[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මහ මිහිඳු හිමි වත

අනුබුදු මහ මිහිඳු හිමි වත

බුද්ධ වර්ෂ 237 වැන්නෙහි හෙවත් ක්‍රිස්තු වර්ෂ 307 වැන්නෙහි පොසොන් පුන් පොහෝදා මිහින්තලයේ මිස්සක පව්වෙන් මෙරට නව සංස්කෘතියක ශක්තිමත් අත්තිවාරම බිහිවිය.

ඒ මෙරට මුළු මහත් සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත්, භාෂාව, සාහිත්‍ය කලාව, ගෘහ නිර්මාණ ශිල්පය වැනි සියලු අංශයන්හි ආරම්භයයි. මේ සියලු අංශයන් ගැන කතා කරනවිට නිතැතින් ම සිහියට නැඟෙන පරමාදර්ශී චරිතයක් ඇත්නම් ඒ මහා මහින්ද මහ රහතන් වහන්සේ ය. මේ ඒ බොදු ජන මනසෙහි දෙවෙනි බුදුන් (අනුබුදු) ලෙස අබිසෙස් ලද පරමාදර්ශී මහ මිහිඳු සිරිතයි.

දඹදිව එක්සේසත් කළ අශෝක අධිරාජයාට අසන්ධිමිත්‍රා, වේදිසා, පද්මාවතී, තිස්සාරක්ඛා, චාර්ව කී යනුවෙන් බිසෝවරු පස් දෙනෙක් වූහ. ඔවුන් අතරින් අග මෙහෙසිය වූ වේදිසා මහා දේවියට දරුවන් දෙදෙනෙක් විය. ඒ මහින්ද නම් පුතු හා සංඝමිත්තා නම් දියණියයි. අශෝක අධිරාජයා කාලිංග දේශය ජය ගැනීමෙන් ඇති වූ මහා මිනිස් සංහාරයට කළකිරී නිග්‍රෝධ නම් සාමණේරයන් කෙරෙහි පැහැදී බුදුසමය වැළඳගත් බව ප්‍රකට ඉතිහාස ගත කරුණකි. මේ ඓතිහාසික සිදුවීමෙහි ප්‍රතිඵලයක් ලෙස රජකමට උරුමකම් කියූ වැඩිමහලු මහින්ද කුමරු පිය රජුගේ ඉල්ලීම මත පැවිදි බව ලැබී ය. ඒ අශෝක රජුගේ රජ පදවියෙන් හයවැනි වර්ෂයේ දී ය.

මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මඛාදේව තෙරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි උපසම්පදාව ලබන විට මහින්ද මහ තෙරුන්ගේ වයස විසි වසර සම්පූර්ණ වූවා පමණි. පැවිදිබව ලබා නොබෝ කලකින් ම මහින්ද මහ තෙරුන් සිවුපිළිසිඹියාපත් රහත් බවට පත් වූහ. ඉන් අනතුරුව පිය රජුගේ නව රට ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළට දායක වෙමින් තම්බපණ්ණි දිවයිනට දූත පිරිසක් සමඟ වැඩම කිරීම සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 237 ට පසුව ය. එවිට මිහිඳු මහරහතන් වහන්සේ තිස් දෙවෙනි වියෙහි පසුවිය.

ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, සිය නැඟණිය වූ සංඝමිත්තාවගේ පුතණුවන් වූ සුමන සාමණේරයන් ද, නැන්දණියගේ පුතකු වූ අනාගාමී භණ්ඩුක උපාසකතුමා ද මේ දූත පිරිසට ඇතුලු වූහ. මහා මහින්ද මහ රහතන් වහන්සේ පෙරටුකොට ගත් මේ දූත පිරිස පොසොන් පුර පසළොස්වක දින මිස්සක පව්වට වැඩම කළහ.

එදින මෙරට රජු හා මැති ඇමතීන් මුව දඩ කෙළියට වනගත වූ දිනයකි. මුළු නුවර ම සැණකෙළි සිරි ගත්තේ ය. හතළිස් දහසක් මිනිසුන් පිරිවරාගත් ලක් රජු වූ තිස්ස රජතුමා මිස්සක පව්ව මත සිටි ආගන්තුක දූත පිරිස සමඟ පිළිසඳරෙහි යෙදුණහ.

