[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙදකම තිබෙන්නේ තමන් අතමයි

වෙදකම තිබෙන්නේ තමන් අතමයි

" ලෝකයේ සත්වයා මුහුණ දෙන ප්‍රධාන දුක් හතරෙන් තෙවැන්න වන්නේ ලෙඩ රෝග යි. ඉතින් මේ ලෙඩ රෝග ඇති වන්නේ ද හේතු ඵල දහම අනුව යි. එහි දී යමකට එක් හේතුවක් පමණක් වන්නේ නැහැ. අපට බොහොම හොඳීන් හුරුපුරුදු ගිරිමානන්ද සූත්‍රයේ එම හේතු පැහැදිලි කර දී තිබෙනවා."

‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ වැඩක් නැහැ කියා අද පොදු ව්‍යවහාරයෙහි කතාවකුත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සනාථනික දහම දේශනා කර තිබෙන්නේ මෙයට වසර දෙදහස් හයසියයකට පමණ පෙරාතුව යි. කායික හා මානසික කියලා ලෙඩ වර්ග දෙකක් වෙනවා. ඉතින් කවුද මේ ලෙඩ වෙන්නේ? කවුද මේ ලෙඩ කරවන්නේ? මෙයට පිළිතුරක් සපයා ගැනීමෙන් අප හැම දෙනාට ම හුඟක් ප්‍රශ්නවලට විසඳූම් සොයා ගන්නට හැකියාව තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින අවස්ථාවක ගිනි මද්දහනේ පුරුදු පරිදි ම කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කර එකත්පස් ව හිඳගත්තේ පිළිසඳර කතාවට මුල පුරන්න යි. බුදුරජාණන් වහන්සේට රජතුමාගේ ඉරියව්වල වෙනසක් දකින්නට වැඩි වෙලාවක් ගත වූයේ නැහැ. රජතුමා වරින් වර එහාට මෙහාට හැරෙන්නටත්, ඈනුම් හරිමින්, ඇඟපත දිග හරින්නටත් පටන්ගත්තා. බුදුරජාණන් වහන්සේ කරුණු විමසන්නට පටන්ගත්තා.

“රජතුමනි, මේ වෙනස කුමක් ද? අද ඔබ මේ මද්දහනේ ආවේ දිවා ආහාරයෙන් පසුව සිරුරට මඳ විවේකයක්වත් ලබා දීමෙන් තොරව ද?

“එසේය ස්වාමීනි,” රජතුමා එක්වර ම පිළිතුරු දුන්නා.

තමා හඳුනාගන්න

අපේ ගැමි වහරෙ විදිහට කියනවා නම් මේ ආහාර වැඩිපුර ගැනීමෙන් උස්මුරුත්තාවට ඇවිල්ලා. ඉතින් මේ රජතුමා පුරුද්දක් හැටියට රසවත් ලෙස බත් මාළු ආහාර පාන ලැබෙන කොට ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම පුරුද්දක් ලෙස කරගෙන තිබුණා. ඒ නිසා බොහෝ දවස්වල රසවත් රාජ භෝජනයෙන්, පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් රජතුමා මෙම වෙහෙසකර තත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මත්තඤ්ඤුතාවෙන් තොරව ආහාර ගැනිම යි.

ඉතින් බුදු බණට අනුව ලෝකයේ තිබෙන දරුණු ම රෝගය වන්නේ බඩගින්න යි. එය ‘ජිගච්ඡා පරමා රොගා’ යනුවෙන් දහමෙහි විස්තර වෙනවා. ඒ වගේ ම තමා ඒ බඩගින්න නම් රෝගය සංසිඳූවා ගන්න අප ලබා ගන්නා ආහාරය මත්තඤ්ඤුතාවෙන් තොර ව ලබා ගත්තොත් ඒකත් රෝගයක් බවට පත් වෙනවා. එහෙම නම් යම් රෝගයක් හදා ගන්නෙ ත් තමන්ම යි. ඒ රෝගයට වෙදකම තිබෙන්නෙ ත් වෙන කවුරුවත් වෙත නොව තමන් අතෙ යි.

