වයින්ගේ නිර්වාණාවබෝධයට අවශ්‍ය සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රියයන් වැඩීමේ අඩු වැඩි බව දැකීමේ හැකියාව)

7. ඣාන විමොක්ඛසමාධිසමාපත්තිතං සංකිලෙස වෙදනං වුට්ඨානං යථාභූතං පජානා ති ඣානාදි සංකිලේස චෝදන ඤාණ ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති ඤාණය (ධ්‍යාන විමෝක්ෂ (විමුක්ති) සමාධි සමාපත්තීන්ගේ කිළිටිවීම, පිරිසුදුවීම, නැඟී සිටීම ඇති සැටියෙන් දැකීම).

8. අනෙක විහිතං පුබ්බේනිවවාසං අනුස්සරති පුබ්බේනිවාසානුස්සති ඤාණය. (නොයෙක් ආකාර වූ පෙර විසූ ස්කන්ධ පිළිවෙළ සිහි කිරීමේ හැකියාව)

9. දිබ්බෙන ඛයා චක්ඛුනා සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානෙ – දිබ්බචක්ඛු ඤාණය ආසවක්ඛය ඤාණය (මනුෂ්‍ය ඇස ඉක්මවා ඇති දිව්‍යමය වූ ඇසින් කර්මානුරූපීව සුගතියට හෝ දුගතියට හෝ පත්වන සත්වයින්ගේ චුතියන් උපපාතයන් දැකීම)

10. ආසවානං ඛයා අනාසවං වෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජවිහරති ආසවක්ඛය ඤාණ (ආශ්‍රවයන් ක්ෂයවීමෙන් අනාශ්‍රව වු චෙතො විමුක්තියත්, පඤ්ඤා විමුක්තියත් මේ අත් බැව් හිදී ම දිට්ඨධම්මික වශයෙන් තමාම විශේෂයෙන් දැන සාක්ෂාත් කොට එම ඤාණයට එළඹ වාසය කිරීම)

ඊට අමතරව කායික වශයෙන් ඡද්දන්ත (ෂට්දත්ත) ඇතුන් දස දෙනකුගේ ශක්තිය ඇති අසමාන කාය ශක්තියක් බුදුරජාණන් වහන්සේට තිබුණි. මේ දස බල ඤාණ පිළිබඳ පැහැදිලි කිරීමේ දී එම ඤාණ ශක්තීන් ද තේරුම් ගැනීමේ පහසුව තකා මේ ආකාරයෙන් දැක්වීම අවබෝධය පිණිස හේතු වනු ඇත.

කාලවකංච ගංගෙය්‍යං
පණ්ඩරං තම්බ පිංගලං
ගන්ධ මංගල හෙමංච
උපොසථඡද්දන්ති මෙදස

පුරුෂයන් 10ක බලය කාලවක ඇතකුට ද, කලාවක ඇතුන් 10ක බලය ගංගෙය්‍ය ඇතකුට ද, ගංගෙය්‍ය ඇතුන් 10ක බලය පණ්ඩර ඇතකුට ද, පණ්ඩර ඇතුන් 10ක බලය තම්බ (තාම්බ්‍ර)ඇතකුට ද, තම්බ ඇතුන් 10ක බලය පිංගල ඇතකුට ද, පිංගල ඇතුන් 10ක බලය ගන්ධ ඇතකුට ද, ගන්ධ ඇතුන් 10ක බලය මංගල ඇතකුට ද, මංගල ඇතුන් 10ක බලය හේම ඇතකුට ද, හේම ඇතුන් 10ක බලය උපෝසථ ඇතකුට ද, උපෝසථ ඇතුන් 10ක බලය ඡද්දන්ත මහා කුලයේ ඇතකුට ද, ඡද්දන්ත මහා කුලයේ ඇතුන් 10ක බලය තථාගත කාය බලයට ද සමාන වේ.

රා බීමත්ව බියකරු ලෙසින් ඉදිරියට වේගයෙන් දිව ආ නාලාගිරි ඇතු ක්ෂණයකින් බුදුරදුන් ඉදිරියේ දමනය වූයේ එම ශ්‍රේෂ්ඨ ශක්තියේ බලයෙනි.

ඊළඟට චතුර් වෛශාරද්‍ය ඤාණය පිළිබඳ විමසීමේදී ද බුදුරදුන් තුළ පැවති අසහාය ඤාණ ශක්තිය පිළිබඳ අනාවරණය වේ. එම කරුණු හතර බොරු කළ හැකි සමතෙක් ලෝකයේ නැත. මේ ගැන නුවණින් සිතන කල්හි උන්වහන්සේගේ සිතෙහි ඇතිවන සතුට ඉන් ගම්‍යමාන වේ. එම චතුර් වෛශාරද්‍ය ඤණ නම්,

1. ඉමේ ධම්මා අනභිසම්බුද්ධා (සම්මා සම්බුද්ධයෙමි'යි ප්‍රතිඥා කරන මට මේ මේ ධර්ම නුඹ විසින් අවබෝධ කර නැතැයි කිසිවකු කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ ය යන්න මම නොදනිමි. මම සම්බුදු බව ලැබුවෙමි.)

2. මේ ආසවා අපරීක්ඛීණා (ආශ්‍රවයන් ක්ෂය කර ඇත්තෙමි'යි ප්‍රතිඥා කරන මට මේ මේ ආශ්‍රව නුඹ විසින් ක්ෂය කර නැතැයි කිසිවකු කරුණු සහිත ව ප්‍රතිචෝදනා කරන්නේ ය යන්න මම නොදනිමි – මහ රහත් කෙනෙක්මි)

3. නාලං අන්තරාය (මාර්ග ඵලයන්ට අන්තරායික වූ ධර්මයන් ප්‍රකාශ කරන මට ඒ කරුණු අන්තරාය පිණිස නොවේ යැයි කරුණු සහිත ව කිසිවෙක් ප්‍රති චෝදනා කරන්නේ ය යන කරුණු මම නොදනිමි. මේ දහම් සගමොක් සැපතට බාධා කරයි)

4. න නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය (ඔබ විසින් යම් අර්ථයක් පිණිස දහම් දෙසන ලද ද ඒ ධර්මය අනුව පිළිපදින තැනැත්තාගේ දුක් මැනවින් කෙළවර කිරීම පිණිස නොවේ යයි කරුණු සහිත ව කිසිවෙක් ප්‍රතිචෝදනා කරන්නේ ය යන කරුණු මම නො දනිමි. මේ දහම් නිවනට හිතකර ය)

මෙම කරුණු බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂී හැකියාවන් වේ. බුදු හිමි ගුරුවරයකු නොමැතිව තම උත්සාහයෙන් හා ඤාණ ශක්තියෙන් අවබෝධ කරගත් එම දසබල ඤාණ හා චතුර් වෛශාරද්‍ය ඤාණ එසේ නොවේ යැයි කීමට සමත් මිනිසෙක්, ශ්‍රමණයෙක්, බ්‍රහ්මයෙක්, දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් මේ තුන් ලෝකයේ ම නොමැත්තේ ය. තිලොවට තිලකයක් බඳු බුදුරදානෝ අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් සමන්විත වූහ. එම උතුම් ගුණ සමුදායට ගරු කිරීමටත්, එම ඤාණ ශක්තීන්, අවබෝධ කර ගැනීමටත් බුද්ධ ශ්‍රාවකයින් ඇතුළු සියලු සත්වයෝ ම උත්සුක විය යුතු ය.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]