[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විපතේ දී මිතුරා අත්හරින්න එපා

විපතේ දී මිතුරා අත්හරින්න එපා

මේ කියන්න යන කතාව ලංකාවේ අතීතයේ අහන්න ලැබුණු දඹදිව සිද්ධ වුණු ප්‍රසිද්ධ කතාවක්. දඹදිව තිබුණා උදේනි කියලා රටක් මේ රටේ පිහිටලා තිබුණා සුරට්ඨ නමින් විශාල ජනපදයක්. ඇළ දොළවලින්, ගස්වැල්වලින්, මල්වලින් මේ ජනපදය සුන්දර වෙලා තිබුණා. ‘අච්චිමන්තසේල’ කියලා ප්‍රසිද්ධ පර්වතයක් මේ ජනපදයට සමීපයෙන් පිහිටිලා තිබුණා.

ගැමියන්ගේ ගෘහ අවශ්‍යතා ඇති වුණා ම දර සොයන්න, මීපැණි හොයන්න, දඩයම් කර ගන්න වගේම ගෙවල් හදාගන්න දඩුමුගුරු ආදී ලී කපා ගන්නත් මේ මහා වනාන්තරයට තමයි ඇතුළු වුණේ. ගමේ ගොවි මිනිසුන්ට අවශ්‍යතාවක් ඇති වුණහම කැලෑවට ගිහින් ඉක්මණින් ම එනවා වැඩි දුරකට යන්නේ නෑ.

ඒත් වනයේ එක් පැත්තක වැදි ගම්මානයක් තිබුණා. ඔවුන් නිතර ම වනාන්තරයට යන්න එන්න වුණා. එහෙම වුණත් වැඩි පිරිසක් මහා වනාන්තරයේ ඈතට ගියේ නෑ වන සතුන්ගේ වගේ ම යක්ෂ - පිසාචයන්ගේ බලපෑම නිසා.

දවසක් එක් වැද්දෙක් තමන්ට මොනවා වුණත් කමක් නෑ වනාන්තරයේ ඈතට ම ගිහින් තතු දැන ගෙන එන්න ඕන. මෑත වනාන්තරයෙන් දැන් දැන් මී පැණිත්, දඩමසුත් හොයා ගන්න ගොඩාක් අමාරුයි’ කියලා හිතලා වැඩි වාසියක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තනිව ම කැළයට ඇතුළු වුණා.

දිනක් ගත වුණා. කිසිම කරදරයක් නැතිව වනයේ ගමන් කළා. රාත්‍රියත් ගත කළා. මිනිසුන් කියන තරම් මේ කැලෑව බිහිසුණු නෑ. හෙටත් ඇවිදින්න ඕන කියලා හිතලා දෙවැනි දවසත් රෑ වෙනකම් ම ඇවිද්දා. එදිනත් කරදරයක් වුණේ නෑ. පසු දිනත් මෙහෙම ඇවිදින කොට වෙන කවමදාකවත් දැකලා නැති වර්ණවත්, සියලුම සුභ ලකුණුවලින් පිරුණු, පෙනුමෙන් ම පින්වන්ත මහා ඇත් රාජයෙක් දකින්න ලැබුණා. වැද්දාට එවලේ ම මෙහෙම හිතුණා. මං දවස් ගණනාවක් ම මේ කැලේ ඇවිද්දා. කිසිම ලාභයක් වුණේ නෑ. අද මට නිදානයක් තමයි මේ පහළ වුණේ. මම මේක මිල කර ගන්න ඕන කියලා කල්පනා කළා. සතා මරලා දළ දෙක අරගෙන ගිහින් මිල කරලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් හොර රහසේ ම තමයි මේ දේවල් කරන්න වෙන්නේ. ඊට වඩා හොඳයි රාජ්‍ය අනුග්‍රහය ඇතිව ම මිල කරලා ලැබෙන දෙයකින් ජීවත් වෙන එක. හොර සතුරනුත් එතකොට නැති වෙනවා. වෙන කාගෙන්වත් කිසිම කරදරයක් වෙන්නේත් නෑ කියලා බුද්ධිමත්ව කල්පනා කරලා තීරණය කළා, රජ්ජුරුවන්ට ගැලපෙන ඇත් රජෙක් වනාන්තරයේ ඉන්නවා කියලා දැනුම් දෙන්න.

