[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුටින් ජීවත් වන හැටි

සතුටින් ජීවත් වන හැටි

" රාගය සිතට බැස ගත් කල්හි එය ජීවිතය ඇතුළතින් හා පිටතින් ගිනි ගෙන දවාලීමට සමත් වෙයි. ඒ නිසා ම රාගය බලවත් වූ සත්වයෝ ඒ රාගය සංසිඳුවා ගැනීමට නොහැකි ව උමතු වෙති."

පුහුදුන් සියලු මනුෂ්‍යයෝ සැපය, ප්‍රීතිය හා සතුට ම කැමැති වෙති. ඔවුහු දුක පිළිකුල් කරති. ඒ පුහුදුන් බවේ ස්වභාවය යි. එසේ සැපය, ප්‍රීතිය හා සතුට ම ප්‍රාර්ථනා කළත් පුහුදුන් මනුෂ්‍යයෝ තුළ “කිඤ්චන” හෙවත් රාග, ද්වේෂ, මෝහ කෙලෙස් පවතින තාක් සැප සේ ජීවත් විය නොහැකි ය.

ප්‍රීතියෙන් ජීවත් විය නොහැකි ය. සතුටින් ජීවත් විය නොහැකිය. එසේ වුවත් යම් කෙනෙක් තුළ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් නැත්තේ ද ඔහු ඒකාන්තයෙන් ම සුවසේ, සතුටෙන්, ප්‍රීතියෙන් ජීවත් වෙයි. කයට කිසිදු ආහාරපානයක් නොලැබුව ද ආභස්සර දෙවියන් සේ ප්‍රීතිය ම ආහාර කොට සතුටින් සිටීමට ඔවුනට පුළුවන.

මේ බව සර්වඥයන් වහන්සේ ම ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ සුඛ වග්ගයේ දී දේශනා කර තිබෙන්නේ

“සුසුඛං වත ජීවාම යෙසං නො නත්‍ථි කිඤ්චනං

පීතිභක්‍ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථාති”

යනුවෙනි. අපට පළිබෝධ හෙවත් රාග, ද්වේෂ, මෝහ කිඤ්චන නැත්තේ ද එබඳු වූ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු. ආභස්සර දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමු. මේ ඉහත ගාථාවේ අර්ථය යි.

සර්වඥයන් වහන්සේ මෙම ගාථාව දේශනා කළේ පංචසාල නම් බමුණු ගමේ වැඩ වාසය කරන කල්හි සිදු වූ සිද්ධියක් මුල් කර ගනිමිනි. සර්වඥයන් වහන්සේ පෙරවරු කාලයේ හැඳපොරවා පාසිවුරු ගෙන පිණ්ඩපාතය පිණිස පංචසාල ගම මැදට වැඩම කළ සේක. මාරයා විසින් කල්තියාම “අද දින ශ්‍රමණ ගෞතමයන්ට කිසිදු ආහාරයක් ලබා නොදෙමි” යි “අද දවස පුරාම ශ්‍රමණ ගෞතමයෝ කුස ගින්නේ ම තබමි” යි දුෂ්ඨ චේතනා ඇතිව සියලු ගම්වැසියන්ගේ ශරීරයට ආවේශ විය.

සර්වඥයන් වහන්සේ ද ගම පුරා පිඬු පිණිස වැඩියත් කිසිම ගෙදරකින් බත් සරලුවකුදු නොලැබුණි. හිස් පාත්‍රය ඇතිව ආපසු ගම් දොරින් පිටතට වඩින සර්වඥයන් වහන්සේගෙන් මාරයා “ශ්‍රමණ ගෞතමය, කිම බත් ලද දැ” යි ඇසී ය. එවිට සර්වඥයන් වහන්සේ මාරයා හඳුනා ගෙන “පවිටු මාරය, නුඹ මට බත් ලැබෙන සැටියක් කළෙහිදැ” යි අසා “මාරය, මම අද බත්සරලුවකුදු නොලැබුවත් ආභස්සර බ්‍රහ්මයන් සේ ප්‍රීති සුවයෙන් කල් ගෙවන්නෙමි” යි වදාරා ඉහත සඳහන් ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.

