[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟ ගුණයෙන් සෝබමාන වූ උතුම් පැවිදි දිවිය

සඟ ගුණයෙන් සෝබමාන වූ උතුම් පැවිදි දිවිය

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ශී‍්‍ර රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන අනුනායක මා හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ශාසනබලධාරී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම කුඩා කාලයේ සිට සකස් වුණේ කුමන ආකාරයෙන් ද?

මම කුඩා අවධියේ හැදුණේ වැඩුණේ වයඹ පළාතට අයත් ආණමඩුව කියන බොහොම සුන්දර ගැමි ප්‍රදේශයක . රාජකරුණා හේරත් මුදියන්සේලාගේ මහනාම රාජකරුණා හා අධිකාරී මුදියන්සේලාගේ පුංචිමැණිකේ යන දෙපළ ආදරණිය මව්පියන් කොටගෙන 1958 සැප්තැම්බර් 03 වෙනි දා රාජකරුණා හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණා යන ගිහි නාමයෙන් මෙලොව ජන්ම ලාභය ලැබුවා. මව්පියන් ආගම දහමට ලැදිව බොහොම ශ්‍රද්ධාවන්තව කටයුතු කළ දෙදෙනෙක්.

නිතර ම විහාරස්ථාන ආශ්‍රය නිශ්‍රය කළා. එම පරිසරය නිසා මට පැවිදි වීමේ ආශාවක් ඇති වුණා. මගේ පියා එම අදහසට බොහොම කැමැති වුණා . ආණමඩුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන , කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සාමාන්‍යපෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව 1976 මැයි මස 09 වන දින ආණමඩුවේ ධම්මදස්සී යන උතුම් වූ ශාසනික නාමයෙන් පූජනීය පැවිදි ජීවිතයට ඇතුළත් වීමට ලැබීමත් විශාල පුණ්‍ය ශක්තියක්.

මගේ ආචාර්යන් වහන්සේ වශයෙන් කටයුතු කළ අස්ගිරි විහාර පාර්ශ්වයේ කීර්තිධර මහානායක මා හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩ සිටි අපවත් වී වදාළ අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම ශී‍්‍ර ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේ, අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශී‍්‍ර රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන දෙනම ඉතාමත් ගෞරවපූර්වක ව මේ අවස්ථාවේ දී සිහිපත් කරන්න කැමැතියි. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේෂ්වර පරිවේණාස්ථානයෙන් මූලික ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළා වගේම 1979 මැයි මස 20 වන දින අස්ගිරි මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේ දී ආචාර්යපාදයන් වහන්සේලා දෙනම යටතේ උතුම් වූ උපසම්පදාව ලබාගත් බවත් උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුයි.

ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමී, සඟ ගුණයෙන් සෝබමාන වුණ වියත් පඬිවරුන්ගේ ආභාසය ලැබීම මගේ පැවිදි දිවිය ඔපවත් කිරීමට විශාල ශක්තියක් වුණ බවත්, ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කළ යුතුයි.

ඔබ වහන්සේ උසස් අධ්‍යාපනය ලබාගත් අවධිය සිහිපත් කරනවා නම්

මම 1982 වර්ෂයේදී උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 1985 වර්ෂයේ දී පාලි භාෂාව පිළිබඳව විශේෂවේදී උපාධිය ලබාගැනීමට කටයුතු කළා.1990 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා.

නැවතත් 1992 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, එම විශ්වවිද්‍යාලයෙන්ම 1998 වසරේදී අධ්‍යාපනපති උපාධියත් ලබාගැනීමට කටයුතු කළා. ඒ වගේම 2000 වසරේ දී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පාසල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා.

අස්ගිරි මහාවිහාරයේ අනුනායක ස්වාමීන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේ් ජාතික,ආගමික, ශාසනික සේවය සිදුකළේ කුමන ආකාරයෙන් ද?

