[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

මෙවර සිරිපා වන්දනා වාරයේ සමාරම්භක පින්කම

ශ්‍රී ශාක්‍යකුල තිලකාය මාන වූ අප ගෞතම ශ්‍රී සම්‍යක් සම්බුද්ධ වූ දේවාති දේව වූ මොහඳුර දුරු කිරීම පිණිස මේ ලක්දිවට වසර 2600 කට පෙර වැඩම වූ බුද්ධ නමැති සූර්ය රාජෝත්තමයාණන් වහන්සේ රුහුණු රටට අන්තර්ගත වූ සබරගමු පළාතේ රත්නපුර දිසාවේ කුරුවිට කෝරළයබද සමනල අඩවියේ සමන්තකූඨ පර්වත මස්තකයේ මඟුල් ලකුණින් යුත් වාම ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළ සේක. තෙරුවන් බලය ද බුද්ධ අදිටන් බලයෙන් ද මේ ලක් දෙරණ පාරිසශුද්ධත්වයට පත්කළ දා පටන් ජනී ජනයන්ගේ පූජා වන්දනාමානාදියට පාත්‍ර වුහ. එදා පටන් පැවැත එන ශ්‍රී පා වන්දනා වාරය ආරම්භ කිරීම පිණිස රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ අනුග්‍රහය ලැබුණි. ශ්‍රී පා වන්දනා වාරය ඇරඹීම පිණිස ශ්‍රී පා මලුව කරා ශ්‍රී බුද්ධ ධාතූන් වහන්සේ ද ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ ද වැඩම වීමට පෙර සිරිත් පරදි සිදු කරන පුද පූජා හා තේවාවන් වර්ෂයෙන් 2564 ක් වූ -ශ්‍රී බුද්ධ චන්ද්‍ර මාස ක්‍රමයෙන් උඳුවප් මස පුර තෙලෙස්වක නම් තිථිය ලත් රිවි දින හෙවත් ශ්‍රීමත් ශාලි වාහන ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් 1942 ක් වූ විෂ්ණු විංශතියේ පීතර යුග පංචාබ්දයේ තෙවන ඉද්‍ධවත්සර භේද නාමධාරි දේවතාධිපති වු දක්ෂිණායන හේමන්ත ඍතුවේ හිරු ධනු රාශිගත වූ එකොළොස් භාග වූ ඉරු දින නව දුන් කෝරළේ උඩ පත්තුවේ දෙනවක උඩකඩ පැල්මඩුල්ලේ කුට්ටාපිටියේ ශ්‍රී පාද විහාර පූජා නින්දගමේ පිහිටි ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ දී සිදු කෙරිණි. දෙසැම්බර් මස 17 වනදා අලුයම පෙරහරින් මලුවට වැඩමවා උඳුවප් පුර පසළොස්වක වූ දෙසැම්බර් මස 18 වැනිදා සිට 2022 වෙසක් පුර පසළොස්වක දක්වා ශ්‍රී පා වන්දනා වාරය සිදු කරනු පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රථම බුද්ධ ශ්‍රාවක වූ සබරගමු පළාතට අධිගෘහිත වූ සමනල සමන්තකූට පර්වතය අරක් ගෙන සිටින දහසක් නයින් සෝවාන් ඵලයෙහි පිහිටි සිද්ධ ශ්‍රී සුමන දෙවි මහ රජුන්ට පුණ්‍යානුමෝදනා කරම්හ.

සිරිමහ බෝ සමිඳු වැඩම කරවූ අසිරිමත් උඳුවප් පොහොය

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩම කරවීමත්, සිරිලක භික්ෂුණී සමාජය ආරම්භවීමත්, උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ ව පවත්නා ඓතිහාසික සිදුවීම් ය. දඹදිව සිට සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා විසින් සිරිලක දඹකොළ පටුනට වැඩම කරවන ලද බෝධීන් වහන්සේ භාර කෙරුණේ දේවානම්පියතිස්ස රජු වෙත ය. දේවානම්පියතිස්ස රජු පෙර ගමන් කොට කර වටක් දියට බැස හිස මුදුනෙහි තබා ගත් බෝධීන් වහන්සේට ලක්දිව රාජ්‍යය තුන්වරක් පූජා කළේ ය. ඉක්බිතිව අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ද, සංඝමිත්තා මහ රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙළින් පූජා පැවැත්වූ බව සිංහල බෝධි වංසයෙහි දැක්වෙයි. ඉක්බිතිව බෝධීන් වහන්සේ අත්‍යාලංකාරයෙන් සකස් කළ රථයක් මත තැන්පත් කොට දඹකොළ පටුනෙන් පිටත්වූ මහ පෙරහර මඟ දිගට පුද සත්කාර පවත්වමින් ඉදිරියට ගමන් ගත්තේ ය. අතරමඟ නාගදීපයෙහිත්, තිවක්ක බමුණාගේ ගමෙහිත් පුද සත්කාර පිණිස පෙරහර නතර කරවූ බව ද මහාවංසය සහ බෝධිවංසය තුළ සඳහන් ව තිබේ. බෝධින් වහන්සේ රෝපණය කළේ මහමෙව්නා උයනෙහි සකස් කළ උස් භූමියක ය. මේ සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වූහ. ඒ අනුව ලක්දිව සියලුම ප්‍රභූ ජන නායකයන් ගේ සහභාගිත්වයෙන් ජාතික මහෝත්සවයක් ලෙස බෝධි රෝපණය සිදු කොට ඇති බව පැහැදිලි ය. සතියක් පුරාම පැවැති මෙම උත්සවයේ දී නගර වාසීන් අපමණ සොම්නසට පත්ව තිබෙන බැව් සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි.

