[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිත හා කය ගැන සිහි නුවණින් විමසමු

සිත හා කය ගැන සිහි නුවණින් විමසමු

නැවත ඉපදීමට ආශා කරන සිත (විඥානයක්) සකස් කර ගන්නා තුරු අප නැවත නැවත උපදී. ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ ගෙන, දිවෙන් රස විඳ, කයෙන් මුදු මොළොක් ස්පර්ශ හා සිතෙන් අරමුණු (සිතිවිලි) කොට සුඛ – දුක්ඛ -අදුක්ඛම සුඛ වශයෙන් වේදනා සකස් කර ගැනීමෙන් අපි නැවත නැවත උපදී.

එසේ වන්නේ මේ සිත හා කය, මම, මගේ, මම වෙමි, මගේ ආත්මය වශයෙන් පුද්ගලයෙක්, සත්වයෙක් වශයෙන් අල්ලා ගෙන නිත්‍ය – සුඛ ආත්ම වශයෙන් ගන්නා හෙයිනි.

‘එසේ නො ගන්න’ යනු බුද්ධ අවවාදය යි. ඒ වෙනුවට මේ පඤ්චස්කන්ධය (රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ උපමාවල දක්වන පරිදි සිතීමට යමෙක් දක්ෂ වුවහොත් ඔහු නිවනට ළං වේ. ඒ කෙසේද?

රූපය – පෙණ පිඬුවක් (ඵෙණ පිණ්ඩූපම) මෙන් ය. පෙණ පිඬුව ජලයේ හටගත් තැන්හි දී මසන් ගෙඩියක් පමණට ඉපිද පහතට ගලා යද්දී විශාල වේ. පෙණ පිඬෙහි සිදුරු ඇති අතර, ක්ෂුද්‍ර, ප්‍රාණීහු වැදී සිටිති. පෙණ පිඬ නැඟී – පැවතී බිඳ යයි. මෙය හටගත් ක්ෂණයෙහි ද, මද දුරක් පාවී ගොස් ද, සැතපුම් ගණන් ගොස් හෝ මුහුදට වන් විට හෝ අනිවාර්යයෙන් බිඳී යයි.

මෙසේ මිනිස් රූපයක් මුලදී එළු ලෝමයකින් හත්වරක් ගසා දමා ඉතිරි වූ තෙල් බිඳුවක් පමණ වූ මිනිස් ඇසට පවා විෂයය නො වන කුඩාම කුඩා ධාතුවක් වූ කලලයකි. මෙය ක්‍රමයෙන් ආහාර ගොදුරු කොටගෙන මිනිස් සත්වයෙක් නම් බඹයක් පමණ ද, ගොඩබිම තිරිසන් සත්වයෙක් නම් අලියෙක් පමණව ද, දියෙහි වේ නම් කැස්බ, තිමිර, පිංගල වැනි සුවිශාල මත්ස්‍යයන් ලෙස ද විශාල වේ.

මෙවන් රූපයේ ද පෙණ පිඬුවේ මෙන් ලොකු කුඩා සිදුරු ඇත. කුල වශයෙන් අසූවක් පමණ පනු වර්ග ඇත. උන්ගේ බිහිවෙන ගෙය ද. වැසිකිළිය ද, රෝහල ද, සුසානය ද වනුයේ මේ ශරීරය ම ය. එමෙන් ම පෙණ පිඬු මෙන් හටගත් මොහොතේ ම බිඳී යයි. පෙණ පිඬ ටික දුරක් ගොස් ද බිඳී ගියා සේ මේ ශරීරය ද එක් හැවිරිදි, දස – විසි, පණස් හා පරමායුෂ වර්ෂ 100ක් හෝ ගතකර අනිවාර්යයෙන් බිඳී යන්නේ පෙණ පිඬු මුහුද දක්වා ගොස් බිඳී යන පරිදි ය. එනිසා මහණෙනි, මේ ශරීරය පෙණ පිඬක් හා සමාන යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ගංගා ඉවුරේ සිටි අවස්ථාවක ය.

වේදනාව – දිය බුබුලක් (උදක බුබ්බුලා) වැනි ය. දිය බුබුලෙහි අරටුවක්, බලයක්, සාරයක් නැත. කෙ තරම් අසාර ද යත් අතට ගන්නටවත් නොහැකි තරම් දුර්වල ය. ගත් කෙණෙහි ම බිඳී යයි. එහෙයින් නිත්‍ය සාර වුවක් ලෙස ගත නොහැක. ගත්තත් එසේ නො සිටියි. මෙසේ අපි ස්පර්ශයෙන් (සිතින්) අල්ලා ගන්නා වේදනාව ද දිය බුබුලක් වැනි ය. භෞතිකව අපට නො දැනුනාට එක් අසුරු ගසන ක්ෂණයක කෙළ ලක්ෂ ගණනක් වේදනා සිතිවිලි ඉපිද නිරුද්ධ වෙති. මෙසේ අපට ඇතිවන සැප, දුක්, කවර වේදනාවක් වුව ද කලක් නො පවතී. නිත්‍ය බවක්, ස්ථිර බවක් නැත. බොල් වූවකි.

