[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප - 26: කේශ ධාතූන් වහන්සේ තැන්පත් ගිරිහඬු සෑය වඳිමු

ලංකාවේ බෞද්ධ ස්තූප - 26:

කේශ ධාතූන් වහන්සේ තැන්පත් ගිරිහඬු සෑය වඳිමු

බුද්ධෝ තපස්සු සහ භල්ලික වානිජානං - දානං ලභිසමධු පිණ්ඩික ලාජ පුණ්ණං

තේසං සුදින්න නිහිතං මුනි කේස ධාතුං - වන්දාමි සුන්දර තරං ගිරිකණ්ඩි ථූපං

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ සත් සතිය ගතකොට එළැඹි පනස්වන දින ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ දිවැසින් බලා අරලු දැහැටි දණ්ඩක් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වී ය.

බුදුරජාණන් වහන්සේ මුව සෝදා ප්‍රථම දානය වැළඳීමේ බලාපොරොත්තුව ඇතිව වැඩ සිටි සේක.

පෙර ප්‍රාර්ථනාවන් ඉටු වීම් වස් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑ‍‍යෝ මේ අසලින් ගැල් පන්සියයක් රැගෙන වෙළෙඳාමේ යෙදුනහ. එක් දේවතාවියක් ගැල් පොළොවේ එරීමට සලස්වා පෙර ආත්මයේ ප්‍රාර්ථනාවන් ඉටු කර ගන්නා ලෙස වෙළෙඳ දෙබෑයන්ට පවසන ලද බව කියැවේ.

බුදුරජාණන් වහන්සේ වෙත ප්‍රථම දානය පිළිගැන්වීම පිණිස සතර වරම් දෙවිවරුන් පිළිගැන්වූ පාත්‍රයට තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විළඳ සහ මී පැණි දානය වැළඳූ සේක. මෙම දානය පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාවෙන් සිත් පහදවාගත් වෙළෙඳ දෙබෑයෝ බුදුන්, දහම් සරණ ගිය ප්‍රථම දේවාචික උපාසකයන් බවට පත් වූ බව ද සඳහන් වේ.

තපස්සු, භල්ලුක දෙබෑයන් විසින් වැඳුම් පිදුම් කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගෙන් පූජාර්හ වස්තුවක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතූන්වහන්සේ ස්වල්පයක් දුන් බව බුද්ධ චරිතයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ ලබා දුන් කේශ ධාතූන් වහන්සේලා සත් රුවන් කරඬුවක තැන්පත් කොට, තපස්සු භල්ලුක වෙළෙඳාම සඳහා යන ගමනේ දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව සඳහන් වේ. ඔවුන් වෙළෙඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා ලංකාව වැනි රටවල දී ඒ කේශ ධාතූන් වහන්සේලා දෙනම බැගින් තැන්පත්කොට ස්තූප පිහිට වූ බව ද කියැවේ.

මහා වංසයේ සහ විවිධ බෞද්ධ, පාලි ග්‍රන්ථයන්හි සඳහන් වන ආකාරයට දඹදිව සිට මුහුදු මාර්ගයෙන් ලංකාද්වීපයේ වෙළෙඳාම සඳහා පැමිණි තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් අතීතයේ ප්‍රධාන තොටුපලක් වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිරියාය ගල් වරායට ගොඩ බැස්ස බව ප්‍රකට ය. පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නම් වූ කඳු මුදුනට ගොස් කේශ ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව එහි ගල් පර්වතයක් මත සුරක්ෂිතව තැන්පත් කොට තබා තම වෙළෙඳාම් කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන් ව ඇත.

සාර්ථක වෙළෙඳ කටයුතු අවසානයේ නැවත ගිරිකණ්ඩ පර්වතයට පැමිණ ආපසු රැගෙන යෑමට ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව ගැනීමට උත්සාහ ගත්ත ද එය ආපසු ගත නොහැකි ලෙස එම ගල් පර්වතයට ම සවිව තිබූ බව කියැවේ. මේ හේතුවෙන් ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව නිධන් කොට ඒ ස්ථානයේ ම මහත් වූ ශ්‍රද්ධාවෙන් ස්තූපයක් තැන වූ බවත් පුරාවෘත්තයන්හි සඳහන් වේ. බුදුන් දවස ඉදිවූවා යැයි ‍බෞද්ධ සාහිත්‍ය සඳහන් වන ප්‍රථම ස්තූපය යි.

මෙම සිද්ධිය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ ජිවමාන ව වැඩවසන සමයක බැවින් ගිරිහඬු ස්තූප ගර්භයේ වැඩ සිටිනුයේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතූන් වහන්සේ යැයි සැලකේ.

