[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුවක්මොටේ ශ්‍රී ධම්මාරාම නාහිමි

පුවක්මොටේ ශ්‍රී ධම්මාරාම නාහිමි

ශාස්ත්‍රපති පුවක්මොටේ ශ්‍රී ධම්මාරාම නා හිමිපාණන් වහන්සේ ගල්බඩ පරණකුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් ද, ධර්මකීර්ති ශ්‍රී සුමංගලාභිධාන ශාස්ත්‍රපති පුවක්මොටේ ශ්‍රී ධම්මාරාමාභිධාන යන ගෞරව නාමයෙන් ද පසුගියදා පිදුම් ලැබූහ.


අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් වහන්සේගේ සුරතින් සන්නස්පත්‍රය ලැබූ මොහොත

ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් මෙම ගෞරව නාමයන් පුදනු ලැබූහ.

කෑගල්ල සියඹලාපිටිය ශ්‍රී අශෝකාරාම පුරාණ විහාරස්ථානය කෑගල්ල නගර සභා සීමාවේ පිහිටි පැරකුම්බා මාවතේ නාගොල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය හෙවත් ශ්‍රී බෝධිමාලකාරාමය සහ අරණායක මෝරගම්මන ශ්‍රී මයුරපාද රාජමහා විහාරස්ථානය යන විහාරස්ථාන ත්‍රිත්වයේ ම විහාරධිපතින් වහන්සේ ලෙස ශාසනයට කරන ලද සුවිශේෂී ආගමික මෙහෙවර උදෙසා මෙම පදවි නම්බුනාම පිරිනැමීම සිදු කරන ලදී.

උන්වහන්සේ විහාරාධිපතිත්වය උසුලන ඓතිහාසික රාජමහා විහාරස්ථාන තුනේම දායක සභාවල සභාපතිත්වය දරමින් එකී විහාරස්ථානවල බෝධි ප්‍රාකාර, සංඝාවාස, විහාරමන්දිර, චෛත්‍ය රාජයාණන් වහන්සේලා ප්‍රතිසංස්කරණය කිරීම, අභිනව ඉදිකිරීම් ඇතුළු ශාසනික සේවාවන් රැසක් ඉටුකරමින් සිටින ශ්‍රී ධම්මාරාම නා හිමිපාණන් මෙසේ ගෞරව නම්බුනාමයට හා පදවි ප්‍රාප්තියට පත්වීම ගිහිපැවිදි කාගේත් ගෞරවාදරයට පත්වී තිබේ.

කෑගල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරය හා දහම් පාසල් අනුමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධුරය දරමින් විහාරස්ථානවලට මහත් ශක්තියක් වූ හිමිපාණන් වහන්සේ කෑගල්ල ඇදුරාපොත සදර්ථෝදය මහා පිරිවෙනේ පාලක සභාවේ සහ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරයද එහි උප සභාපති ධුරයද දරමින් විශාල සේවාවක් කරන ලදහ. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ යාවජීව සාමාජිකත්වය ද, මහනුවර අස්ගිරි මහාවිහාර පිරිවෙනේ පරිවේනාරක්ෂක ගරු හිමි වරුන්ගේ සංගමයේ යාවජීව සාමාජිකත්වය ද, දරමින් එම පිරිවෙනේ කුඩා ස්වාමීන් වහන්සේලාට මහත් ශක්තියක් වූහ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සතර කෝරළයේ කිණිගඩ කෝරළයේ වල්ගම්පත්තුවේ අති රමණීය ගමක් වන පුවක්මොටේ ගම්පියසේ උපත ලද අප හිමිපාණන් එහි පදිංචි ඉඩම්හිමි වැවිලිකරු එදිරිසුරිය මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා අප්පුහාමි සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලුගල්ල නම් මනරම් ග්‍රාමයේ කෝණාර මුදියන්සේලාගේ පුංචි මහත්මිය යන මව්පියන්ට දාව අයියලා දෙදෙනකු හා අක්කලා දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස ජන්ම ලාභය ලැබීමෙන් පසු එදිරිසූරිය මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩාර නම් ලැබිණ. ඒ 1956 මාර්තු මස 11 වැනිදා ය.

කෑගල්ල පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට අට වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගනිමින් සිටින මොහොතේ ප්‍රවීණ ඡ්‍යොතිෂ ඇදුරන්ගේ මතු දක්නා නුවණින් මොහු ශාසනයේ උසස් තැනකට යන බව දැන පසුව කෑගල්ල ඇදුරාපොත සදර්ථෝදය මහා පිරිවෙනට යොමු කරන ලදී. 1971 ඔක්තෝබර් මස 23 වැනි දින උතුම් පැවිදි බවට පත් වූහ. ඒ පුවක්මොටේ ධම්මාරාම හිමි ලෙසිනි.

මෙසේ පැවිදි දිවියේ ගෞරවාදරයට පත් වූ හිමියෝ අනතුරුව 1979 වර්ෂයේ මැයි මස 27 වනදා ස්‍යාමෙපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රාජ පූජිත ඓතිහාසික උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයේ පිහිටුවන ලදී.

1985 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ප්‍රති උපාධිය ද හිමිකර ගන්නා ලදහ.

අනතුරුව සුභද්‍රාරාම මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ද කරමින් සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලැබූහ.

1995 වසරේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද, ලැබූ පසුව ගුරුදේවෝත්තම විශ්‍රාමලත් පරිවේනාධිපති වහන්සේගේ අපවත්වීමෙන් පසු කෑගල්ල සියඹලාපිටිය අශෝකාරාම මහා විහාරයේ විහාරාධිපති ධුරය ලැබී යළි කෑගල්ලට වැඩම කරන ලදහ.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ද, කෑගල්ල පුස්සැල්ල ගාමිණී විද්‍යාලයේ ද අනතුරුව කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ ද ගුරුහිමි නමක ලෙස කටයුතු කළහ.

මෙසේ ශාසනික සේවා රැසක් සිදු කරමින් සිට අප රටට පමණක් නොව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවල ද ධර්ම ප්‍රචාර කටයුතු සිදුකරමින් දෙස් විදෙස් බොදු දම් ප්‍රබෝධයට මා හැඟි කැපවීමක් සිදුකළ සේක.

එසේම 1990 සිට අද දක්වාම දහම් පාසල් ගණනාවකට සේවය සපයමින් දරුවන්ගේ නැණ නුවණ වඩවාලමින් වසර 30 කට අධික කාලයක් තිස්සේ දූ දරුවන් යහමඟට ගැනීමට කළ සේවාව අති මහත් ය. ඒ සේවාවන් අතර උන්වහන්සේ සිල්වත්, සුපේෂලකාමි ශිෂ්‍ය හිමිවරුන් විශාල පිරිසක් සසුනට දායාද කිරීමට කළ කැපවීම අතිමහත් ය.

මෙබඳු සේවාවන් රැසක් සිදු කරමින් බුදු දහමට, දහම් අධ්‍යාපනයට කළ අමිල සේවාව උදෙසා අප ගුරු හිමිපාණන් වහන්සේ මෙසේ ඇගයීමට ලක් කිරීම පිළිබඳ අපගේ හදපිරි සතුට පිරිනමමු.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]