අඹ ගස් හා ඤාතීන් මුල්කොට ගත් ඉතා සියුම් වූ බුද්ධි පරීක්ෂණයකින් පසු රජුගේ ප්‍රඥා මහිමය වටහා ගත් මිහිඳු මහරහතන් වහන්සේ රජු ප්‍රධාන හතළිස් දහසක් ජනයාට දම් දෙසා ධර්මාවබෝධය ලබා දුන්හ. එදිනම රාත්‍රී අනාගාමී භණ්ඩුක උපාසකතුමා පැවිදි උපසම්පදා කළ අතර එකෙනෙහි ම එතුමෝ සව් කෙලෙසුන් නසා රහත් බව ලදහ.

එදින රාත්‍රියෙහි ම මිහිඳු මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන් සුමන සාමණේරයන් සෘද්ධි බලයෙන් බඹලොව දක්වා ධර්ම ශ්‍රවණයට ඝෝෂා කළහ.

තිස්ස රජු නාගචතුෂ්ක නම් ගල් කෙම්පස හිඳගෙන ආහාර අනුභව කරමින් සිටින විට ඒ මහත් වූ ශබ්දය අසා බියට පත් වූ බව මහාවංශය සඳහන් කරයි.

මේ ඝෝෂාවට රැස් වූ දේව බ්‍රහ්මාදීන්ට මිහිඳු මහ රහතන් වහන්සේ ‘සමචිත්ත’ සූත්‍රය දේශනා කළහ. බොහෝ දේව බ්‍රහ්මාදීන් එයින් ධර්මාවබෝධය ලදහ.

දෙවන දිනයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස රජ මැඳුරට වැඩම කළහ. එහිදී අනුලා බිසව ප්‍රධාන පන්සියයක් අන්තඞපුර ස්ත්‍රීන්ට පව්කොට අපාගත වූ අය ගැන කියැවෙන පේතවත්ථුවත් පින් කොට දෙව්ලොව ගිය අය ගැන කියැවෙන විමානවත්ථුවත්, සච්චසංයුත්තයත් ඇසුරින් දම් දෙසූහ. එමඟින් අනුලා බිසව ඇතුලු පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් වූහ.

පෙර දිනයෙහි දුටු ආගන්තුක දූත පිරිසෙහි නුහුරු නුපුරුදු ඇවතුම් පැවතුම්වලට හා ඇසූ කර්ණරසායනය වන නව දහම පිළිබඳ කුතුහලයකින් ද යුත් දහස් ගණන් ජනයා වාසල් දොරටුව ළඟ රැස්වන්නට වූහ. දහම් පිපාසයෙන් පෙළෙන දස දහස් ගණන් ජනයාට ධර්ම ශ්‍රවණයට රජුගේ අණින් ඇත්හල සූදානම් කරවීය.

මහ මිහිඳු තෙරුන් විසින් එහි වැඩම කොට කුසලාකුසල කර්මයන්හි ඵල විපාක සහ පව් කරන්නාට විඳින්න සිදුවන නිරාදුක් ගැන විස්තර වන දේවදූත සූත්‍රය දෙසන ලදී.

මේ ආගන්තුක දහම කෙරෙහි ජනයාගේ ආකර්ෂණය දිනෙන් දින වැඩිවන්නට විය. එය ඔවුන් මෙතෙක් සිතූ චින්තන ධාරාවට හාත්පසින් වෙනස් වූවක් විය. එය ජන ජීවිතයට ඉතා සමීප විය. එබැවින් දහම් පිපාසයෙන් රොද බැඳෙන පිරිසට ඇත්හල ප්‍රමාණවත් නොවීය.

දකුණු වාසල් දොරටුව අභියස ඇති නන්දන උයන පිළිසකර කළ රජු එහිදී මහජනයාට ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලබා දුන්නේ ය. ලද සෑම අවස්ථාවකින් ම උපරිම අයුරින් සිය ධර්මදූත මෙහෙවර සිදුකළ මහ මිහිඳු තෙරුන් වහන්සේ එහි රැස් වූ පිරිසට අනුවණයා නොදැනීම නිසා දෙලොව දුක් විඳින අයුරුත්, නුවණැත්තා කුසල කර්ම කොට සුවපත් වූ අයුරුත් විස්තර කෙරෙන බාල පණ්ඩිත සූත්‍රයෙන් දම් දෙසූහ.

එදින සවස් වරුවෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස මහමෙව්නා උයනෙහි ගත කළහ. රජතුමා භික්ෂූන් වහන්සේ මහමෙව්නා උයනට දැක්වූ අභිරුචිය දැන අතපැන් වඩා උයන සඟසතු කොට පූජා කළේ ය. ඒ මොහොතෙහි මහ පොළොව කම්පා විය. එය ලක්දිව බුදුසමය ස්ථාපිත වූ බවට සාක්ෂි සැපයීමක් විය.

