[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝමපුරයෙහි ඉදිවූ සෝමවති සෑරදුන් වහන්සේ

සෝමපුරයෙහි ඉදිවූ සෝමවති සෑරදුන් වහන්සේ

"බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලංකාවට වැඩමවා සොළොස්මහා තැන් පාරිභෝගික චෛත්‍යය බවට පත් කළ සේක. එහෙයින් මේ රට මිථ්‍යා දෘෂ්ටිකයන් වාසයෙහි නොපවත්නෝ ය.

සම්‍යක් දෘෂ්ඨික රජුන් යටතේ ම පිහිටුවන්නේ ය. පෙර දිවයිනේ රාජ්‍ය කළ අසේල, දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන, මහා විජයබාහු ආදි රජවරු දෙමළ සොළි මිසදිටුවන් වනසා ශාසනය ආරක්ෂා කළහ. මමත් එසේම දැන් පිහිටි රට වනසන මාඝ රජු හා ජයබාහුය යන දෙදෙනා දිනා මෙම සසුන් වඩන්නට ප්‍රාර්ථනා කරමි.‘ ඒ දෙවන පරාක්‍රමබාහු රජතුමා ස්වර්ණ කරඬුවක තැන්පත් දළදා වහන්සේ සියතට ගෙන භික්ෂූන් වහන්සේ ඉදිරියේ සත්‍යක්‍රියා කළ ආකාරයයි. .

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි කොසොල් රජු ආදී පින්වත් රජවරු උන්වහන්සේ දැක බණ අසා අර්ථ සිද්ධිය කර ගත්හ. පිරිනිවි පසූ ධර්මාශෝක ආදී රජවරු නිර්මිත බුද්ධරූපශ්‍රීය දැක මනදොළ පුරා ගත්හ. අනාගතයෙහි ශ්‍රද්ධාවන්ත රජුන් දකින බුදුරජාණන් වහන්සේ මාත් දැක වදාළ සේක් නම්, පෙර විසූ සැදැහැති රජවරුන් අතරට මාත් ඇතුළත් නම් දළදා වහන්සේ මට කිසියම් ප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් මැනවි.

රජතුමා මේ සත්‍යක්‍රියාව කර අවසන් වන විටම දළදා වහන්සේ රජතුමාගේ අතින් අහසට පැනනැඟී දස දිගුම් ඒකාලෝක කරමින් සර්වඥ රූපය මවා දක්වා රජතුමාගේ අතටම වැඩියහ. රජතුමා “අද මාගේ ජීවිතය සඵල විය, යනාදී උදාන වාක්‍යක් කියන අතර, ඒ අත්භූතය දුටු මහජනයා අතරින් නැඟුණු සාධුනාදයෙන් මුළු නගරය එකනින් නාදවිය.

මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ රූපය ධර්මාශෝක රජතුමා ද, දුටුගැමුණු රජතුමා ද, සියැසින් දුටු ආකාරය මහාවංසයේ සඳහන්වන අතර, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 700කින් පසු රහතන් වහන්සේලා 20 නමක් වැඩසිටි විහාරයට ගොස් බුදුරදුන් ලක්දිවට වැඩිබව සත්‍ය නම් මට ඒ බුදුරදුන් දැකීමට ලැබේවායි ප්‍රාර්ථනා කළ මොහොතේ, රහතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් බුදුරදුන් සියැසින් දැක සතියක් බුදු රදුන් පූජා කොට ඊයම්, රන්, රිදී මිශ්‍රණයෙන් බුද්ධ රූපය සාදවා පුදපූජා පැවැත්වු ආකාරයත්, එම බුද්ධ ප්‍රතිමාව තායිලන්තයේ සුබෝදය නුවරට ගෙන ගිය ආකාරයත් ජිනකාලමාලි ග්‍රන්ථයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑමෙන් පසු සර්වඥ ධාතුන් වහන්සේලාගේ, රහතුන් වහන්සේලාගේ හා දිව්‍යානුභාවයෙන් බුදුරජාණන් වහන්සේ පස් වතාවක් ලෝකයේ පහළ වු අතර දෙවන පරාක්‍රමබාහු රජතුමා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට කඨින චීවර මහා පුණ්‍යෙීත්සවයක් පැවැත්වීය. අතර 6 වන පරාක්‍රමබාහු රජතුමා කඨින චීවර 3432 පූජා කළ බවත්, කිර්තී ශ්‍රී රාජසිංහ රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමියන් සම්බන්ධ කර ගෙන වර්තමාන උපසම්පදාව මල්වතු - අස්ගිරි උභයමහා විහාරයේම පිහිටුවා කඨින මහා පිංකම් සිදු කළ ආකාරයත් මහාවංසාදී වංස කතාවන්හි සදහන් වේ.

දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු මහානාග කුමරු රෝහණයට යන විට මහවැලි ගඟින් එගොඩවනවාත් සමඟම එතුමාගේ නමින්ම “නාගාරාමය” නමින් සෝමවතී විහාරය ඉදිකොට ඇත. මහානාග කුමාරයා යටාලතිස්ස ප්‍රදේශයේ රාජධානිය කරගන්නාවිට එතුමාගේ පුතා යටාලතිස්ස නම් විය. ඔහුගේ පුත් ගෝඨාභය රජු වූ අතර එතුමාගේ පුතා කාවන්තිස්ස හා දියණිය සෝමවතී නම් විය.

කැලණියේ කැලණිතිස්ස රජුගේ බෑණනුවන් සමඟ විවාහ වු සෝමවතී දේවිය ගිරි ජනපදයේ රාජ්‍ය කරන විට දුටු ගැමුණු කුමරු පැමිණිමෙන් පසු එම ගිරි ජනපදයත්, ස්වර්ණමාලි දියණියත් දුටුගැමුණු කුමරුට භාර කොට සේරු ජනපදයට ගොස් මහවැලි ගඟ සීමා කොට සෝම නගරය පිහිටුවා ගන්නා ලදී.

එම සෝමපුරයෙහි භික්ෂූන් වහන්සේලා 60 නමක් වාසය කළ අතර මහානාග රජතුමාගේ නමින් ඉදිකරන ලද විහාරය නාගාරාම විහාරය විය. චෛත්‍යයක් නොමැති නිසා සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු එහි වැඩ විසූ මිහිඳු රහතන් වහන්සේගෙන් අවසර ලබා ගෙන දාගැබ ඉදිකිරිමේ දී ධාතුන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය එකී මිහිඳු හිමියන්ට සිහිපත් කළහ.

මිහිඳු හිමියන් තමන් වෙත ලැබී තිබු බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පරිත්‍යාග කරන ලදින් බුද්ධ රශ්මිමලා විහිදීම ආදි ආශ්චර්යමත් සිද්ධින් සියැසින් දකිමින් එම දළදා වහන්සේ නිදන් කොට සෝමවතී නමින් දාගැබ ඉදිකළ බවත්, ඒ සමඟ සෝම නම් පස් පිළිම විහාරය, මනි අගිය නම් පෝය සීමාව ඇතුලු සියලු විහාරාංග ගොඩනංවා නැඟෙනහිර ප්‍රාකාර බැම්මෙන් පිටත සංඝාවාස ආදිය ඉදිකොට මිහිඳු හිමියන් ප්‍රධාන 60 නමක් වූ භික්ෂුන් වහන්සේට පුජා කළ බව සඳහන් ය. එකී ගොඩනැඟිලි නටබුන් අද දක්වාම පවතී.

මනි අගිය රජමහ විහාරය යන නමින් යුත් මෙම විහාරය හා දාගැබ ආරක්ෂා කර ගත් ආකාරයත් වැඩි දියුණු කළ ආකාරයත්, චෛත්‍යරාජයා සමීපයේ ඇති ශිලා ලේඛන තුනකින් හා දිග් ගලේ ඇති ශිලා ලේඛන අටකින් කරුණු මැනවින් අනාවරණය වේ.

ක්‍රි.පු. 41 සිට පොළොන්නරු යුගයේ පරාක්‍රමබාහු රජතුමා දක්වා අභිලේඛන හමු වී ඇත.

1. ක්‍රි:පූ: 41 දි කූඨකණ්ණතිස්ස රජතුමා දෙගම නම් දිය ඇළක් කපා පූජා කිරිම.

