[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සඟ සතු දේ විනාශ කළොත් විපාකය බරපතළයි

සඟ සතු දේ විනාශ කළොත් විපාකය බරපතළයි

අතීතයේ හෙළදිව රුහුණු රටේ වැඩ සිටියා භික්ෂූන් වහන්සේ හැට නමක්. දවසක් උන්වහන්සේ කතිකා කර ගත්තා දඹදිවට වැඩම කරලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කරගෙන එන්න ඕන කියලා.

හැටදෙනා වහන්සේ ම නියම කර ගත් දිනට පාත්‍රා සිවුරු ආදී අවශ්‍ය කළමනා සූදානම් කරගෙන නැව් තොට බලා පිටත් වුණා. රුහුණු දනව්වේ ඉදලා දවස් ගණනාවක් ම පයින් ම වැඩම කළා මහාකොණ්ඩ කියන නැව් තොටට. එතැනින් පිටත් වෙලා කාවේරිපටුන නැව් තොටට ගොඩ බැස්සා. හැට දෙනා වහන්සේ ම පෙර කිසිම දවසක දඹදිවට වැඩම කරලා තිබුණේ නෑ. කිසිම කෙනෙක් හරියට ම පාර දන්නෙත් නෑ. ඉතිං මේ නිසා මඟ තොටේ හමුවන අයගෙන් පාර අහගෙන ගමන පටන් ගත්තා. එක් මඟියෙක් කිව්වා ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කර ගන්න කෙටි පාරක් තියනවා. පුළුවන් නම් එතැනින් යන්න. වැඩි මහන්සියක් නැතිව යන්න පුළුවනියි කියමින්. මඟ සළකුණු කියා දුන්නා. හැට දෙනා වහන්සේ ම එයට කැමැතිව ගමන පිටත් වුණා. මෙහෙම යන අතරේ පාර වැරැදිලා අලි ඇතුන් යන මාර්ගයක තමයි යන්න පටන් ගත්තේ. දවස් තුනක් ම ඒ මාර්ගයේ ම ගමන් කළා. එහෙත් කියපු විදිහට ශ්‍රී මහාබෝධීන් වහන්සේ හමුවෙන්නත් කාලය හරි. කට්ටියට ම වැටහුණා පාර වැරැදිලා කියලා. දවස් දෙකක්ම රාත්‍රිය ගත කළේ විශාල ගල් තලාවක හෝ ලෙනක. ඒ ස්ථානවල දී කැලෑ සතුන්ගෙන් කිසිම හානියක් වුණේ නෑ.

තුන්වැනි දිනයේ සවස් යාමයත් උදා වුණා. කට්ටියම පෙර දවස් දෙකේ ආරක්ෂා වුණ විදියටම කල්පනා කළා ගල්තලාවක හෝ ලෙනක හෝ වැඩ ඉන්න. මෙහෙම යනකොට දැක්කා විශාල ගල්තලාවක් තියනවා. හැමෝම ගොඩවෙලා. පාත්‍රා සිවුරු ආදී පිරිකර පැත්තකින් තියලා දෙපට සිවුර ගල මත එලාගෙන සැතපෙන්න පටන් ගත්තා. ක්‍රමයෙන් රාත්‍රිය අධික වුණා. මධ්‍යම යාමයත් ඉක්ම ගියා. නඩයේ වැඩ සිටි නායක තෙරුන් වහන්සේට අධික සීතලත්, සුළගත් නිසා ඇහැරුණා.

අනෙක් සියලු දෙනාම තවමත් සැතපිලා. ඒ නිසා කල්පනා කළා අරුණෝදය වෙනකම් සක්මන් භාවනාව වඩන්න. ශරීරය ඍජුව තබාගෙන පටන් ගත්තා සක්මන් භාවනාවට. මෙහෙම ඉදිරියට සක්මන් කරමින් වැඩම කළා. නැවතත් හිටපු තැනට ම ආවා. මෙහෙම දෙතුන් වතාවක් සක්මන් කරලා වෙහෙස නිසා ටිකක් නතර වෙලා පර්වතය දිහා ටික වේලාවක් බලාගෙන සිටියා. පුදුමයක් තමයි දැක ගන්න ලැබුණේ. ඒත් නිශ්චිතව ඒක තීරණය කර ගත්තේ නෑ. නැවතත් ටික වේලාවක් බලා සිටියා. හරියට ම තහවුරු කර ගත්තා. වහාම අනෙක් පනස් නව දෙනා වහන්සේට ම කතා කරලා අවධි කර ගත්තා. හැමෝම එක තැනකට ගෙන්නා ගෙන කිව්වා.

