[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2021.03.28

බොදු සිත් පහන් කළ පහන නිවී ගියේ ය

සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස බොදු ජනතාව අතර නමස්කාර පූර්වක ගෞරවාදරය දිනූ අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේගේ අපවත් වීම බෞද්ධයන් ලෙස අප ලද මහත් අභාග්‍යයකි.

සම්බුදු සසුන් කෙත අස්වද්දන ලද සුපේෂල ශික්ෂාකාමී සංඝ පිතෘන් වහන්සේ අතර උන්වහන්සේගේ ශ්‍රී නාමය අග්‍රස්ථානයෙහි විය. උන්වහන්සේ කරුණාබරය. ඕනෑම කෙනකුට පි‍්‍රයමනාප සිනහවකින් සංග්‍රහ කිරීමට නිහතමානී වූහ. ප්‍රශ්නයකදී සාවදානව ඇහුම්කන් දී ධර්මානුකූලව නිරාකරණය කරදෙමින් ඕනෑම කෙනකුගේ සිත සුවපත් කිරීමට අපූර්ව හැකියාවකින් යුතු වූ හ. පුංචි දරුවාගේ පටන් තරුණ, වැඩිහිටි, වයෝවෘද්ධ සැමට අවබෝධ වන ලෙස ගැඹුරු දහම් කරුණක් පවා සරලව තේරුම් කර දෙමින් ඝෝර සසර මඟ බිය ජනකබව පෙන්වා දෙන්නට, අගතිගාමී දනන් සුගතිගාමී කරන්නට, අයහපත් සමාජය යහපත් කරන්නට උන්වහන්සේ දෙසූ දහම් අපමණ ය. ධර්මදේශකයාණන් වහන්සේ නමක් ලෙස දිළිඳු පැල්පත ද, මහා මන්දිරය ද උන්වහන්සේ ට කිසිඳු වෙනසක් නොවුණි. බොහෝ දුර ඈත දුෂ්කර ගම්මානයක පවා ධර්ම දේශනාවක් සඳහා ආරාධනයක් වූයේ නම් උන්වහන්සේ නොපැකිළිව එහි වැඩම කළහ. ඒ නිසාම ලාංකේය බොදු ජනතාව අතර උන්වහන්සේ වඩාත් ප්‍රසාදයට ලක්වූහ.

මහානායක හිමිපාණන් වහන්සේ ධර්මය විකෘති කිරීමේ භයානක පලවිපාක ගැන නිරන්තරයෙන් අවධාරණය කළහ.

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා අසන්නට නොලැබුණු අතීතයේ උන්වහන්සේ ගුවන් විදුලියේ ධර්ම දේශනා තුළින් සිදු කළ ධර්ම ප්‍රචාරය ශ්‍රී ලාංකේය බොදු දනන්ගේ දහම් පිපාසය සංසිඳුවාලන්නට තෝතැන්නක් විය.

වසර හැටකටත් අධික කාලයක් උන්වහන්සේ ගුවන් විදුලියෙන් දහම් දෙසූ හ. තමන් වහන්සේ ට ම ආවේණික වූ මධුර හඬකින්, සිත් ඇදගන්නා භාෂා විලාශයකින් උන්වහන්සේ දෙසූ දහම් නිරවුල් ය. සරලය. සුගමය.

ධර්ම භාණ්ඩාගාරයක්, සාරධර්ම සංග්‍රහයක් ලෙස සතර පෝදාට ම බොදු දනන් අතට පත්වන එකම බෞද්ධ පුවත්පත වන ‘බුදුසරණ’ පුවත්පතට උන්වහන්සේ දීර්ඝ කාලයක සිට ලිපි ලිවූහ. දහම් පිපාසිත බොහෝ පාඨකයන් ඒ ලිපි එක්රැස් කළහ. පරිශීලනය කොට ධර්මාවබෝධය ලැබූහ. ආධුනික දේශකයන් වහන්සේ උන්වහන්සේගේ දේශනා විලාශය ආදර්ශයට ගත්හ. ලේඛක පිරිස් උන්වහන්සේගේ ලේඛන ශෛලිය ආදර්ශයට ගත්හ.

උන්වහන්සේ තුළ වෙසෙස් ගුණාංගයන් බොහෝ විය. පුවත්පතකට ලිපියක් ඉල්ලූ ඕනෑම අවස්ථාවක කොපමණ කාර්යබහුල වුවද කිසිදු මැළිකමක් නොදක්වා සාරගර්භ ලිපියක් වෙලාවටත් කලින් ලබා දෙන්නට ඇප කැප වූහ.

ශාසනික ප්‍රශ්නයක දී පමණක් නොව ජාතික, සාමජයීය ප්‍රශ්නයක දී ද පැකිළීමකින් තොරව ඍජු අදහස් ප්‍රකාශ කළ හ. ධර්මානුකූල බව, සාධාරණත්වය මිස කිසිදු පක්ෂග්‍රාහී බවක් උන්වහන්සේගේ අවවාද අනුශාසනා තුළ නොවී ය.

උන්වහන්සේ නො අලස් ය. හිමිදිරි පාන්දර අවදි වී පැයක පමණ කාලයක් භාවනා කිරීම උන්වහන්සේගේ දෛනික පුරුද්දක් බව අපි අසා ඇත්තෙමු. උන්වහන්සේ විහාරස්ථානයෙහි වැඩ වසන්නේ නම් හමුවීමට එන කිසිවෙක් ආපසු හරවා නොයවති. දුරකතනයට පිළිතුරු දෙති. උන්වහන්සේ මිනිස් වගට එතරම් කාරුණික වූ හ. උන්වහන්සේගේ අපවත් වීම අභාග්‍යයක් යැයි සටහන් කළේ ඒ උතුම් ගුණාංග නිසා ය. ලෝ දහමට අනුව වෙන්ව යාමට මුහුණ දිය යුතු ම ය. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]