[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධාර්මික වටිනාකම්වලින් යුත්කෞතුක භාණ්ඩ පිරිවරා ඇති ගංගාරාමය

ධාර්මික වටිනාකම්වලින් යුත් කෞතුක භාණ්ඩ පිරිවරා ඇති ගංගාරාමය

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව හා ශිෂ්‍ය උරුමය පවතින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් සපයන පෞරාණික විහාරස්ථානයක් වශයෙන් හැඳින්විය හැකි ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි, මහගොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමි, මොරෙන්තුඩුවේ ධම්මානන්ද නාහිමි, දෙවුන්දර සිරි වාචිස්සර නාහිමි, දෙවුන්දර සිරි රතනජෝති නාහිමි, සහ ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමි යන එකී නාමාවලිය ගංගාරාමාධිපති නාහිමි පෙළපත වශයෙන් දැක්විය හැකි ය. එකී පෙළපතට උරුම ගංගාරාමය යනු එක් අතෙකින් මහා කෞතුකාගාරයකි. සිය දහසක් බුදු පිළිමවලින් සහ තවත් නොයෙකුත් පෞරාණික සහ ධාර්මීය වටිනාකම්වලින් යුත් කෞතුක භාණ්ඩ පිරිවරා ඇති ගංගාරාමයෙහි සර්වඥධාතූන් වහන්සේ විශාල ප්‍රමාණයක් වැඩ වෙසෙති.

සියලු චෛත්‍ය අංගවලින් සමන්විත ගංගාරාමයේ චෛත්‍ය පිරිවරා ඇත්තේ ශෛලමය පරිවාර දාගැබ් හැට එකකි. සඳකඩපහණක්, මුරගල් රූප තුනක් හා ශෛලමය පැරැණි හිටි බුදුපිළිමයක් ද මෙහි තැන්පත් කර ඇති අතර මේ චෛත්‍යයේ නිර්මාණ කාලය බුද්ධ වර්ෂ 2476ට පමණ අයත් වේ. ගංගාරාමයේ විහාර මන්දිරය කොටස් දෙකකින් පමණ සමන්විත ය. පැරැණි විහාරය සහ අලුත් විහාරය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විහාර මන්දිර දෙකේම හිටි පිළිම දෙකක්, හිඳි පිළිම දෙකක්, පිත්තලෙන් තැනුණු තායිවාන් හිඳි පිළිමයක් සහ කිරිගරුඬ හිඳිපිළිමයක් ද ඇත.

පැරැණි විහාර මන්දිරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින අයුරු දැක්වෙන විසල් සැතපෙන පිළිමයකි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව නිරූපණය කෙරෙන හිඳි පිළිමය ද ඒ ආකාරයෙන් ම ජීවමාන බවක් දක්වයි. එමෙන්ම පැරැණි හිඳි පිළිමය අසලින් මෛත්‍රී බෝසත් රුවක් වෙන අතර සිවිලිම හා බිත්ති ජාතක කතා බුද්ධචරිතය නිරූපිත දිනවලින් සහ අලංකාර මල්කම්වලින් සරසා ඇත.

ගංගාරාමයේ බෝධි මාලකය අසලම ඇත්තේ අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරයයි. එය මහල් තුනකින් සමන්විත ය. එම බිම් මහලේ පැරැණි දඹදිව පැවැති දෙතිස් වධ දීම් පිළිබඳ චිත්‍ර අඹා ඇත. මැද මහලේ තිබෙන තඹ තහඩුවෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමා, සිරිපතුලත්, සතර බ්‍රහ්ම විහරණ, දුක්ඛ සත්‍යය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සහ පරිනිර්වාණය ද වඩාත් රමණීය වෙයි.

ශ්‍රී විෂ්ණු සහ කතරගම යන දේව මන්දිර හැරුණු කොට තවත් දේව මන්දිර රැසක්ම මේ පුදබිමෙහි වෙයි. පිත්තලයෙන් නිර්මාණය කරන ලද පත්තිනි, භද්‍රකාලි, ගණදෙවි, ඊශ්වර, සුමන සමන්, සරස්වතී, මහා බ්‍රහ්ම යන පිළිරූ ද මෙහි වෙයි. තවද ඉන්දියානු කැටයම් ශිල්පීන්ගේ දෑතින් නිමැවුණු පාෂාණමය දේවතා රූප විශාල ප්‍රමාණයක් ද මෙහි තිබේ.