2. ක්‍රි:ව: 9 මහාදාඨික රජතුමා අඩපිටිගම හා රජලී කුඹුරුයායෙන් කිරිය 100 ක් හෙවත් අක්කර 800ක් පූජාකිරීම පිළිබඳ ශිලා ලේඛන 2කි.

3. ක්‍රි:ව: 112 දී ගජබා රජතුමා රාජකීය ඇළක් කපා මනිඅගිය විහාරයට හෙවත් සෝමවති විහාරයට පූජාකිරීම.

4. බු:ව: 700 දී හෙවත් රා:ව: 164 දී කනිට්ඨතිස්ස රජතුමා චෛත්‍යරාජයා වටා තවත් චෛත්‍යක් ඉදිකොට සියලු විහාරාංග ප්‍රතිසංස්කරණය කොට අභයගිරියෙන් ද භික්ෂුන් වැඩමවා පුද පූජාවන් පැවැත්වීම.

5. එම කනිට්ඨතිස්ස රජතුමා ම තවත් ශිලා ලේඛන 2 ක් ( දිග් ගලේ හා චෛත්‍ය ළඟ) එකම කාරණය දක්වමින් පිහිටුවා ඇත. මහවැලි ගඟේ තොටුපොළ 3 ක බදු චෛත්‍ය රාජයාට ලබාදීම.

විහාර කුඹුරුවල වැඩකළ ගොවියන් රජතුමාගේ වැවේ වැඩවලින් නිදහස් කර චෛත්‍යය හා විහාරයේ රාජකාරී කටයුතුවල යෙදීම.

නියමිත රාජකාරී නොකොළොත් කහවනු පන්සීයක් හෙවත් වර්තමාන ලංකා මුදලින් රුපියල් කොටි 40ක් දඩයක් නියම කිරීම. මෙම ආදායමින් ඉතිරි මුදල් භික්ෂූන් වහන්සේගේ සිව්පසය සදහා යෙදවීම.

6. බු.ව.1700 දී මහා පරාක්‍රමබාහු රජුගේ බිසව වන ලීලාවතී රැජිණ දොළොස්දහස් රටින් (වර්තමාන ගිරුවාපත්තුවෙන්) ඇඹුල්පත්ගම පූජා කළ ශිලා ලේඛනයක් ද දාගැබ සමීපයේ පවතී.

7. මහා පරාක්‍රමබාහුරජතුමා ගිරිතලා වැවේ සිට ජලය කදුරුවඩමන් වැවට කාවේරි නම් ඇළකින් ගෙන ගොස් එම කදුරුවඩමන් වැවේන් , අරිමද්දන විජය ගමට සෝමවතී නම් ඇළකින් ජලය ගෙනා බව මහා වංශයේ 79 වන පරිච්ජේදයේ සදහන් වේ.පොළොන්නරු යුගය වන විටත් අද දක්වාමත් මේ ප්‍රදේශය සෝමවතී ප්‍රදේශය නමින් හඳුන්වා ඇත.

1946 දී පමණ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ ගොවිජනපද ව්‍යාපාරය නිසා සිංහල - මුස්ලිම් - ද්‍රවිඩ ජනතාව මෙම ප්‍රදේශවලට පැමිණියහ. මුස්ලිම් පිරිසක් මෙම සෝමවති කැළයට එන විට බෙර ශබ්දය අසා ගිනිදැල් මතුවන බව දැක සිංහල බෞද්ධ පිරිසට කීමෙන් පසු ඔවුන් ද සියලු කරුණු සොයා බලා මල්වතු මහා විහාරය වෙත ගොස් මහනායක මාහිමියන්ට, සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ට හා පහමුණේ ශ්‍රී ගුණානන්ද අනු නා හිමියන්ට දැන් වීමෙන් පසු සියලු කරුණු කාරණා සොයා බලා එකී සිංහල බෞද්ධ පිරිස හා මුස්ලිම් පිරිස සමඟ එන විට පෙර අයුරින්ම බෙර ශබ්දයක් ඇසී ඒ අනුව ගමන් කරන විට ගිනිදැල් මතුවෙනු දැක ඒ ඔස්සේ ගොස් බලන විට ගස් වලින් වැසී, පස් ගොඩක්මෙන් දිස් වූ චෛත්‍යරාජයා සොයා ගත්හ.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]