[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කම්මාස්සදම්ම වැසියන් අපට දුන් ආදර්ශය

කම්මාස්සදම්ම වැසියන් අපට දුන් ආදර්ශය

කීප දෙනෙකු එකතු වූ තැනක දී බොහෝ දෙනා කතා කරන්නේ වැඩකට නැති දේවල ය. එලොවටත්, මෙලොවටත් වැඩක් නැති දේ කතා කරමින් වටිනා කාලය මරා දමති. බොහෝ විට එම කතා නිසා රැස්කර ගන්නේ අකුසල් ය. කතා කරන්නේ කුමක්දැයි කියා ඒ තුළ සිහිය නොපවත්වන නිසා මෙම තත්ත්වය උදාවී ඇත.

ඒ නිසා තමන්ටත්, අනුන්ටත් ඉන් සිදු වන්නේ අවැඩක් ය. බෞද්ධ ශ්‍රාවකයින් වශයෙන් දෙතිස් කතාවලින් තොරව සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගෙන කතා කරන්නේ නම් අපට දෙලොව ම ජය ගැනීමට හැකි බව බුදුදහම පෙන්වා දෙයි.

සතර සතිපට්ඨානය බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ කුරු රට කම්මාස්සදම්ම නම් ප්‍රදේශයේ ජීවත් වූ වැසියන්ට ය. එම වැසියන් කායික වශයෙන් ද, මානසික වශයෙන්ද ඉතා දියුණු තත්ත්වයක සිටිය බව සූත්‍ර දේශනාව තුළ සඳහන් වේ.

ඔවුන් යන එන තැන, රැස්වෙන තැන, හමුවන තැන, කතා කළේ සතර සතිපට්ඨාන භාවනාව ගැන ය. දැසි දස්සන් කම්කරු ප්‍රජාව පමණක් නොව ජලය රැගෙන යාමට පැමිණි තරුණියන් පවා කතා කළේ සතර සතිපට්ඨාන භාවනාව ගැන ය. ඔවුන්ට දෙතිස් කතා තිබී නැත. ඉරියව් හතරම සිහිය පවත්වා ගෙන එදිනෙදා ජීවිතය සතුටින් ගෙවා දමා ඇත. ඒ නිසා ඔවුන්ගේ ආධ්‍යාත්මික දැනුම සහ දැක්ම ඉතා ඉහළ මට්ටමක තිබෙන්නට ඇත.

ජලය ගෙන යාමට පැමිණෙන කාන්තාවකට හමුවන තවත් එවැනි කාන්තාවක් අසන්නේ

‘නැඟණිය ඔබ දැන් සතර සතිපට්ඨානය වඩනවා ද? ඔබ නිතර ඉන්නේ සතිමත්ව ද? ආදි වශයෙනි. ඇය සතර සතිපට්ඨාන භාවනාව වඩන්නේ නැතැයි පැවැසුව හොත් අනෙක් කාන්තාව ඇයට “තී නැසේවා'යි” කියා පරිභව කරන්නීය. ඒ වචනයට නොකිපෙන ඇය පවසන්නේ “අනේ අක්කේ මම අද ඉඳලම භාවනාව පටන් ගන්නවා’ කියාය.

මෙම කතාවෙන් අපට මහඟු ආදර්ශයක් ජීවිතයට එකතු කරන්නේ ය. විශේෂයෙන් ම බෞද්ධ ශ්‍රාවකයින් වශයෙන් වුව ද අප බොහෝ විට කතා කරන්නේ වල්පල් ය. නිවස තුළ, මඟතොටේ දි රැකියා කරන ස්ථානයේදී බෞද්ධ ස්ථාන තුළ දී පවා අපි කතා කරන්නේ සිහියකින් තොරව ය. බොහෝ විට බොහෝ දෙනා කතා කරන දේවල්වල ආදීනව පසුව දැක ඒ ගැන පශ්චාත්තාපයට පත්වන අවස්ථාව ඇත. ඒ වන විට සියල්ල සිදුවී හමාර වී ඇත.