යසස දියුණුව ලබන්න නුවණින් උත්සාහය පුරුදු පුහුණු කරන්න

උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො - සඤ්ඤ තස්සච ධම්ම ජීවිනො - අප්පමත්තස්ස යසො භිවඩ්ඪති සකල සත වෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන මහා විහාරයෙහි වැඩ වසන සමයෙහි කුම්භ ඝෝෂක සිටාණන් අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කළ සේක. අප බුදුරදුන් දිවමන් කල රජගහ නුවර අභිවාතක නම් ඉතා භයානක වසංගතයක් හට ගත්තේ ය. එය ක්‍රමයෙන් පැතිරී සිටු මැදුරට ද බෝ විය. සිටු බිරිඳ හා සිටාණන් රෝගයෙන් අසාධ්‍ය ව සිය පුතු කැඳවා “ ‘පුතුනි, අප මෙම රෝගයෙන් පෙළෙමු. මෙයින් සුවවීමට නොහැකි ය. අසවල් තැන සතළිස් කෙළක් ධනය ඇත. දැනට මෙම රෝගයෙන් බේරීමට ඈත පෙදෙසකට වහාම යන්න. බොහෝ කල් පසුව අවුත් එම ධනය ගෙන යහතින් දිවි ගෙවන්න”යැයි කීහ. ඔවුහු ඒ දරුණු රෝගයෙන් අසාධ්‍ය ව මිය ගියහ. සිටු පුතා බොහෝ ඈත පළාතකට ගොස් ජීවත් වූයේ ය. දොළොස් වසරකට පසුව රජගහනුවරට ආවේ ය. නිදන්ගත ධනය පරික්ෂා කර බැලුවේ ය. මව්පියන් කී පරිදි ම ධනය නොනැසී තිබුණි. එහෙත් තමන්ගේ ස්වභාවය අනුව මෙ තරම් ධනයක් ගැනීම අන්තරායකර බව සිතුවේ ය. උපායෙන් විසීම සුදුසු යැයි සිතට නැඟුªණි. සිටුතුමා දිළිඳු වෙස් ගෙන දිවි රැකුම සඳහා නුවර ම රැකියාවක නිරතවිය. නාගරික කම්කරුවන් අලුයම නින්දෙන් පිබිදවීම එම රැකියාව යි. මෙම සිටු තරුණයා අවදි වන්නේ සෑමදාම ඉරු උදාවීමට පෙර ය. ඉන්පසු මුරගා ඇවිදින කම්කරුවන් අවදි කරන්නේ ය. ඔහු ඝෝෂක නමින් ප්‍රසිද්ධ වූයේ එහෙයිනි.

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ලාංකේය මෙහෙවර

භාරතයේ සිටි මහා අධිරාජ්‍යයාගේ දියණිය ලෙස උපත ලද සංඝමිත්තා කුමරිය තම ජීවිතයේ ඉතාම සුන්දර භද්‍ර යෞවන කාලය තුළ උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූයේ ඉමහත් ප්‍රීතියෙනි. උතුම් පැවිදි ජීවිතයේ කළ කිස නිම වූ සංඝමිත්තා භික්‍ෂුණීන් වහන්සේ අර්හත්භාවයට පත්වෙන්නේ ඉතාම කෙටි කාලයක් තුළ දී ය. උත්තම වූ සැනසීම් සුවයෙන් පසුවන්නා වූ තමන් වහන්සේට වෙනත් රටකට ධර්ම සන්නිවේදනය සඳහා ආරාධනා ලැබෙන්නේ තම සහෝදර මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ඉල්ලීම මත ය. සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ මේ ආරාධනාව පිළිගන්නේ ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ගරු කරමින් ය. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය” යන ඒ දේශනාවට අනුව බොහෝ දෙනාගේ හිත සුව පිණිස, අර්ථය පිණිස, සැපය පිණිස, තම උපන් දේශයෙන් පිට වෙනත් රටක් වෙත වැඩම කොට ඒ දේශය තුළ ජීවිත කාලයම ගෙවා දමමින් පරාර්ථය පිණිසම තම ජීවිත කාලයම වෙන් කළේ උතුම් ශාසනික අභිලාෂයන් අනෙකා වෙත ද දායාද කිරීමේ අරමුණෙනි. මෙම අසීමිත කැප කිරීම නොවන්නට හෙළයට මහා සංස්කෘතියක් නොලැබී යාමට තිබුණි. තමන් වහන්සේගේ සොහොයුරු මහා මහින්ද මහා රහතන් වහන්සේගේ පළමු ලංකා ගමනයෙන් පැහැදී ධර්මාවබෝධයට පත්ව සිටින විශාල කාන්තා පිරිසගේ විමුක්ති සාධනය කිරීමෙහි පහසු ගමන් මාර්ගය වූ උතුම් පැවිදි භාවය ලබා දීමේ අරමුණින් හා බුදු සිසිල ලබා දෙමින් විරාජමාන ව වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහස ලක් භූමියට ලබා දීමටත්, ඒ බෝධීන් වහන්සේ වෙනුවෙන් නිවැරැදි වත් පිළිවෙත් සිදු කිරීමට දහ අටක් වූ කුල පරම්පරාවන් ද සමඟ ලක්දිව වෙත වැඩම කිරීමේ ගමන ආරම්භ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික ගෞරව ආරාධනයට ගරු කිරීමක් ද හිතේ ඇතිව ය.
 

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]