ප්‍රීතියෙන් ජීවත්වීමට කැමැති අප විසින් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න, මෙම දේශනාවෙන් මනාව පැහැදිලි වෙයි. එසේ කළ යුත්තේ “කිඤ්චන” නැති කිරීමයි. රාග, ද්වේෂ, මෝහ කිඤ්චන ලෙස හැඳීන්වූයේ මේවා සත්වයන් සසරට අලවා, ඇද බැඳ තබා ගන්නා බැවින් ය. එසේම ධ්‍යාන විමෝක්‍ෂාදී ගුණයන් වළහාලන බැවින් ය. සරලව ම කියතොත් උත්තරීතර මනුෂ්‍ය ආර්ය ඥානයක් උපදවා ගැනීමට ඉඩ නොතබන නිසා ය.

ප්‍රීතියෙන් ජීවත්වීම සඳහා පළමුවෙන් ම කළ යුත්තේ රාගය නැති කිරීමයි. රාගය සිතට බැස ගත් කල්හි එය ජීවිතය ඇතුළතින් හා පිටතින් ගිනි ගෙන දවාලීමට සමත් වෙයි. ඒ නිසා ම රාගය බලවත් වූ සත්වයෝ ඒ රාගය සංසිඳුවා ගැනීමට නොහැකි ව උමතු වෙති. ඇතැම්හු සිය දිවි නසා ගනිති. රාගයෙන් මත් වූවන්ට කළ නොහැකි පහත්, අධම, නීච වැඩක් ද නොකළ හැකි පාපයක් ද නැත. රාගයෙන් මත් වූවෝ ලෝකාචාරය තේරුම් නොගෙන තම මව, තම සහෝදරිය, තම දියණිය, තම සමීප ම ඥාතීන් සමඟ වුව ද අනාචාරයේ හැසිරීමට පෙළෙඹෙති.

ධ්‍යාන ලබා අහසින් යන පැවිද්දෝ පවා රාගය නිසා ධ්‍යානයෙන් පිරිහී පියාපත් සුන් පක්‍ෂීන් මෙන් බිම වැටෙති. අධික රාගය නිසා උමතු බවට පත් වූ භික්‍ෂුවකගේ කතා පුවතක් මනෝරථපූරණී අටුටාවේ එයි.

මහාදාඨික රජතුමා සෑගිරියේ අම්බස්තල සෑය කරවා ගිරිභණ්ඩවාහන පූජාව පවත්වා භික්‍ෂු සංඝයා වහන්සේට දන් පූජා කළේ ය. මේ පින්කම්වල දී ඉතා රූපවත් වූ දිව්‍යාංගනාවක් හා සමාන දමිළදේවී නම් රජතුමාගේ බිසව දුටු සෑගිරියේ චිත්ත භික්‍ෂුවට බලවත් රාගයක් ඇති විය. පසුව ඒ භික්‍ෂුව උමතු බවට පවා පත් විය. පසුකලක දී දමිළදේවිය කළුරිය කළත්, එය පවා ඇදහීමට චිත්ත භික්‍ෂුවට නොහැකි විය.

රාගය නිසා භික්‍ෂුවකටත් මෙවැනි පිරිහීමක් වූවා නම්, ගිහි භවතුන් පිළිබඳ කවර කතා ද? රාගය දුරු කිරීම සඳහා අප සියලු දෙනා කළ යුත්තේ නිතර නිතර අසුභය සිහි කිරීමයි. අසුභය කමටහනක් ලෙස ඉගෙන භාවනා කිරීමයි.

අසුභය දිගින් දිගට වැඩීමේ දී, භාවිත කිරීමේ දී, බහුලීකෘත කිරීමේ දී අධික රාගය අඩු වේවි. එය ප්‍රීතියෙන් ජීවත්වීමේ පළමු පියවරයි.