ක්‍රි. පූ. 528 දී පමණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිරියාය නම් වූ ග්‍රාමයේ ඉදිකළ ද මෙම ස්තූපය ලංකාවේ ප්‍රථම ස්තූපය ලෙස සලකනු ලැබේ. පණ්ඩුකාභය කුමාරයාගේ මාමා කෙනකු සිව ප්‍රදේශය සරුකළ බැවින් ගිරිකණ්ඩඩිම නමින් ප්‍රසිද්ධ විය. පසු ක‍ලෙක එම ප්‍රදේශය ගොයමෙන් සරු කළ ගිරිකණ්ඩ කුමාරයාගේ නාමයෙන් මෙම ස්තූපය ගිරිහඬු සෑය නමින් ප්‍රකට වූ බව ද කියැවේ.

ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි තිරියාය ග්‍රාමයට මඳක් බටහිරින් පිහිටි ගිරිහඬු සෑය මුහුදු මට්ටමෙන් අඩි 280ක් පමණ උස දර්ශනීය කඳු ගැටයක් මත පිහිටා ඇත. මෙම පුද බිමේ ඉතාමත් ආකර්ශනීය ම නිර්මාණය වන්නේ යැයි සැලකෙන්නේ සිලාමේඝ රජ සමයේ ඉදි කළා යැයි සැලකෙන වටදාගෙයයි.

කුඩා පරිමාණයේ ස්තූපයක් ව තිබූ මෙම ගිරිහඬු සෑය සිලාමේඝ රජු විසින් පුළුල් කොට බඳවා ඇත. එම වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කොට තැනූ ගිරිහඬු සෑය යි. මෙහි විශ්කම්භය අඩි තිස් දෙකක් පමණ වන අතර, වටදාගෙයි මලුවෙහි විෂ්කම්භය අඩි 79ක් පමණ වේ යැයි සැලකේ. වටදාගෙයට ඇතුළුවීම සඳහා සිව් පැත්තෙන් ම වාහල්කඩ හතරකි. එම වාහල්කඩ සතර ඉදිරියේ සමාධි පිළිම තැන්පත් කර තිබූ ගල් ආසන හතරක් වේ. එක් සමාධි ප්‍රතිමාවක් ශේෂ ව ඇත. සලපතල මලුව, වැලි මලුවට වඩා උසින් පිහිටි බැවින් ඊට පිය නැඟීමට අලංකාර කැටයමින් යුත් මුරගල් හා කොරවක් ගල් සහිත පිය ගැටපෙළ හතරකි. මෙම වටදාගෙය පැරැණි රජ දවස විසූ ගෘහ නිර්මාණකරුවන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් බැව් ද කිව හැකි යැයි සඳහන් වේ.

ක්‍රි. ව. පස්වන සියවස පමණ වන විට ගිරිහඬු සෑය පිහිටි පුදබිම “නිතුපත්පාන“ නමින් හැඳීන්වෙන රහතන් වහන්සේලා වැඩ සිටි ථේරවාදී පුදබිමක් ලෙසට හඳුන්වා දී ඇත. අටවන සියවස පමණ වන විට මෙම පුදබිම මහායානික පුදබික් බවට පත්ව ඇති බව සඳහන් වේ. වරායක් අසල වූ පුදබිමක් වීමත්, ජාත්‍යන්තර සබඳතාවයන් ඇතිවීමත් මහායානික ඉගැන්වීම්වලට විශේෂ ස්ථානයක් දෙන්නට ඇතැයි ද විශ්වාස කළ හැකි වේ.

එලෙස ම එකල විදේශ ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ මෙහි අධිපතිත්වය දරා ඇතැයි ද සඳහන් වේ.

දොළොස්වන සියවසේ දී පමණ සිදු වූ සොළී ආක්‍රමණ නිසා මෙහි ජනයා මෙම ප්‍රදේශය අතහැර ගිය බව ද, ඒ හේතුවෙන් පුදබිම වල් බිහි වූ බව ද සඳහන් වේ. ඒ ආකාරයෙන් සියවස් ගණනාවක් වනය තුළ සැඟව ගිය මෙම පුදබිම පසු කාලයක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් යළි එළි පෙහෙළි විය.

තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන් පිළිබඳ පවතින ජනශ්‍රැතියක් ද වේ. ඒ ඔවුන් දෙදෙනා කේශ ධාතූන් වහන්සේ සහිත කරඬුව දෑතට ගෙන ලංකාද්වීපයට පැමිණෙන අවස්ථාවේ වෙරළ තීරයේ වැලි අතට ගත් අවස්ථාවේ ඒවා සම්මා සහල් බවට පත් වූ ජනප්‍රවාදය යි. එම කරුණ කෙසේ වූව ද වර්තමානයේ එම තොටුපළ ආශ්‍රිත වැලි ද සම්මා සහල්වලට සමාන කළ හැකි ආකාරයක් දක්වන වැලිවලින් යුක්ත යැයි සැලකේ.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]