[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ බුද්ධානුස්සතියට කාලය යි

මේ බුද්ධානුස්සතියට කාලය යි

කරුණාවන්ත පියතුමකු තම දයාබර දරුවන් අමතා අනුකම්පාවෙන් අවවාද කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ ද තම ශ්‍රාවකයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ අවවාද කරති.

මහණෙනි, ශ්‍රාවකයන් කෙරෙහි හිතවත් වූ අනුකම්පා සහගත වූ ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතු ද එය මා විසින් ඔබට කරන ලද්දේ ය. මහණෙනි, මෙන්න ගස්මුල්. මෙන්න හිස් වාසස්ථාන. මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද නොවන්න. පසුව විපිළිසර නොවන්න. මේ නුඹලාට අපගේ අනුශාසනාවයි.

බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසටම අවවාද කළේ “ඣායථ භික්ඛවෙ මා පමාදත්ථ” මහණෙනි, ධ්‍යාන වඩන්න ප්‍රමාද නොවන්න කියායි. මෙහිදී “ධ්‍යාන වඩන්න” යන්නෙන් අදහස් වෙන්නේ භාවනා කිරීමයි. භාවනාව යනු සිත වැඩීමයි. එසේ වැඩිය යුත්තේ කුසල් දහම් ය. සිත තුළ කුසල් දහම් වැඩෙන මූලිකම කාරණාව බුදුගුණ සිහි කිරීමයි. බුද්ධානුස්සතිය යනුවෙන් දක්වන්නේ එසේ බුදුගුණ සිහි කරමින් වැඩීමයි.

බුද්ධානුස්සතිය වැඩීමෙන් උපචාර සමාධියකට ඉතා ඉක්මණින් පැමිණිය හැකි ය. බුද්ධානුස්සතිය වඩන විට ධ්‍යාන සිත් සමීපයෙහි හැසිරෙන සිතුවිලි පහළ වේ.

“බුද්ධානුස්සති” යන වචනය සෑදෙන්නේ “බුද්ධ” හා “අනුස්සති” පද දෙක එකතු වීමෙන් ය. මෙහිදී “බුද්ධ” යන්නෙන් බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණස්ඛන්ධය අර්ථවත් වේ.

“අනුස්සති” යනු නැවත නැවත සිහි කිරීමයි. මේ අනුව අපරිමිත බුදුගුණ නැවත නැවත සිහි කිරීම බුද්ධානුස්සතිය යි. බුදුගුණ සිහි කරමින් ඒ අනුව සිත වැඩීම බුද්ධානුස්සති භාවනාවයි. අනන්ත අපරිමිත වූ බුදුගුණ සාමාන්‍ය ලෝක සත්වයාට යම් තරමකටවත් අවබෝධ කර ගනු පිණිස සියලු බුදුගුණ කැටි කොට ගුණ නවයකට බෙදා දක්වා තිබේ. නවඅරහාදී බුදුගුණ යනුවෙන් ව්‍යවහාර කරන්නේ ඒ බෙදා දැක්වීමයි.

ඒ මෙසේ ය.

“ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො, විජ්ජාචරණ සම්පණ්ණො, සුගතො, ලොකවිදූ, අනුත්තරො පුරිසදම්මසාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධො භගවා” මෙම බුදුගුණ පාඨය බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද්දක් ම ය.

බුද්ධානුස්සතිය වඩන්නට පෙර මල් පහන් සුවඳදුම් ආදී පූජාවන්ගෙන් ත්‍රිවිධ චෛත්‍ය පුදා වත්පිළිවෙත් දක්වා වන්දනා කළ යුතු ය. දෙවනුව දර්ශන මාත්‍රයෙන් සිතේ පැහැදීම ඇති කරලීමට සමත් බුද්ධ ප්‍රතිමාවක් වෙතොත් ඒ ඉදිරියේ තැන්පත් ව සිල් ආවර්ජනා කිරීමෙන් පසුව තෙරුවන් කමා කර ගත යුතු ය.

තුන්වෙනුව තෙරුවන් කෙරෙහි තම ජීවිතය පුදා පින්පෙත් අනුමෝදන් කිරීමෙන් පසුව කමටහන් නැමැති මහා නිධානය දිවිහිමියෙන් රැක ගන්නෙමි'යි අධිෂ්ඨාන කළ යුතු ය.