ඉතින්, රජතුමා ම යි ලෙඩේ හදා ගත්තේ. බුදුරජාණන් වහන්සේ මේ පදනම මත පිහිටා රජතුමාට කරුණු පෙන්වා දුන්නා. පමණ දැන ආහාර ගැනීමේ අවශ්‍යතාව.

බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව රජතුමා දිනපතා ආහාරයට ගන්නා ප්‍රමාණය ක්‍රමානුකූල ව දවසින් දවස ටිකෙන් ටික අඩු කරලා දිවි පැවැත්මට යැපෙන පමණට ආහාර ගැනීම දක්වා අඩු කර ආහාර ගැනීම පුරුදු කළා. රජතුමා එයින් මහත් වූ නිරෝගි සුවයක් ලබා ගත්තා. පසුව දවසක රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් එසේ ආහාරය පමණ දැන ගැනීමෙන් ඒ වනවිට ලබා තිබුණ ශාරිරික සුවයත් එයින් ලද මහත් වූ මානසික අස්වැසිල්ලත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. ඉතින් ප්‍රතිකාරය තිබුණෙත් රජතුමා ළඟම යි.

ශාරීරික සුවය

ඉතින්, දැන් අපට පැහැදිලි වෙනවා අද වනවිට සමස්ත ලෝකයේමත් පැතිරී පවත්නා මාරාන්තික කොවිඩ් 19 වසංගත තත්වය. මේ නිසා අද මේ වනවිට කෝටි පහක් ඉක්මවා මිනිස් වර්ගයා අන්ත අසරණ තත්වයට පත්වෙලා. ලක්ෂ 14 ආසන්න ව මරණ ඉහළ යමින් පවතිනවා. මේ සංඛ්‍යාවට ශ්‍රී ලංකාවාසීන් වශයෙන් අපේ රටේ ජනතාවට ද මහත් අසහනයෙන් යුක්තව මුහුණ දෙන්නට සිදු ව තිබෙනවා.

ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සනාථනික යි. කවුද මේ දරුණු රෝග තත්වයට අද වගකිව යුත්තේ ? මෙයට පිළිතුර වන්නේ හැම දෙනා ම අපක්ෂපාතී ව බැලුවොත් මේ “මම” කියා කියන “මමයා” ම යි. අප අද ඉක්මන් වෙනවා, එක එක්කෙනා වෙත මෙහි වරද පටවන්නට.

පසුගිය කාලයේ ඇමෙරිකාව මේ චෝදනාව කළා චිනයට එරෙහි ව. තවත් අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි ව. ඉතින් මේ අපේ රටේ මේ වසංගත තත්වය පසුගිය මාර්තු මාසයේ ආරම්භ වෙලා එය සාර්ථකව කෙටි කාලයක් තුළ මර්දනයට පත් කර ගත්තා. ඒ කරුණ පිළිබඳ අප ඒ වෙලාවේ රජයට අප්‍රමාණ ස්තුති කළා.

ඊට පස්සේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ වසංගත තත්වය අපේ රටේ උත්සන්න වීමට පටන් ගත්තහම දැන් සමාජයේ කොටසක් රජයට දොස් පවරන්නට පටන් ගෙන තිබෙනවා. ඉතින් ඇත්තෙන් ම ස්තුති කර ගන්නට ඕන තමන්ට ම යි. එහෙම නැතිනම් මේ මමයා ට ම යි. දොස් පවරා ගන්නට ඕන ත් මමයා ට මයි පරමාර්ථ වශයෙන් නොවුණත් සම්මුති වශයෙන් මේ සියල්ලෙහි ම වගකීම මේ මම කියන ව්‍යවහාරයෙන් හැම දෙනා ම භාර ගතයුතු වෙනවා. ඒ තමා බුදු බණ.