මේ නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද සතර සති පට්ඨානයට අනුව සිත පිහිටුවා ගෙන කරන කියන හිතන දේවල් සිදු කරන ලෙසට දේශනා කළහ. මෙම ගාම්භීර දේශනාව සජ්ඣායනය කිරීමෙන් පමණක් ප්‍රතිඵල ලබා ගත නොහැක. එය ප්‍රායෝගික වැඩ පිළිවෙළකි. එය ජීවන දර්ශනයක් මිස මෙනෙහි කිරීමක් නොවේ. ඒ බව, යන විට ද, සිටින විට ද, හිදින විට ද, නිදන විට ද, නිදිමරන විට ද, කතා කරන විට ද නිශ්ශබ්දව සිටින විට ද සිහියෙන් යුතු ව සිටිය යුතු බව කියවේ.

සතර ඉරියව්වෙන් ම සිහිය පැවැත්විය යුතු බව ද කිය වේ. එවිට අකුසලයකට සිත,කය, වචනය නොයෙදේ. කනකොට, බොනකොට, හපනකොට, උරන කොට පවා සිහියෙන් කළ යුතු බව කියවේ. එපමණක් නොවේ “උච්චාර පස්සාව කයෙ සම්පජානකාරී හොති” යනුවෙන් වැසිකිළි කැසිකිළි යෑමේ දී පවා සිහියෙන් කළ යුතු බව උන්වහන්සේ එම සූත්‍රයෙන් අවධාරණය කළ සේක.

ඒ අනුව කුරු රට වැසියන් මේ සියල්ල සිහියෙන් යුතුව කරමින් දවස සතුටින් ගෙවා දැමීමට උත්සාහ ගෙන ඇත.

එළඹ සිටි සිහියෙන් යුතුව මේ මොහොතට අවදි ව කතා කරන යමක් වේ නම්, එහි ගුණ දොස් නැත. දිව කියන ඉන්ද්‍රිය රැකීම අසීරු බව පැරැණි කියමනක් අනුව සනාථ වේ. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ” යනුවෙනි. තිදොරින් කෙරෙන අකුසල් අතර වචනයෙන් කෙරෙන අකුසල් හතරක් පෙන්වා ඇත. මේ නිසා ධර්මය තුළ “කට කෙටේරියකට උපමා කර ඇත. තියුණු ලෙස මිනිසෙක් කපා කොටා විනාශ කළ හැකි දරුණු වචන මුවින් පිට කළ හැකි බව ඉන් කියැවේ. ඒ සතිමත් නොවීමේ ආදීනවයි.

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී තමන් කියන දෙයින් තමන්ටත්, අනුන්ටත් එසේත් නැතිනම් දෙපාර්ශ්වයට ම අයහපතක් වේ නම් එය නොකියන ලෙසට රාහුල හිමියන්ට බුදුපියාණන් වහන්සේ අවවාද කළහ.

චිත්ත අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති අනුෂය කෙලෙස් පරිඋට්ඨාන වන අවස්ථාවේ දී ඒ පිළිබඳ සිහියෙන් නොසිටියහොත් එම කෙලෙස් වචන මඟින් වීතික්‍රමණය වී අකුසල් සිදුවිය හැක. අටලෝ දහම අභියස බොහෝ දෙනා මුළාවට පත්වී අසතිමත් ව වචන පරිහරණය කරති. අවසානයේ අතපය පමණක් නොව අවි ආයුධ පවා පාවිච්චි කිරීමට ද පෙලඹෙති.

මේ නිසා පළමු ව කට රැක ගත යුතු ව ඇත. ඒ සඳහා සිහිය ඉපදවිය යුතු ය. ලෝභ, ද්වේශ, මෝහ යන කෙලෙස් තත්වයන් වැඩෙන අයුරින් කතා කිරීම නතර කළ යුතු ය.

තමන් කරන කියන දේ තුළ වැරැද්දක් ඇති බව දකිනවා නම් ඔහු ප්‍රඥාවන්තයෙක් බව ධර්මය තුළ සඳහන් වේ. දිනපතා මුහුණ පෑමට සිදුවන දහසක් දුක්කම්කටොලුවලින් තාවකාලික හෝ අස්වැසිල්ලක් ලැබිය හැක්කේ සතිපට්ඨාන භාවනාව තම ජීවිතයට පුරුදු පුහුණු කිරීමෙන් ය. මේ සඳහා කුරු රට කම්මස්සදම්ම නමැති නියම් ගමේ ජීවත්වූ ප්‍රඥාවන්ත වැසියන් ආදර්ශයට ගැනීම ප්‍රඥාගෝචර වන්නේ ය.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]