[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසන අභිවෘද්ධිය හා චිරස්ථිතිය වෙනුවෙන් කැප වෙනවා

ශාසන අභිවෘද්ධිය හා චිරස්ථිතිය වෙනුවෙන් කැප වෙනවා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක කීර්තී ශී‍්‍ර ධර්මරක්ෂිත සද්ධර්ම විශාරද දෙල්ලව ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සුපේෂල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේ ශාසනික දායාදය ලබා ගැනීමත්, ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළ අවධියත් සිහිපත් කරමින් සාකච්ජාවට ප්‍රවේශයක් ලබා ගනිමු අපේ හාමුදුරුවනේ.

රුහුණු ප්‍රදේශයේ සිංහරාජ වනපෙත පාමුල පිහිටි ඉතාමත් සුන්දර ඉපැරැණි සිංහල ගම්මානයක් වුණ දෙල්ලව ගමේ දොන් හෙන්ද්‍රික් අබේතුංග සහ එච්. එල්. එන්. ගුණවර්ධන යන දම්පතීන් දෙපළ මව්පියන් කොට සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුතු පවුලක 1944 වර්ෂයේ මැයි 15 වන දින හසනසිරි අබේතුංග යන ගිහි නාමයෙන් ජන්ම දාය දය ලැබුවා. දෙල්ලව හා තවලම රජයේ පාසල් වලින් මූලික ගිහි අධ්‍යාපනය සපුරාගෙන 12 වන වියේදී දෙල්ලව ශී‍්‍ර නාථාරාම විහාරාධිපති දෙල්ලව සිරි පුඤ්ඤානන්ද මා හිමිපාණන් වහන්සේ හා ගොඩපිටියේ රාජ මහා විහාරාධිපති වැලිහේනේ සිරි ඉන්දසර නා හිමිපාණන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් 1956 වර්ෂයේ ඔක්තෝම්බර් 08 වෙනි දින දෙල්ලව ශී‍්‍ර නාථාරාම විහාරස්ථානයේ දී දෙල්ලව ජිනරතන යන ශාසනික නාමයෙන් උත්තරීතර ශාසනික දායාදය ලබා ගැනීමට පුණ්‍යවන්ත වුණා. අනතුරුව මූලික ශාසනික අධ්‍යාපනය සඳහා මොරවක ශී‍්‍ර සිද්ධාර්ථ පිරිවෙන, ගොඩපිටියේ ජේතවන පිරිවෙන යන පිරිවෙන් තුළින් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් සිටියදී නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ 1966 වර්ෂයේ ජූනි මස 24 වන දින මල්වතු මහා විහාර උපෝෂථාගාරයේදී උපසම්පදාව ලබා ගැනීමට භාග්‍ය වන්ත වුණා.

එයින් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන, රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු වෘත්තිය ප්‍රගුණ කරමින් ගොඩපිටිය ජේතවන පිරිවෙනහිම ආචාර්යවරයකු ලෙස පත්ව කාලයාගේ ඇවෑමෙන් එහි පරිවේණාධිපති ධූරයට පත්වුණා. ඒ වගේම ශාස්ත්‍ර ඥානය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමේ අදහසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට කටයුතු කළා.

ඔබ වහන්සේගේ ජාතික, ආගමික, ශාසනික කාර්යභාරය පිළිබඳ සිහිපත් කරනවා නම්,

1968 වර්ෂයේ අකුරැස්ස ගොඩපිටිය පිරිවෙනේ ආචාර්යවරයකු, එම වර්ෂයේ දී ම එහි කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේව, 1971 වර්ෂය වන විට එහි පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් සේවය කිරීම ආරම්භ කළා. 1978 වර්ෂයේදී අකුරැස්ස මාරඹ විද්‍යා ශී‍්‍ර පිරිවෙනෙහි පරිවේණාධිපති , 1980 වර්ෂයේ දී අකුරැස්ස පරදුව ශී‍්‍ර වර්ධනාරාම පුරාණ විහාරාධිපති ,1981 වර්ෂයේදී දෙල්ලව ශී‍්‍ර නාථාරාම පුරාණ විහාරාධිපති ,1982 වර්ෂයේ දී මොරවක ශී‍්‍ර විජය පිරිවෙනේ පරිවේණාධිපති, 1983 වර්ෂයේදී බටුවංගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති,1990 වර්ෂයේ දී බටුවංගල සමථ මූල මණ්ඩලයේ සභාපති 1995 වර්ෂයේ දී දෙල්ලව ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවේණාධිපති ,2000 වර්ෂයේ දී නෙළුව ප්‍රාදේශීය විහාරාධිපති සංගමයේ සභාපති ආදී වශයෙන් විශාල ශාසනික කාර්යභාරයක් ඉෂ්ට කිරීමට ලැබීම සතුටට කරුණක්.

ගුරු ජීවිතයේ දිගු කලක් සිදුකළ අධ්‍යාපනික මෙහෙවර වඩාත් තීව්‍රකිරීමේ අදහසින් දෙල්ලව නාථාරාම විහාරයෙහි ශී‍්‍ර විද්‍යාවර්ධන පිරිවෙනක් ආරම්භ කරමින් එහි පරිවේණාධිපතින් වහන්සේ ලෙස කටයුතු කළා වගේම සිරි පුඤ්ඤානන්ද දහම් පාසල ආරම්භ කළා. ශාසනික කාර්යයන් ඉදිරියට පත්වාගෙනයමින් දේවාලේගම ගම්මානයට සුගත විහාරය, පොල්ගම්පල ගම්මානයට ධර්මරාජ විහාරය ඉදිකිරීමට කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි.

