[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්

ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්

සම්ප්‍රසාදන හා සම්පක්ඛන්ධන ශ්‍රද්ධා චිත්තයෙන් ස්වකීය ජීවිතය සරසා ගැනීම නිර්වාණගාමී මාර්ගයේ පිය නඟන බෞද්ධ සැදැහැවතුන්ගේ ප්‍රධානතම ලක්ෂණයයි. ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් එකී ශ්‍රද්ධාව සංවර්ධනය කර ගැනීමට බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලැබූ සිංහල සාහිත්‍යය අපමණ මෙහෙවරක් ඉටු කරනු ලබයි.

එසේම බෞද්ධ සිංහල සාහිත්‍යයේ තවත් සුවිශේෂී අරමුණක් වූයේ තත් ග්‍රන්ථාගත විෂය කරුණු මුල් කොට ගෙන බුදුරුවක් ශ්‍රාවක මනසෙහි චිත්‍රණය කිරීමයි.

අමාවතුර, ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය හා ජාතක පොත ආදි සිංහල සාහිත්‍යය අනර්ඝ ග්‍රන්ථයන්හි අන්තර්ගත එකී ධර්ම කාරණා මගින් වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් පුරා සැදැහැවතුන්ගේ චිත්ත සන්තානයෙහි බුදුරුව සිතුවම් කිරීමට ගත් උත්සාහය අතිශයින් ම ප්‍රසාද ජනක ය.

විශේෂයෙන්ම මෙම අරමුණ සිය ගතින් සිතින් දරා ගත් කලාකරුවා ද සිත්පිත් නැති කළුගල් කුළකට ජීවය ලබා දෙමින් අසීමිත මානව දයාවෙන් පිරිණු බුදු රුවක් එයින් මතු කර ගැනීමට ගත් ප්‍රයත්නය ද මුළු මහත් ලෝ වාසීන්ගේ මවිතයට හේතු වී ඇත. එවැනි බුදුරුවක් වන්නේ ධාතුසේන රජු විසින් නිර්මාණය කරන ලද අවුකන බුද්ධ ප්‍රතිමාවයි.

ආගම්-ජාති-කුල-මල ආදි භේද පසෙකලා එම බුදුරුව දෙස නෙත් දල්වා බලා සිටින ලොව ඕනෑම මානවයෙකුට දර්ශනය වන්නේ බුදුමනසින් ගලා හැළෙන කරුණා දයා මෛත්‍රී සීතල ජල දහරාවක අසිරිමත් සිත්තමයි.

වන සතුන් පවා ශික්ෂණයට පත් කරන මෙම අසිරිමත් බුදුරුව දෙස බලා සිටින මහගම සේකරයන්ගේ පන්හිඳීන් ගිලිහෙන මෙම පදවැල් ගිනිගෙන දැවෙන සසරින් එතෙරවීමට වෙර දරන මානවයින්ට කෙතරම් නම් අත්වැලක් සපයන්නේ ද? එම පදවැල් සංගීත අරණේ මහා මුනිවර පණ්ඩිත් අමරදේවයන්ගේ මුවින් වා තලයට එක්වන විට මානවයන් පමණක් නොව සතා සිව්පාවුන් මෙන් ම තුරුලතාදිය ඉමහත් ප්‍රීතියට පත් වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

අවුකන බුදුරුව ඉදිරියේ වැඳ වැටෙන අව්‍යාජ උපාසකවරයෙකුගේ ස්වරූපය චිත්තරූප මවමින් මහගම සේකරයන් මෙසේ සටහන් තබයි.

ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට
ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත

එම බුදු රුවෙහි සිරිපා ධෝවනය කරන්නේ, කථකයා ස්වකීය දෑස්වලින් ගලා හැලෙන කඳුළු ධාරාවන්ගෙන් ය. එයින් කවියා ධ්වනිත කරන්නේ, අවුකන බුද්ධ ප්‍රතිමාවේ බුදු මුහුණින් ගලා හැලෙන මෛත්‍රිය නිසාම ඒ දෙස බලා සිටින ඕනෑම මානවයෙකුගේ දෙනෙත්වලින් කඳුළු ගලා ගොස් ඇති වන අසීමිත ශ්‍රද්ධාවයි.

එසේම සැදැහැවතෙකු බුදුරුව ඉදිරියේ දණින් වැටෙන විට බුදු සිරිපා එම කඳුළුවලින් දෝවනය කරයි. එසේම එම සැදැහැවතාට ඕලු, නෙළුම්, මානෙල් ආදි වෛවර්ණ මල් පූජා කිරීමට අවකාශයක් නැත. වර්තමානයේ එම මල් පවා මිලදී ගත යුතු ය. එවැනි වත්කමක් මෙම සැදැහැවතාට නැත. එහෙත් ඔහුගේ මනස තුළ පිපී සැලෙන ශ්‍රද්ධාවේ සුගන්ධවත් පුෂ්පය බුදුරුව ඉදිරියේ පූජා කරයි.

“ හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්” යන්නෙන් මොන තරම් නම් මායාකාරී බවින් තොර වූ අව්‍යාජ බවක් ධ්වනිත කරන්නේ ද?

දොඩමළු වී ඇති නගරය අතිශයින් ම සංකර ය. එහි පොළොව ගෙන්දගමින් පිරී ඇත. එම මායාකාරී පොළොව පය ගැටෙන විට ඇති වන්නේ දරා ගත නොහැකි ආගන්තුක බවකි. එම ගෙන්දගම්

පොළොවෙන් මිදී වනයට පියමං කරන විට ඕනැම කෙනෙකුගේ නිවුණ සැනහුණ සුන්දර හැඟීම්වලින් සිත් සතන් වෙළී යයි.

“ කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට”

මෙම සැදැහැවතා එකී විෂමාචාරවලින් පිරුණු නගරයෙන් මිදී බවුන් වැඩීමට වනයට වැඩි බුදුන් වහන්සේ සොයාගෙන එන්නේ සරණක් බලාපොරොත්තුවෙනි. අවුකන බුදුරුව සමීපයට වී බුදු මුහුණ බලන සැදැහැවතාට නිල්වන් ආකාශය සිසාරා ඔහුගේ නෙත ගැටෙන්නේ යෝධ බුදු රුවයි.

මුළු විශ්වය පුරාම බුදු කරුණාවේ ආනුභාවය ඉතීරී පැතිරී යන අයුරු අවුකන බුද්ධ ප්‍රතිමාව දෙස බලා සිටින කවියාට අවබෝධ වේ. ඒ බුදුරුව ඉදිරියේ තමන් මොන තරම් නම් කුඩා ම කුඩා චරිතයක් දැයි ඔහුට සිතේ. සමස්ත ගීතයම අවසානය දක්වා ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුට තම සිතෙහි චිත්‍රණය වන්නේ අවුකන බුදුරුව ඉදිරියේ දණින් වැටී බුදුගුණ සුවඳේ මිහිර විඳීන බුදු කරුණාවේ සෙවන ලබන අහිංසක අව්‍යාජ ශ්‍රද්ධාවෙන් ඉපිලී ගිය උපාසකවරයෙකි.

මෙවැනි ගීත මඟිින් ගිනි ගෙන දැවෙන සිත් සතන් කෙතරම් නම් සුවපත් කරන්නේ ද?

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]