දවස් ගණනාවක් හෙමින් හෙමින් කැලේ ගමන් කරපු මේ වැද්දා එක දවසින් ම උදේනි නුවරට දුවල දුවලා ගියා. රජ්ජුරුවන්ව මුණ ගැහිලා මහා වනාන්තරයේ අලංකාරයත්, තමන්ට හමුවුණු අරුම පුදුම ඇත් රජු ගැනත් කියා සිටියා. රජ්ජුරුවන්ට ආශා හිතුණා ඇතා ගැන. වහාම රාජ පුරුෂයන් කැඳවලා කිව්වා ‘මේ වැදි පුරුෂයා එක්ක අච්චිමන්තසේල පර්වතය තියන මහා වනාන්තරයට ගිහින් මේ කියන ඇතා අරගෙන එන්න’ කියලා.

රාජ පුරුෂයෝත් වැදි පුරුෂයා එක්ක ගිහින් ඇතා අල්ලා ගත්තා. මේ ඇතා බෝසත් ගුණ පිහිටලා තිබුණ පින්වන්ත ඇතෙක්. මෙයා හැදුණේ වැඩුණේ ෂඩ් අභිඤ්ඤා ඇති මහ රහතන් වහන්සේ නමක් සමීපයේ. උන්වහන්සේගේ ගුණ මේ ඇතාටත් පිහිටලා තිබුණා. ඇතා රාජ පුරුෂයන් අල්ලා ගන්නවාත් සමඟ මහ හඬින් හොඬය උස්සලා අඩන්න පටන් ගත්තා. රහතන් වහන්සේට මේ ශබ්දය ඇහිලා

‘වෙන කිසිම දවසක ඇතා මෙහෙම අඬන්නේ නෑ. අද මොනයම් හෝ කරදරයක් වෙලා ඇති කියලා. අච්චිමන්තසේල පර්වතයේ ලෙනෙන් පිටතට වැඩම කරලා ඇතා ගැන හොයල බැලුවා. දම්වැල් දාලා තද කරලා බැඳලා මිනිසුන් වට කරගෙන ඉන්න හැටි දුටුවා. ඇතාට මොහොතින් ඒ දම්වැල් සියල්ල ම කඩලා විසි කරලා රාජපුරුෂයනුත්, වැදි පුරුෂයාවත් මොහොතින් විනාශ කරලා දාන්න පුළුවන්. ඒත් කිසිම කරදරයක් කළේ නෑ. කළ එකම දෙය තමන්ගේ වේදනාව පිට වෙනකම් මහ හයියෙන් හඬන එක. තෙරුන් වහන්සේ ළං වෙන්න වෙන්න ඇස්වලින් එන කදුළු වැඩි වුණා. තෙරුන්වහන්සේ ඇතා ළගට ම ඇවිත් ඌගේ ඇඟ අතගාලා කිව්වා

‘පුතේ උකටලී වෙන්න එපා. චණ්ඩ වෙන්න එපා. රජු දකින කම් කිසිම දෙයක් කරන්න එපා. පරිස්සමින් යන්න කියලා සමුදුන්නා. ඇතාත් හැඬූ කඳුළින් උදේනි නුවර ගිහින් රජතුමා ඉදිරියේ පෙනී සිටියා. තෙරුන් වහන්සේත් ඍද්ධියෙන් ම රජු ඉදිරියේ ඒ මොහොතේ ම පෙනී සිටියා. රජතුමා රාජාසනයෙන් බැහැලා ඇවිත් වන්දනා කරලා ‘ස්වාමිනි, ඔබ වහන්සේ බොහෝම ඈත ඉදලා වැඩම කරලා වගේ. ඔබ වහන්සේගේ චීවර බොහොම දුර්වර්ණ යි. කාලයකින් සිවුරු ආදිය නො ලැබුණු ගාණයි. ඔබ වහන්සේ මෙහි වැඩම කළේ මොනවගේ අවශ්‍යතාවකට ද? මට අවශ්‍යතාව දන්වා සිටින්න. අවශ්‍ය සියල්ල ඉටු කර දෙන්නම්’යි කියා සිටියා.

රජතුමාගේ කතාවෙන් පස්සේ තෙරුන් වහන්සේ කියනවා.

‘රජතුමනි, මම මෙහි වැඩම කළේ මේ ඇත් රජු වෙනුවෙන්. ඔහු ව නිදහස් කරන්න කියන්න. ඔහු මගේ ශිෂ්‍යයා. ඒ වගේම ඔහු තමයි මගේ එකම උපස්ථායකයා. ඒ විතරක් නෙවෙයි ඔහු තමයි මගේ හොඳම මිතුරා’යි කියා සිටියා.