බුදුරජාණන් වහන්සේගේ සියලු ම දේශනාවන්ගේ පදනම වෙලා තිබෙන්නේ හේතුඵල දහම මත යි.”ව්‍යාධිපි දුක්ඛො” යනුවෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් ප්‍රකාශ වන ආකාරයට දුක විස්තර කරන තැන දී ලෝකයේ සත්වයා මුහුණ දෙන ප්‍රධාන දුක් හතරෙන් තෙවැන්න වන්නේ ලෙඩ රෝග යි. ඉතින් මේ ලෙඩ රෝග ඇති වන්නේ ද හේතු ඵල දහම අනුව යි. එහි දී යමකට එක් හේතුවක් පමණක් වන්නේ නැහැ. අපට බොහොම හොඳීන් හුරුපුරුදු ගිරිමානන්ද සූත්‍රයේ එම හේතු පැහැදිලි කර දී තිබෙනවා. පිත නිසා, සෙම නිසා, වාතය නිසා ඉහත දැක් වූ ඒ වාතය, පිත හා සෙම යන තුනේ ම බලපෑම නිසා, කාලගුණික, දේශගුණික වැනි සෘතු විපර්යාස නිසා, විෂම පැවැත්ම නිසා, විවිධ උපක්‍රම නිසා, කර්ම විපාක වශයෙන් ලෙස මේ විදිහට ඒ හේතු දක්වා තිබෙනවා. මෙහි දී පැහැදිලි වෙනවා කර්මය නිසා ඇති වන රෝග පීඩාවන් මුල දී පෙන්වාදුන් හේතු අටෙන් එකක් පමණක් බව. කර්මයේ විපාක අපට වෙනස් කරන්නට බැහැ.

එහෙම වුණත් තවත් බොහෝ රෝග පීඩා අපට යටපත් කර ගැනීමේ හැකියාව හොඳට ම තිබෙනවා. එතකොට ඔය විදිහට බලපුවහම අද මේ ඇති වී තිබෙන කොවිඩ් 19 වසංගත තත්වය ඇති වුණේ කොහොම ද? කියන කාරණය අපට මෙහි දී වැදගත් වෙනවා. විෂම පැවැත්ම කියන මේ කරුණ මෙහි දී ඉතා වැදගත් හේතුවක් බවට පත් වෙනවා.

අද සමස්ත ලෝකය ම විෂම තත්වයට මිනිසා විසින් ම පත්කරගෙන තිබෙනවා. ඒ අතර දරුණු අපරාධ, න්‍යෂ්ඨික අත්හදා බැලීම්, වායු දූෂණය, පරිසර විනාශය, මත්ද්‍රව්‍ය භාවිතය, වැරදි ආහාර රටාවන්, සදාචාර පරිහානිය, සත්ව හිංසනය, දරුණු මිනිස් ඝාතන, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ යන මේ නොයෙක් විෂම තත්වයන් මිනිසා විසින් ම නිර්මාණය කර ගෙන ඔවුන් ම අන්ත අසරණ තත්වයට පත් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී මේ කරුණු අපට මැනවින් පැහැදිලි කරලා දීලා තිබෙනවා.

රස තෘෂ්ණාව

මේ සියල්ලක් කැටි කරගෙන සලකා බැලුවොත් මිනිසාගේ ආත්මාර්ථකාමි, කාමාශක්ති ජීවන පැවැත්ම මෙහි මූලික සාධකය යි කියා පැහැදිලි කර දෙන්නට පුළුවනි. මේ හැරුණු විට විවිධ උපක්‍රමයන් නිසා ඇති වූ වංසගත තත්වයක් කියා සිතන්නටත් ඉඩ තිබෙනවා. විශේෂ රටරටවල් අතර පවත්නා ධමෝපායන ආත්මාර්ථකාමී, තරගකාරි බල තණ්හාව නිසා ත් මෙම වසංගත තත්වය ඇති වී දැයි සැක සිතීමට කරුණු පවතිනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස ඉල් අටවක පෝද (08) පත්‍රයේ පළවේ.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]