ප්‍රීතියෙන් ජීවත්වීම සඳහා දෙවනුව කළ යුත්තේ ද්වේෂය නැති කිරීමයි. ද්වේෂය සිතට බැස ගත් කල්හි එය ජීවිතය ඇතුළතින් හා පිටතින් ගිනි ගෙන දවාලීමට සමත් වෙයි. ඒ නිසා ම ද්වේෂය බලවත් වූ සත්වයෝ ඒ ද්වේෂය සංසිඳුවා ගැනීමට නොහැකිව උමතු වෙති. ඇතැම්හු සිය දිවි නසා ගනිති.

ද්වේෂයෙන් මත් වූවන්ට කළ නොහැකි පහත්, අධම, නීච වැඩක් ද, නොකළ හැකි පාපයක් ද නැත. ඒ නිසා ද්වේෂය සිතේ ඇති වූ කල්හි සිය නිවසට ඇතුළු වූ සර්පයකු මෙන් ද, කුසට ඇතුළු වූ විසක් මෙන් ද සලකා දුරින් දුරු කළ යුතු ය. ද්වේෂය දුරු කිරීම සඳහා අප සියලු දෙනා කළ යුත්තේ නිතර නිතර මෛත්‍රීය වැඩීමයි. සියලු දෙනා සමඟ හිතවත් ව සමඟියෙන් ජීවත්වීමයි. මෛත්‍රිය කමටහනක් ලෙස ඉගෙන භාවනා කිරීමයි. මෛත්‍රීය දිගින් දිගට වැඩීමේ දී, භාවිත කිරීමේ දී, බහුලීකෘත කිරීමේ දී ද්වේෂය අඩු වේ. එය ප්‍රීතියෙන් ජීවත්වීමේ දෙවැනි පියවරයි.

ප්‍රීතියෙන් ජීවත්වීම සඳහා තුන්වෙනුව කළ යුත්තේ මෝහය නැති කිරීමයි. මෝහය සිතට බැස ගත් කල්හි එය ජීවිතය ඇතුළතින් හා පිටතින් අප මුළාවට පත් කරයි. නොයෙක් නොයෙක් රැවටීම්වලට හසු කරයි. මෝහයේ ඇති වඩාත්ම භයානක බව මෝහය නිසා අප මිත්‍යාදෘෂ්ටියට වැටීමයි.

ඒ නිසා ම මෝහය බලවත් වූ සත්වයෝ ඒ මෝහය සංසිඳුවා ගැනීමට නොහැකිව මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. ඇතැම්හු සිය ජීවිත අවුල් වියවුල් කර ගනිති. මෝහයට වශී වූ තැනැත්තාට කළ නොහැකි පහත්, අධම, නීච වැඩක් ද, නොකළ හැකි පාපයක් ද නැත.

ඒ නිසා මෝහය සිතේ ඇති වූ කල්හි මෝහය සිය නිවසට ඇතුළු වූ සර්පයකු මෙන් ද, කුසට ඇතුළු වූ විසක් මෙන් ද සලකා දුරින්දුරු කළ යුතු ය. මෝහය දුරු කිරීම සඳහා අප සියලු දෙනා කළ යුත්තේ නිතර නිතර සති සම්පජඤ්ඤය හෙවත් යෝනිසෝමනසිකාරය වැඩීමයි. සියලු දෙනා සමඟ සිහිබුද්ධියෙන් ජීවත්වෙමින්, සිහිබුද්ධියෙන් ම වැඩ කටයුතු කිරීමයි.

යෝනිසෝමනසිකාරය දිගින් දිගට පුරුදු කිරීමේ දී, භාවිත කිරීමේ දී, බහුලීකෘත කිරීමේ දී මෝහය අඩු වේ. එය ප්‍රීතියෙන් ජීවත්වීමේ තුන්වැනි පියවරයි.

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]