[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහා සංඝරත්නයට ආදර්ශයක් වූ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මහා සංඝරත්නයට ආදර්ශයක් වූ

පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යපාදයන් වහන්සේ වූ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි එක්වන මහානායක පදවිය හොබවා වදාළ පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හැට වන ගුණානුස්මරණය දෙසැම්බර් මස 29 වන දිනට යෙදී තිබුණි.

උඩරට රාජධානියේ ප්‍රධාන මහ දිසා හතරෙන් මූලස්ථානයක් වූ මාතලේ මහ දිසාවේ දකුණු මාතලේ කොහොන්සිය පත්තුබද පුරිදිවෙල හෙවත් පුරිජ්ජල ග්‍රාමයේ අදිකාරම් වලව්ව හෙවත් උඩහ වලව්වේ රාජගුරු ඒකනායක රාජපක්ෂ හේරත් අබේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ පුංචිබණ්ඩාර නිළමේතුමාගේ සහ හලංගොඩ උඩහ වලව්වේ රාජපක්ෂ රාජකරුණා වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ ලොකු කුමාරිහාමි මැතිණියගේ පුත් රුවනක වශයෙන් 1884 ජනවාරි මස 04 වන දින පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙලොව එළිය දුටහ.

පුරාකෘත පුණ්‍ය මහිමයත්, ශාසන බන්ධු පරපුරක කුල කුමරුවකු ලෙස ජන්මලාභය ලැබීමත්, වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අග්‍රෙසර ශිෂ්‍ය රත්නය වූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිතාභිධාන මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඥාති පරපුරක ජන්ම ලාභය ලැබීමේ භාග්‍යයත් නිසා එම පරපුරෙහි සමීප ඤාතිවරයකු වූ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තුදුස් (14) වන මහානායක පදවිය හොබවා වදාළ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා මල්වතු මහා විහාරයීය සංඝරාජ පිරුවනින්, මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය වෙතින් වර්ග පටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කළහ.

මහා බ්‍රිතාන්‍යයේ සත්වෙනි එඩ්වඩ් මහ රජතුමාගේ ඥාති කුමරියක ලක්දිවට පැමිණීම හේතුවෙන් ලංකාණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත 1904 මාර්තු මස 08 වන දින පැවැත් වූ විශේෂ උපසම්පදා අවස්ථාවෙහි දී සරණංකර හෙරණපාණන් වහන්සේ රාජ ගෞරව සහිත ව උපසම්පදාව ලැබූහ.

1907 වර්ෂයේ පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවාව සිදු කිරීමට භාග්‍යවත් වූ පුරිජ්ජල සරණංකර හිමියන් 1910 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පදවියකටත්, 1911 වර්ෂයේ දී කාරක සංඝ සභික පදවියකටත් ස්වකීය ආචාර්ය වූ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පත් කරන ලදහ. ආචාර්යන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව කුරුණෑගල රිදී විහාරය ප්‍රමුඛ ව කුඹුරුලෙන, මොරතිහ, මැඩිතියාව, පනලීය ආදී තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යයට පත්ව ස්වකීය ඥාති සහ පැවිදි සහෝදර තිබ්බටුවාවේ මේධංකර නාහිමිපාණන් වහන්සේ සමඟ මැනවින් එම විහාරස්ථාන සංවර්ධනය පිණිස කැප වූහ.

නාහිමිපාණෝ සමානාත්මතාවයෙන් කාහටත් සලකමින්, අකම්පිත, සාරගර්භ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කළ හෙයින් සංඝ සභාවේ විනිශ්චය කටයුතුවල මූලිකත්වය දරමින් කටයුතු කළ සේක. වැලිවිට සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අද්‍යතන සම්බුද්ධ ශාසනාම්භරයේ අග්‍ර ඨානාන්තරය වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක පදවිය පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර හිමිපාණන් වහන්සේ වෙත මල්වතු මහාවිහාර කාරක මහා සංඝසභාව මඟින් 1956 වර්ෂයේ දී පුද දෙන ලදි.

මහානායක පදවිය සතු වගකීම් මැනවින් හඳුනා ගනිමින්, විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධ කටයුතු මැනවින් සිදු කරමින් මහ නාහිමිපාණන් වහන්සේ ගිහි පැවිදි උභය පාර්ශ්වයේ ම ප්‍රසාදයට පත් වූහ. ශ්‍රී දළදා මාලිගාව අංග සම්පූර්ණ ගොඩනැඟිලිවලින් සමලංකෘත කොට කාලානුරූපී අන්දමින් යාවත්කාලීන කිරීම, ස්‍යාම නිකායික භික්ෂු කතිකාවත් සම්පාදනය කිරීම ආරම්භ කිරීම මෙම මහා නාහිමිපාණන් වහන්සේගේ යුගයේ සිදු වූ බව සඳහන් කළ හැකි ය.

එසේම මල්වතු මහාවිහාර පාර්ශ්වයට අයත් මහා විද්‍යාස්ථාන දෙකක් වූ විද්‍යොදය, විද්‍යාලංකාර පිරුවන් වෙත මේ යුගයේ දී විශ්වවිද්‍යාල තත්වය පිරිනැමුණු හෙයින් එම පිරුවන් විශ්වවිද්‍යාල දෙකෙහි ප්‍රධාන අනුශාසක පදවිය මහ නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමුණි. මල්වතු මහාවිහාර ලේකම් කාර්යාලය ගොඩනංවන ලද්දේ ද පුරිජ්ජල මහ නාහිමිපාණන් වහන්සේගේ ධුර කාලයේ වීම සුවිශේෂී සංසිද්ධියකි. මල්වතු මහා විහාර ආරාම සංකීර්ණයේ පෞරාණික කොටස වූ පෝයමළු විහාරය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට ද මෙම යුගයේ අවකාශ ලැබුණි.

කෙටියෙන් කතා කළ, එඩිතර, හරබර, ස්ථිරසාර ගතිපැවතුම්වලින් හෙබි වූ මහා නාහිමිපාණන් වහන්සේගේ මෙම ගති ලක්ෂණ සකල මහා සංඝ රත්නයේ ම අභිවෘද්ධිය පිණිස හේතු වූ බව තත්කාලීන වාර්තාවන්ගෙන් පෙනී යයි. අසූ විය සපිරීමට සතියකට පමණ පෙර 1963 දෙසැම්බර් මස 27 වන දින රාත්‍රියේ හදිසියේ ගිලන්භාවයට පත්ව 28 වන දින අලුයම් කාලයේ දී පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ සේක.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]