ඒ අසිරිමත් උද්‍යාන පූජාවට රැස් වූ ජනයාට අග්ගික්ඛන්ධෝපම සුත්‍රයෙන් දම් දෙසූ මිහිඳු මහ රහතන් වහන්සේ අනුලා බිසව ඇතුලු පන්සියයක් කාන්තාවන් සකදාගාමී ඵලයට පත් කළහ.

ඉතා දූරදර්ශී ධර්ම දූතයන් වහන්සේ නමක් වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අනාගතයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහ සෑය, ලෝවා මහා ප්‍රාසාදය ආදී මහමෙව්නා උයනේ ස්ථාපනය වන සියලු ස්ථාන රජු ලවා සටහන් කර තැබූහ. එසේම මුළු අනුරාධපුර නගරය ම ආවරණය වන පරිදි රජු ලවා සීමාවක් සම්මත කරන ලදී. එහි සීමාමාලකයක් ද ඡන්තාඝර හෙවත් උණුපැන් නාන කාමර සහිත පොකුණු හා දන් පිළියෙළ කිරීමට ලහබත් ගෙයක් ද, දන් වැළඳීමට දන්හලක් ද රජු ලවා ඉදිකරවීය.

මේ වන විටත් සකදාගාමී ඵලයට පත්ව සිටි අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන්ගේ බලවත් ඉල්ලීම පරිදි මිහිඳු මහ තෙරුන්ගේ උපදෙසින් සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය සමඟින් ලක්දිවට වැඩම කළා ය. එයින් ලක්දිව භික්ෂුණී ශාසනය ඇතිවිය.

එසේම බුදුරදුන්ගේ ධාතු සෑයක අවශ්‍යතාවය රජුට පෙන්වා දුන් මිහිඳු මහ තෙරුන් ඒ සඳහා දඹදිවින් බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව හා පාත්‍රා ධාතුව වැඩම කිරීමට සුමන සාමණේරයන්ට බාර කළහ. මෙලෙසින් අනුරාධපුරයේ පුරා දින විසිහයක්, දස දහස් ගණන් ජනතාවට ධර්මය දේශනා කරමින් ධර්මාභිසමයට දායකත්වය ලබා දුන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසිහත් වන දිනයෙහි වස් විසීමට මිහින්තලයට වැඩම කළහ.

මෙම ගමනෙහි දී දෙවනපෑතිස් රජුගේ බෑණනුවන් වූ මහා අරිට්ඨ ඇමති ප්‍රධාන පනස් පස් දෙනකු පැවිදි බවට පත් කොට මිහින්තලයෙහි වස් වැසූහ.

ජීවිතයේ විසිවන කඩ ඉමෙහි පැවිදි බව හා උතුම් රහත් බව ලබා තිස් දෙවෙනි වියේදී ලක්දිවට වැඩම කොට පුරා වසර හතළිස් අටක් ධර්මදූත මෙහෙවර පරමාදර්ශීව සිදුකළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උත්තිය රජ සමයෙහි වප්මස පුර අටවක් දා සෑගිරියේ දී පිරිනිවන් පෑහ.

මෙරට බොදුනුවන්ගේ දහම් පිපාසාව සන්සිඳලූ දූරදර්ශී ධර්ම සන්නිවේදනයක් සිදුකරමින්, සුචරිතවාදී සමාජයක් ගොඩනැඟීමට සිය ජීවිතය කැපකළ මේ අසහාය ධර්මදූතායණන් වහන්සේගේ පිරිනිවීම උත්තිය රජුට ද දරාගත නොහැකි විය.

ඒ බව මහාවංශ කතු හිමියෝ මෙසේ සටහන් කරති. ඒ අසා උත්තිය රජ තෙමේ ශෝක නමැති හුලින් පහරණ ලදුයේ සෑගිරියට ගොස් තෙරුන් වැඳ නොයෙක් වර නොයෙක් පරිද්දෙන් සුවඳ තෙල් පුරවන ලද රන් දෙණක මහා ස්ථවිර දේහය යුහුව තබා මොනවට වසන ලදී.

නව සංස්කෘතියක් මෙරට ස්ථාපිත කරමින් ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස නැඟී සිටින්නට පදනම සැකසූ අනුබුදු මිහිඳු මා හිමි ආගමනය සිදු වී වසර 2328 සපිරෙන අද වැනි දිනක ඒ ශ්‍රේෂ්ඨ ධර්මදූතයාණන් වහන්සේ අපට පෙන්වූ දහම් මඟේ ගමන් කරන්නට අදිටන් කර ගනිමු.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]