මේ පුවත අහගෙන හිටපු රජතුමා නැවත තෙරුන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්න කර සිටියා.

‘අවසර ස්වාමිනි, මේ ඇතා ඔබ වහන්සේගේ ශිෂ්‍යා වෙන්නේ කොහොම ද? උපස්ථායකයා වෙන්නේ කොහොමද? මිතුරා වෙන්නේ කොහොමද?යි කියා දෙන්න පුළුවන් ද කියලා.

එවිට තෙරුන් වහන්සේ සියල්ල පැහැදිලි කරමින් මෙහෙම කියන්න පටන් ගත්තා. ‘රජතුමනි, මම වැඩ සිටින්නේ අච්චිමන්තසේල පර්වතයේ එක් ලෙනක. ඒ ලෙනට සමීපයෙන් තැනක හිටියා ඇතින්නක්. ඇය දෙවතාවක් ම ඇත් පැටව් බිහි කළා. ඒ හැම මොහොතක ම ඇගේ පෙර වෛරී ස්ත්‍රීයක් යකින්නක් වෙලා ඒ හැම වතාවේ ම අවස්ථාවක් දුටු සැනින් පැටියා අරගෙන ගිහින් කා දැමුවා. තුන්වැනි වතාවේ දී පැටියා ලැබුණු ගමන් ම මගේ ලෙනට අරගෙන ඇවිත් මගේ අතට දීලා පැන් වඩලා මට බාර කළා. මෙහෙම ඉන්නකොට දවසක් යකින්න පැටියා කන්න ආවා. මම මගේ අතින් වහගෙන පැටියා ආරක්ෂා කළා. යකින්න දැන ගත්තා මගේ ළඟ හැමදා ම පැටියා ඉන්නවා. නැවතත් උදුරගන්න වෙන්නේ නෑ කියලා. ඇය බියට පත්වෙලා ගියා ගියාම යි. එදායින් පස්සේ ආවේ නෑ. ඇතින්නත් මිය ගියා. එදා ඉදලා මේ පැටියා මගේ ළඟමයි හැදුණේ වැඩුණේ. ඒ නිසා ඔහු මගේ ශිෂ්‍යයා වෙනවා. මට අවශ්‍ය හැම කටයුත්තක දී ම මේ ඇත් රජු මට උපස්ථාන කරනවා. මම පිණ්ඩපාතයේ වැඩම කරන කොට ඇතාත් වනයට පිටත් වෙනවා කෑම හොයාගෙන එන්න. මම නැවතත් කුටියට වැඩම කරන කොට ඇත් රජු කෑම හොයාගෙන ඇවිත් මම එනකම් බලං ඉන්නවා. මම දාගැබ් වදින කොට මොහුත් වදිනවා. මා යන තැනකට මගේ අනුව එනවා. කිසිම දවසක මා තනි කළේ නෑ. මගේ ළඟින් ම හිටියා. ඒ නිසා ඇත් රජු මගේ උපස්ථායකයා වගේ ම මිතුරා ද වෙනවා. ඇත්රජුට ඉන්න එකම මිතුරා මම විතරයි. මාව දකින්න නො ලැබුණොත් එක රැයකින් ම මේ ඇතා මිය යනවා. ඒ නිසා මේ ඇත් රජු නිදහස් කරන්න’යි කියලා මම ඉල්ලා සිටිනවායි කියා සිටියා.

රජතුමාට ලොකු වේදනාවක් දැනුණා. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මම මේ කළේ මහා පාප කර්මයක් මාව අපායෙන් මුදවන්න ස්වාමිනි, මට ධර්මානුශාසනා කරන්න ස්වාමිනි’යි කියා වැඳවැටෙමින් ඉල්ලා සිටියා.

තෙරුන් වහන්සේ රජතුමාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරලා නැවතත් අච්චිමන්තසේල පර්වතයට වැඩම කරලා ඇත් රජුත් සමඟ සතුටින් ජීවත් වුණු බවත් කාලයාගේ ඇවෑමෙන් තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ බවත්, ඇත් රජු මිය ගිහින් දෙව්ලොව උපත ලැබූ බවත් කියවෙන අපූරු කතා පුවතක් සීහළවත්ථු නම් පොතේ සඳහන් වෙනවා.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]