[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රද්දොළුවේ අමරවංශ අනුනාහිමි

රද්දොළුවේ අමරවංශ අනුනාහිමි

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කුරු කෝරළයේ සීදුව රද්දොළුව ගම් පියසේ දැහැමෙන් දිවි ගෙවූ ප්‍රභූ පවුලක් වූ වතු පාලක කේ. විල්සන් රොවෙල් මහතා හා කේ. පුංචිනෝනා මහත්මිය යන දම්පතීන් වෙත පුත් රුවනක් ලැබිණි.

1933 ජනවාරි මස 19 වැනිදා උපත ලද ඒ කුමරුවාට රෝලන්ඩ් රොවෙල් යන නම තැබිණි. රද්දොළුව මෙතෝදිස්ත පාසලෙන් හා රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කුමරුවා වයස අවුරුදු 11දී රද්දොළුව සුබෝධාරාම මහා විහාරාධිපති ව වැඩ විසූ කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1944 දී රද්දොළුවේ අමරවංශ නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. එතැන් සිට තම ගුරු දේවයාණන් වෙතින් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව ද්විතීය අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙනට ඇතුළත් වුණි.

එහිදී සිංහල, පාලි, සංස්කෘත භාෂා දැනුම පිළිබඳ හා සූත්‍ර, අභිධර්ම, විනය පිටක දැනුම ලබා විද්‍යෝදය අවසන් පරීක්ෂණයෙන් ද සමත් විය.

අනතුරුව නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු අග්ගමහාපණ්ඩිත මහෝපාධ්‍යාය බේරුවල සිරිනිවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල උපසම්පදාව ද ලබා ගත් උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයෙන් සමත්වී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේ දී තම ගුරු දේවයන් හා පැවිදි සහෝදර රද්දොළුවේ අරියවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම නිසා ගුරු දේවයාණන් අතින් ඉටුවූ සියලු ආගමික සහ සාමාජීය කටයුතු උන්වහන්සේ වෙත පැවරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට සිදු විය.

තම ගුරු දේවයාණන් අපවත්වීමෙන් පසු රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, රද්දොළුව අභිනවාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති ධුරයට අමරවංශ නාහිමියෝ පත්වූහ.

විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසුව විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කර ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු කිරීමටත්, විහාරස්ථානය කේන්ද්‍ර කොටගත් ළදරු පාසල ආරම්භ කිරීමටත් ක්‍රියා කළහ. රද්දොළුව ප්‍රාථමික විද්‍යාලය සඳහා ඊට අදාළ භූමිය පරිත්‍යාග කිරීමටත්, ළදරු පාසල් ගොඩනැඟිල්ල සඳහා ප්‍රාදේශීය සභාවට එම භූමිය ලබා දීමත් උන්වහන්සේ විසින් සිය උපන් ගම් ප්‍රදේශයට සිදු කරන ලද සුවිශේෂී කටයුත්තක් විය. තමන් වහන්සේ යටතේ පාලනය වන විහාරස්ථාන දෙකෙහි දියුණුවට විශාල සේවයක් අමරවංශ නාහිමියන් අතින් සිදුවූ අතර, ප්‍රදේශයේ කිතුනු දේවස්ථානය සමඟ ද සමීපව කටයුතු කරමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍ය භක්තිකයන්ගේ දහම් දැනුම හා ජන ජීවිතය නඟා සිටුවීමට ක්‍රියාකරවීම ද උන්වහන්සේ අතින් සිදුවූ මහඟු සේවාවකි.

ප්‍රදේශයේ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් ශාසනික හා සමාජ සේවයක් ඉටු කිරීම වෙනුවෙන් අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේට ගෞරවනාම සම්මුතියෙන් නායක පදවියක් ද ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභා සභික ධුරයක් ද පිරිනැමීමට ක්‍රියා කළහ. 2016 ජූලි මාසයේදී උන්වහන්සේට අනුනායක ධුරයක් ද පිරි නැමුණි.

සිය ශාසනික මෙහෙවර ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකළ උන්වහන්සේ සිව් වතාවක් ඉන්දියාවට ද, දෙවතාවක් ජර්මනියට ද, තායිලන්තය හා ප්‍රංශයට ද වැඩම කර සිය ධර්ම සේවාව ඉටු කරනු ලැබූහ.

රද්දොළුවේ අමරවංශ යතීන්ද්‍රයාණෝ අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ අනුනායක අපවත්වී වදාළ රද්දොළුවේ විමලවංශ අනුනායක ස්වාමීන් වහන්සේ සහ කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදුවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් ද ශාසනයට දායාද කොට ඇත.

කෙටිකලක් රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ 2017 ජනවාරි මස 29 වෙනි දින අපවත් වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසු වූහ.

රද්දොළුවේ අමරවංස අනුනාහිමිපාණන් වහන්සේ අපවත්වී 2024 ජනවාරි මස 29 වෙනි දිනට වසර හතක් සපිරීම නිමිත්තෙන් විශේෂ ගුණසමරු පින්කම් මාලාවක් ජනවාරි මස 27 සහ 28 යන දෙදින රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]