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති වශයෙන් දහම් පාසල් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් සිදුකළා. කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශී‍්‍ර රතනපාල දහම් පාසල හාරිස්පත්තුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හොඳම දහම් පාසල බවට පත්කළා. ඒ වගේම මහනුවර දිස්ති‍්‍රක් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වශයෙන් කි‍්‍රයාකාරී වුණා.

1986 වර්ෂයේ දී ගුරු හිමිනමක වශයෙන් රජයේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසුණා. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට පළමු පත්වීම ලැබීමත් සමඟ දැඩි කැපවීමකින් සේවය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිට්ටඹුව ශාරිපුත්ත අධ්‍යාපන පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 12ක් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා.

අධ්‍යාපනික සේවය තවදුරටත් පුළුල් කරමින් අනුරාධපුර ශී‍්‍ර ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 12 ක් සේවය කළත් අධික කාර්යබහුලත්වය නිසාම පසුගිය දිනක එම තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.

අපවත් වී වදාළ මහානායක අතිපූජ්‍ය පලිපාන ධර්මකීර්ති ශී‍්‍ර ගුණරත්න චන්ද්‍රානන්දාභිධාන මාහිමිපාණන් වහන්සේගේ කාලය තුළ කර්මාචාර්ය තනතුරටත්, අපවත් වී වදාළ අතිගරු උඩුගම ශී‍්‍ර ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහානායක හිමිපාණන් වහන්සේ විසින් 2002 වර්ෂයේ දී අස්ගිරි මහාවිහාරයේ මහා සංඝ සභාවේ කාරක සභික ධූරයටත් පත්කිරීමට කටයුතු කළා. 2008 මාර්තු 01 දින අස්ගිරි මහා විහාරීය සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයට පත් වුණා. ඒ වගේම විහාරස්ථාන 10 ක පරිපාලන වගකීමත් දරමින් ආගමික හා ශාසනික වශයෙන් අස්ගිරි මහා විහාරයේ සංඝ පරම්පරාවට අයත් බෞද්ධ ආයතන සහ විහාරස්ථානවල පරිපාලන කටයුතු සඳහා සහාය ලබාදෙනවා.

වර්තමානයේ උද්ගතවී ඇති ගැටලුවක් වුණ විහාර දේවාලගම් පනත පිළිබඳව අවධානය යොමුකරමින් 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම පිළිබඳවත්, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් අවශ්‍ය කටයතු සම්පාදනය කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ සමාජිකත්වය වසර 10 දරමින් , පුරාවිද්‍යා උපදේශක සභාවේ සමාජිකත්වය දරමින්, පල්ලෙකැලේ අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ පාලක සභාවේ සමාජිකත්වය දරමින්,2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ සාමාජිකත්වය දරමින් ,සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභික හිමිනමක් වශයෙන් හා ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ සාමාජිකත්වය දරමින් විශාල සේවයක් සිදුකිරීමට හැකි වුණා.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්තී‍්‍රය සේවය පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා නම්,

අස්ගිරි මහාවිහාර පුරාණය 1සහ 2 යන ග්‍රන්ථ දෙකත්, ප්‍රබුද්ධ ශාස්තී‍්‍රය සංග්‍රහය 1,2, 3, 4, 5, 6 වශයෙන් ශාස්තී‍්‍රය කලාප 6 ක් ප්‍රකාශයට පත් කළා. "ඇත්කඳ වෙහෙර", "වස් වැසීම සහ කඨින චීවර දාන මහා පුණ්‍ය කි‍්‍රයාව" වශයෙන් ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළා.

සියම් මහානිකාය අස්ගිරි පාර්ශ්වයේ 22 වන අනුනායක මා හිමිපාණන් වහන්සේට සම්බුද්ධ ශාසනයට තවදුරටත් සේවය කිරීමට ශක්තිය , ධෛර්ය නිදුක් නිරෝගි සුවය සමඟ දීර්ඝායුෂ ලැබේවා.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]