‘ඇවැත්නි අර බලන්න අර ඈත පෙනෙන්නේ මොකක්ද කියලා. ඉස්සරහින් ම තියෙන්නේ විශාල හිසක්. දෙපැත්තෙන් බලන්න විශාල අත් දෙකක් තියනවා. පේනවා නේද? කියලා ඇහුවා.

හැම දෙනාම ඔව් කියලා පිළිතුරු දුන්නාට පස්සේ මහතෙර නම කියනවා.

‘බය වෙන්න එපා මම මේ කියන දේ අහලා. අපි මේ වැඩ ඉන්නේ විශාල ප්‍රේතයකුගේ පිට උඩ. අපි හැමෝම ඉක්මනින් ම මෙතැනින් බැහැලා පිටවෙමු’යි කියලා පාත්‍රාසිවුරු අරගෙන වහාම එතැනින් බැස්සා. ඒත් එක්කම ප්‍රේතයා හිස ඔසවා ගත්තා. ඒක දැකලා මහතෙර නම ඔහුගෙන් මෙහෙම ඇහුවා.

‘මහා ගල් තලාවක් වගේ විශාල ශරීරයක් තියන ඔබ මෙහෙම ප්‍රේතයකු වුණේ කොහොමද? ඔබ අතීතයේ කරපු අකුසලය මොකක්ද? අපි කැමැතියි ඒක දැන ගන්න’යි කිව්වා. ප්‍රේතයා කියනවා

‘ස්වාමිනි, මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිහෙක් වෙලයි හිටියේ. උන්වහන්සේ පිරිනිවන් පානවාත් සමග උන්වහන්සේට මිනිසුන් පූජා කර තිබුණු කුඹුරු, ධනධාන්‍ය වගේම විවිධ පළතුරු උයන් ආදීය විනාශ කර දැමුවා. මගේ මෙහෙයවීම යටතේ අඹුදරුවන්ට වගේම ඥාතීන්ටත්, හිතවතුන්ටත් සඟසතු දේපළ ගෙන යන්න උදව් කළා. අපි ඒවා රිසි සේ භුක්ති වින්ඳා, ඒ මිනිස් ආත්මය සතුටින් ගත කර ගත්තේ ඒ සම්පත්වලින් තමයි. මම කර්මය හෝ එහි ඵලය විශ්වාස කළේ නෑ. ඒවගේ විපාක අවුරුදු දහස් ගණනක් තාම විඳවනවා. මේ පෘථිවිය දූවිලි වැදි වැදී ගව් හතක් උඩට පිරෙනකම්ම මම විපාක විඳිනවා. බැරෑරුම් කර්මයක් විපාක විඳිනවා. ස්වාමිනි, මම මේ ප්‍රේත ආත්මය ලැබුවාට පස්සේ අවුරුදු සිය ගණනක් තවම ඇවිද ගිහින් නෑ. ඒ විතරක් නොවෙයි, හිටගෙනවත් නෑ. කවමදාකවත් කුස පිරිලා නෑ. අධික කුසගින්නෙන් විතරක් නොවෙයි අධික පිපාසයෙනුත් පීඩා විඳිනවා. ඔබ වහන්සේට පුළුවන් නම් මට වතුර ටිකක දෙන්න’යි කියලා ඉල්ලා සිටියා.