දිවයිනේ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක වූ දෙල්ලව ධම්මරතන හිමියන්,බෙංගමුවේ ඉන්දරතන හිමියන්, දෙල්ලව පුඤ්ඤරතන හිමියන්. දෙල්ලව චන්දරතන හිමියන් ඇතුළු ශිෂ්‍ය පරපුරක් හදා වඩා සම්බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය සඳහා දායාද කිරීමට ලැබීම මහත් භාග්‍යයක්.

සසුනඹර ආලෝකමත් කිරීමට සිදුකළ ශාසනික කාර්යභාරය අගය කරමින් ශී‍්‍ර රෝහණ සංඝ සභාව විසින් 2009 වර්ෂයේ දී සද්ධර්ම විශාරද ගෞරව නාමය සහිතව ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමට කටයුතු කළා. අනතුරුව 2010 වර්ෂයේ දී රෝහණ සංඝ සභාවේ උපසම්පදා කාරක සභික ධූරයටත් වසර කිහිපයකින් විධායක කාරක සභික ධූරයටත් පත්ව ශාසනික කාර්යභාරයන් ඉතා වගකීමෙන් යුතුව ඉෂ්ට කළා. 2019 වර්ෂයේ දී 75 වන ජන්ම දිනය වන විට රෝහණ සංඝ සභාවේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන් පත්ව වර්තමානය දක්වාම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා උන්නතිය වෙනුවෙන් කැප වී ශාසනික කාර්යභාරයක් ඉටුකිරිම පිළිබඳව විශාල සතුටක් දැනෙනවා. බුදු හිමියන් පැවරූ වගකීම වන්නේ තමාගේ විමුක්තිය ද සකසා ගනිමින් ලෝක යහපතට වැඩ කළ යුතු බවයි. භික්ෂුව නිදහස් ජීවිතයක සහ පොදු බවේ ලක්ෂණයයි. ඉතිහාසයෙහි හමුවන සංවිධිත මුල්ම ප්‍රවෘජිත පිරිස වන්නේත් බෞද්ධ භික්ෂුවයි. ඒ බව අවබෝධ කරගනිමින් හැකි සෑම අවස්ථාවකම ශාසනික අභිවෘද්ධිය පිණිස තවදුරටත් කැපවීම අපේ යුතුකමක්.

මේ වර්ෂයේ දී ඔබ වහන්සේගේ උත්තරීතර ශාසනික ජීවිතයට වසර 65ක් වගේම උපසම්පදා දිවියට වසර 55 ක් සම්පූර්ණ වෙනවා. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් මෙන්ම පරිවේණාධිපතීන් වහන්සේ නමක් වශයෙන් ලබාගත් අත්දැකීම් සම්භාරය අනුසාරයෙන් නූතනයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට ලබා දෙන්නේ කුමන ආකාරයේ අනුශාසනාවක් ද?

මගේ පැවිදි ජීවිතයට වසර 65 ක් වගේම උපසම්පදා ජීවිතයට වසර 55ක් ගතවුණ කාලය තුළ විශාල අත්දැකීම් සම්භාරයක් ලබා තිබෙනවා. ජාතික,ආගමික,අධ්‍යාපනික,ශාසනික වශයෙන් විශාල කාර්ය භාරයකට දායකත්වය ලබාදෙමින් තවදුරටත් කටයුතු කරමින් සිටිනවා. මගේ ගුරුහාමුදුරුවන් වහන්සේලා ලබාදුන් අවවාද අනුශාසනා පිළිපදිමින් ඉතාමත් කීකරු ශිෂ්‍යයකු ලෙස ගුරු ගෞරවයෙන් යුක්තව තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කළා. ඒ හේතුව මගේ ශාසනික ජීවිතය ආලෝකමත් කර ගැනීමට බෙහෙවින් ඉවහල් වුණා.පාසල් අධ්‍යාපනය වගේම පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේදී කිසිම දවසක ගුරුවරයකුගේ දෝෂදර්ශනයට හෝ දඩුවමකට ලක්වෙලා නැහැ. ශාසනික ඇවතුම් පැවතුම් ඒ ආකාරයෙන් පුරුදු පුහුණු වුණා. මගේ කාලය තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා රාශියකට අධ්‍යාපනය ලබාදෙමින් උන්වහන්සේලා ඇසුරු කිරීමට ලැබුණා. බොහෝ දහම් පාසල් ආරම්භ කරමින් ප්‍රධාන ආචාර්යයන් වහන්සේ නමක් හැටියට ගිහි සිසුන්ගේ ගුණ නුවණ දියුණු කිරීමටත් කටයුතු කරනවා.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන් උපසම්පදා විනය කර්මවලදීත්, ශාසනික කටයුතුවලදීත් මගේ උපරිම ශක්තිය යොදවමින් කටයුතු කරනවා. එම කරුණු කාරණා අනුව අපේ සාමණේර පොඩි හාමුදුරුවන් වහන්සේලා,විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන හාමුදුරුවන් වහන්සේලා,තරුණ හාමුදුරුවන් වහන්සේලා තමන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිහතමානීව පිළිපදිමින් ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙන ගනිමින් තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට අපැහැදුන පිරිසගේ පැහැදීම ඇතිවන ආකාරයටත් , පැහැදුන පිරිසගේ පැහැදීම තවදුරටත් වැඩිවන ආකාරයටත් කටයුතු කළ යුතු බව සිහිපත් කළ යුතුයි. ඒ වගේම පාලි සංස්කෘත,සිංහල විෂයයන්ට අමතරව ඉංගී‍්‍රසි භාෂාව වැනි භාෂාවන් ප්‍රගුණ කරමින් ධර්මදූත කටයුතු සඳහා කැපවිය යුතුයි.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]