කොළඹ හුණුපිටිය
ගංගාරාම විහාරාධිකාරි
ආචාර්ය
කිරින්දේ අස්සජි හිමි

ගංගාරම කෞතුකාගාරයේ ඇති ඉතා දුර්ලභ ශුද්ධ වස්තුවක් සහ සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැලකෙන්නේ දක්ෂිණාවෘත සංඛයයි. මහා වංශයේ සඳහන් වෙන ආකාරයට පැරැණි රජදරුවන් රාජාභිෂේක මංගල්‍යයේ දී පැන් වැඩීම සඳහා යොදාගෙන ඇත්තේ මෙවැනි දක්ෂිණාවෘත සංඛ්‍යයක් හෙවත් දකුණු පැත්තට ඇඹරී ගිය වයිරමින් යුත් හක්ගෙඩි විශේෂයකි. වසර කෝටි ගණනක් පැරැණි පොසිලයක් ද ගංගාරාම කෞතුකාගාරයේ වෙයි. ස්කොට්ලන්ත ජාතිකයකු විසින් දෙවුන්දර ජිනරතන හිමියන්ට පරිත්‍යාග කරන ලද මුද්‍රණ යන්ත්‍රය ධර්ම පුස්තක දස දහස් ගණනක් මුද්‍රණද්වාරයෙන් වැඩම වූ පැරැණි මුද්‍රණ යන්ත්‍රයකි. අද එහි කොටස් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. පොළොන්නරුව සහ දඹදෙණි යුගවල පටන් පෘතුගීසි, ඕලන්ද, ඉංගී‍්‍රසි ආදී යුගවලට අයත් කහවනු, වරාංග ආදී කාසි වර්ගත්, මුදල් නෝට්ටුත් විශාල ප්‍රමාණයක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම කෞතුකාගාරයේ ඇති තවත් වැදගත්ම දෙයක් වනුයේ පැරැණි පුස්කොළ පොත් ය. ඉතාමත් කලාත්මක චිත්‍ර සැරසිලිවලින් සමන්විත පොත් ධර්ම, විනය, යන්ත්‍ර, මන්ත්‍ර, වෛද්‍ය නක්ෂත්‍ර ආදී විෂයයන් අළෙලා ලියන ලද ලොකු කුඩා පැරැණි පුස්කොළ පොත් රැසක් මෙම කෞතුකාගාරය සතුව තිබේ. ගංගාරාමයේ කෞතුක වස්තු එකතුවේ වපසරිය තුළ ඇති තවත් වටිනා සම්පතක් වෙන්නේ ඇත්දලින් කැටයම් වූ දන්ත ධාතු කරඬු ආකෘතියයි. චීනයේ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන්නේ තනි රත්තරනින් කරන ලද කරඬුවක ය. එම රන් කරඬුවේ ප්‍රමාණයට ම ඇත්දළින් නිම කළ එහි ආකෘතියක් ගංගාරාම කෞතුකාගාරයේ වෙයි. එය සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරස්ථානයෙන් කොළඹ ගංගාරාමය ලද පරිත්‍යාගයකි.

ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් සතුව වැඩ සිටි සර්වඥ ධාතූන් වහන්සේ, කැලණි රාජමහා විහාරය ප්‍රතිසංස්කරණය කළ හෙලේනා විජයවර්ධන මැතිනියට එම විහාරස්ථානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සර්වඥධාතුන් වහන්සේ සහ වටිනා ඇත්දත් කරඬුව ද, ඩී.ඇම්.පී. වනිගතුංග පවුල සතුව තිබූ සර්වඥධාතුන් වහන්සේ සහිත රන් කරඬුව ද, බංග්ලාදේශයෙන් සහ ඉන්දුනීසියාවෙන් ලැබුණු ධාතුන් වහන්සේ ද ගංගාරාම විහාරස්ථානයේ ගෞරව බහුමානයෙන් යුතුව වැඩවෙසෙති.

වසර සියයකට ආසන්න හෝ ඊට වැඩි ඉතිහාසයක් බේරේ වැවේ සීමාමාලකයට ඇත. කාලයාගේ ඇවෑමෙන් දිරාපත් වූ සීමා මාලකය 1979 වර්ෂයේ දී පෙබරවාරි මස 10 වෙනි දින නැවත ඉදිකරුණු ලැබූ අතර එම සීමා මාලකය ලෝකයේ ඇති කිසිම සීමාමාලකයකට නොදෙවෙනි ඉතාමත් රමණීය අලංකාරවත් වූ සීමාමාලකයක් ලෙස සැලකේ. තවද එම සීමාමාලකය සමීපයෙහි බුරුම රටෙන් ගෙන්වා තැන්පත් කරන ලද කිරිගරුඬ සිරිපතුලක් ද වේ. තවද බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් ගංගාරාම කෞතුකාගාරයේ දකින්නට ලැබෙන අතර ඒ ප්‍රතිමා වහන්සේගෙන් බොහෝ ප්‍රමාණයක් විදෙස් රටවලින් ලැබුණු ඒවා වේ. ඇතැම් බුද්ධ ප්‍රතිමා සැදැහැවත් බෞද්ධයන්ට දැක බලා ගැනීම පිණිස මෙරටට ගෙන්වන ලද ඒවා ය.

තවද, හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ හා හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා ප්‍රමුඛ පිරිස ලංකාවේ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙහිලා දායකත්වය ලබා දී ඇති අතර, එම බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට ඔසවන ලද ස්ථාන අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ද ඇතුළත්ව ඇති බව සලකනු ලබයි.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]