නායක තෙරුන් වහන්සේ සෙසු පනස් නව දෙනා වහන්සේ සමඟ අසල තිබුණු ගංගාවකින් පාත්‍ර හැටකින් ම වතුර ගෙනවිත් ඔහුගේ මුඛයට වත් කළා. ඊටපස්සේ ඇහුවා ‘ඔබගේ ඉල්ලීම අප සියලු දෙනා ඉටු කළා. ඔබට දැන් සහනයක් තියනවා දැයි’කියලා. ප්‍රේතයා කියනවා

‘සවාමිනි, මගේ දිවේ අග කොටසවත් තවම තෙමුණේ නෑ. තවත් පිපාසිත යි. දහස් දෙනෙක් දවස් හතක් එක දිගට මගේ මුඛයට දිය වත් කළත් මගේ බොටුව තෙමා ගන්නවත් බෑ’යි උත්තර දුන්නා.

මේ ප්‍රේතයා බඹ පන්සියයක් තරම් විශාල යි. බඹයක් කියන්නේ අඩි හයක්. ඉතිං බඹ පන්සියයක් කියන්නේ අඩි තුන් දහසක්. ඒ තරම් මේ ප්‍රේතයා විශාල යි. තෙරවරුන්ගේ කාරුණික උපකාරයෙන් පස්සේ අහනවා.

ඔබ වහන්සේ කවුද? කාගේ ශ්‍රාවකයෝ ද? කියලා. එතකොට නායක තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා

‘අපි ශාක්‍යරාජ කුලයෙහි උපන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ’ කියලා. ඒක අහලා ප්‍රේතයා නැවතත් කතා කරන්න පටන් ගත්තා.

‘ස්වාමිනි, බුද්ධ කල්ප දෙකක් ම මම සංඝික දේපළ කෑමේ විපාක විඳිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ උපන් බව දැනගෙන දිනහතක් පමණයි මම මේ ප්‍රේත ආත්මයේ ඉන්නේ. එතැනින් පස්සේ නැවතත් අවීචියේ දුක් විඳිය යුතු වෙනවා. ඔබ වහන්සේ මගේ කතාව ලෝක සත්වයාට කියලා දෙන්න. මෙවැනි පාප කර්ම කරන්න එපා කියන්න. එහි විපාක බලවත් කියන්න. ඒ වගේම සාංඝික දේපළ ආරක්ෂා කරදීම පින් රැස්වන දෙයක් බවත් කියන්න. ඒ විතරක් නොවෙයි. මිනිස් ආත්මය නිවැරැදිව ගත කරන්න කියලාත් කියන්න”යි තමන්ගේ චිත්ත සන්තාපය ප්‍රකාශ කළා. තෙරුන් වහන්සේ සියලු දෙනාම මහත් සංවේගයට පත් වුණා. ඒ ගැනම භාවනා කමටහන් වශයෙන් තබා ගනිමින් වැඩම කළා. උන්වහන්සේලා හැට නම ප්‍රේතයාගේ ශරීරය ළඟින් ඉවත් වනවාත් එක්කම ඔහුගේ ශරීරයට ගිනි ඇවිලුණු බවත්, ඒ ගින්නේ ආලෝකය එදා රෑ ගවු එක හමාරක් දුර පැතිර ගිය බවත්, එම ආලෝකයෙන් තෙරුන් වහන්සේ එපමණක් දුර ගමන් කළ බවත් සීහළවත්ථුවේ එන මේ කතා පුවතේ සඳහන් වෙනවා.

බලන්න පින්වත්නි, සඟසතු දේ අනුභව කිරීමෙන් උතුම් මිනිස් බවක් ලබා සිටි පුද්ගලයකුට වුණු විපත. ලෝභයෙන්, තණ්හාවෙන් ශරීරය පිනවන්නත්, භෞතික සම්පත් වැඩි කර ගන්නත් ගිහින් අවුරුදු දහස් ගණනක් අවීචියේත්, ප්‍රේත ආත්මවලත් දුක් විඳිනවා. ඒ නිසා කිසිම අවස්ථාවක සංඝයාට පූජා කළ දෙයක් භාවිතයට ගන්න එපා. සොරකම් කරන්න එපා. ලැබුවා වූ මේ මිනිස් ආත්මය රැක ගන්න උත්සාහ ගන්න. සීලය ආරක්ෂා කරමින් භාවනාවෙන් ආධ්‍යාත්මික සුවය වර්ධනය කර ගන්න.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]