හතරවෙනුව සුදුසු විවේකස්ථානයක පහසු පරිදි තැන්පත් ව (වාඩි වී) වමත උඩ දකුණත සිටින සේ උකුළ මත අත්දෙක තබා ගෙන දෑස් මදක් අඩවන් කරගෙන කමටහන වැඩිය යුතු ය.

අරහං බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් නොකෙළ සේක. කෙලෙස් සතුරන් නැති කළ සේක.

සියලු පුද පූජාවන්ට සුදුසු වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධ බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ අතීතයේ සිදු වූ, අනාගතයේ සිදු වන, වර්තමානයේ සිදුවෙමින් පවතින සියලු දේ අතට ගත් නෙල්ලි ගෙඩියක් සේ දැන දැක අවබෝධ කළ සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක.

සම්මා සම්බුද්ධ වන සේක.

විජ්ජාචරණ සම්පන්න බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ විද්‍යා ඥාන අටකින් ද, පසළොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක.

විජ්ජාචරණ සම්පන්න වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුගත බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ යහපත් ගමන් ඇති සේක. සුන්දර තැනට සැපතක් වන සේක. සොඳුරු බස් කියන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක.

ලෝකවිදූ බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ කාම රූප අරූප යන තුන් ලෝකයේ සියලු තතු දැනගෙන නොදත් ලෝකයාට කියා දුන් සේක. එසේම සත්ව, අවකාශ සංස්කාර යන තුන් ලෝකයේ සියලු තතු , දැනගෙන නොදත් ලෝකයාට කියා දුන් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක.

අනුත්තරො පුරිසදම්මසාරථී බුදුගුණය

‘මාගේ බුදුපියාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙන් උතුම් වූ සේක. බඹ සුර යකුන් හැම දමනය කළ සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අනුත්තරො පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තරො පුරිසදම්ම සාරථී නම් වන සේක. අනුත්තරො පුරිසදම්ම සාරථී නම් වන සේක.

සත්ථා දේවමනුස්සානං බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ සියලු සත්වයන් හැම භව කතරින් එතර කරනු පිණිස මඟ පෙන්වූ සේක. මිනිසුන්ට පමණක් නොව දිව්‍ය බ්‍රහ්මාදීන්ට ද මඟ පෙන්වු සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක.

සත්ථාදේවමනුස්සානං වන සේක.

බුද්ධො බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ස්වකීය ඥානයෙන් අවබෝධ කළ සේක. මහා කරුණාවෙන් යුතුව විනේය ජනයාට කියා දුන් සේක.

මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ බුද්ධ නම් වන සේක. බුද්ධ නම් වන සේක. බුද්ධ නම් වන සේක.

භගවා බුදුගුණය

මාගේ බුදුපියාණන් වහන්සේ සුවාසූ දහසක් ධර්මස්ඛන්ධය නියමාකාරයෙන් බෙදා දැක්වූ සේක. සියලු ගුණයන් භජනය කළ සේක. භාග්‍යාදී ඓශ්චර්යයන්ගෙන් යුක්ත වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ භගවා නම් වන සේක. භගවා නම් වන සේක. භගවා නම් වන සේක.

බුද්ධානුස්සතිය දීර්ඝ කාලයක් තිස්සේ වඩන විට සාන්දෘෂ්ටිකව ම ලබා ගත හැකි ආනිසංස රාශියක් ඇත.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව අධිකවීම.

ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවට පත්වීම.

වහා වැටහීමේ ශක්තිය ඇතිවීම.

ස්මෘති ශක්තිය දියුණු වීම.

පාපයට ලජ්ජා බිය ඇති වීම.

දෙවියන්ට ප්‍රිය වීම. බුද්ධත්වයට සිත යොමු වීම. මරණින් මතු සුගතියෙහි ඉපදීම ඉන් කිහිපයකි.

එහෙයින් බුද්ධානුස්සතිය වඩන්නට පුරුදු පුහුණු කරන්නට අභ්‍යාස කරන්නට මේ හොඳම කාලයයි.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]