සංඥා – මිරිඟුවක් (මරිච්) වැනි ය. යම් වස්තුවක් හඳුනා ගැනීම සංඥාව යි. උණුසුම් මධ්‍යාහ්නයෙහි ඈතින් පොළොවෙන් නගින සැලෙන මිරිඟුව දකින ඇස් ඇති යමෙක් ඒ ගැන සිතන්නේ ය. නුවණින් පරීක්ෂා කරන්නේ එය හිස් වූවක්, බොල් වූවක් මෙන්ම නැති ජලයක් ඇති සේ පෙනෙන බව වැටහෙන්නේ ය. මෙසේ ම අපේ සිතෙහි ඇතිවන සංඥා සිතිවිල්ල (හඳුනා ගැනීම) නුවණැති යමෙක් ප්‍රඥාවෙන් පිරික්සන්නේ නම් නැති දෙයක් (හැඟීමක්) ඇති දෙයක් ලෙසත්, හිස් වූවක් බොල් වූවක් සේ ම වටහා ගන්නේ ය.

සංඛාර– කෙසෙල් කඳක් (කළලික්ඛන්ධ) වැනි ය. සංස්කාර යනු පැවැත්මට උපකාර වන දෙය හටගත් දෙය වශයෙන් විවිධ අර්ථ ඇත. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ගන්නා විට පව් – පින් හා භවයන් පතා භාවනා කිරීම වැනි ධර්මතාවලට යොදන පදයකි. එහෙයින් සසර ගමන කෙළවර කළ යුතු නිවන් මඟට යමෙක් පිළිපන්නේ ද ඔවුහු මේ ධර්මතා තිදෙන හිස්වූවක්, බොල් වූවක්, හරයක් නැති සේ ප්‍රඥාවෙන් දැන දැක කුණු රොඩු සේ සිතෙන් ඉවතට දැමිය යුතු හෙයින් සංඛාර හෙවත් සංස්කාර යනුවෙන් යොදා ඇත.

හරය ඇති, ඇළ නැති ගසක් සොයා කෙටේරියක් ගෙන වනයට වදින මිනිසකු ඇද නැති මහත් කෙසෙල් කඳක් දැක එය බිමට කපා දමා ගසේ මුල් ද, අග ද සිඳ දමන්නේ ය. දැන් පතුරු ගලවන්නෙකුට ඵලයක් ද (පොත්තට ඇතුළින් අරටුවට පිටින් ඇති ශක්තිමත් නොවන දැව කොටස්) හමු නොවීය. එසේ නම් එහි අරටුවක් කොයින් ද? දැන් මේ මිනිසා මේ ගැන නුවණින් විමසන්නේ එය හිස් වූවක්, බොල්වූවක් හර නැත්තක් ම සේ වැටහෙන්නේ ය. කෙසෙල් කඳෙහි හරයක් වේ ද? නැත.

විඤ්ඤාණ - සිත මායාවක් (මායා) වැනි ය. ඉන්ද්‍ර ජාලකයකු ඇස් බැන්දුම්කරුවකු , විජ්ජාකරුවකු නැති දෙයක් ඇති සේ පෙන්වීම මේ මායා නම් වේ.

පුද්ගලයකුට මනුෂ්‍යත්වයේ විපුල ප්‍රයෝජන ලබා ගැනීමට නම් මසැස සේ ම නුවණැස යන දෙ ඇසම තිබිය යුතු ය. මසැස ඇඳුරු පටලයන්ගෙන් තොර පිරිසුදු වූවක් ලෙසින් තිබීම ද, ප්‍රඥා ඇස සාර –ආසාරත්වය දැකීමට සමත් වූවක් ලෙසින් තිබීම ද මෙයින් අදහස් කෙරේ. මෙවැන්නකුට අසාර වූ අර්ථයෙන් හා ප්‍රයෝජනයට ගත නොහැකි අර්ථයෙන් විඤ්ඤාණය දෙස බලන්නේ නම් එය විජ්ජාකරුවකු දක්වන මායා සංදර්ශනයක් සේ දැකිය හැකි ය.

ඇතිවෙන සිත එකෙකි. ක්ෂණයක් පවතින සිත තවෙකකි. වෙන් ව ගිය සිත අනෙකකි. නමුත් මේ ත්‍රිවිධ අවස්ථා එක්සිතක් ලෙස විඤ්ඤාණය අපට දක්වයි. ඒ නැති දේ ඇතිකර පෙන්වන රැවටීමකි. මායාකරු ද මෙසේ ම ය. එහෙයින් විඥානය ද මායාවක් හා සමාන ය. ගැඹුරෙන් විමසා බලන්න. විඤ්ඤාණය පිළිබඳව ද මෙසේ සිතන, නුවණින් පිරික්සන ඔහුට එය එය හිස් වූවක් සේ ම. බොල් වූවක් සේ ම, හර නැත්තක් සේ ම වැටහෙයි.

මහණෙනි, මෙසේ රූප – වේදනා – සංඥා – සංඛාර – විඤ්ඤාණ යන අසාර පඤ්චස්කන්ධයෝ මම – මගේ ආත්මය වශයෙන් දැඩිව අල්ලා ගැනීම නම් වූ පඤ්ච උපාදානස්කන්ධ කර ගැනීම නුවණින් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ශ්‍රැතවත් (සද්ධර්මය අසා දැන සිටින) ආර්ය ශ්‍රාවකයා මේ සියල්ල පිළිබඳ කලකිරෙන්නේ, නො ඇලෙන්නේ, පඤ්ච උපාදානස්කන්ධයෙන් මිදෙයි.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]