[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශවත් වූ උතුම් පැවිදි දිවිය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ වෑඋඩ බුජස්ලෙන රාජමහා විහාරාධිපති සත්කෝරළ මහදිසාවේ ද්විතීය සංඝනායක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත වෑගම පියරතන නා හිමිපාණන් වහන්සේ

ආදර්ශවත් වූ උතුම් පැවිදි දිවිය

අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේ සාර්ථක පැවිදි දිවියක් ගොඩනඟා ගැනීමට කටයුතු කරනු ලැබුවේ කුමන ආකාරයෙන් ද?

කරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ වෑගම නම්, සුන්දර ගම් පියසෙහි, බීරිමුල්ලේ දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා මහතා පියාණන් කොට දිසානායක මුදියන්සේලාගේ බිසෝමැණිකා උපාසිකා මාතාව මෑණියන් කොට 1952 වර්ෂයේදී මෙලොව එළිය ලබා 1967 වර්ෂයේ දී අලුදෙණියේ පඤ්ඤාණන්ද මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වෑගම පියරතන යන ශාසනික නාමයෙන් සසුන් දිවියට එළඹුණ බවත්,1973 මැයි 22 දින මල්වතු මහාවිහාරීය උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයට පත් වූ බවත්, සිහිපත් කළ යුතුයි.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන තුළින් ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍රය හදාරමින්,එහි ප්‍රථමස්ථානය ලබා ගත් නිසා 1976 වර්ෂයේ දී දීප්තිමත් ශිෂ්‍යයා ලෙස ශ්‍යාමරාජ ත්‍යාගය ද, ශ්‍රී ප්‍රඥනන්ද ත්‍යාගය, ස්ටබ්ස් ත්‍යාගය හා වෛද්‍යශේඛර ත්‍යාගය වැනි වටිනා තෑගි රැසක් හිමි කර ගැනීමට හැකි වූයේ ගුරු හාමුදුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ කැපවීමෙන් අධ්‍යයන කටයුතු සිදු කළ නිසයි. ඒ වගේම රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගැනීමටත් හැකි වුණා. 1981 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී විශේෂ උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය තුළින් පාලි විෂයය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්,ශාස්ත්‍රපති හා දර්ශනපති උපාධියත් ලබා ගැනීමට කටයුතු කළා.

වියත් පඬිරුවනක් වන ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය හා විදේශීය ධර්ම දූත සේවය පිළිබඳව පැහැදිලි කරනවා නම්,

1981 වර්ෂයේ දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවනේ ආචාර්යවරයකු,1982 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයකු,ශ්‍රී ජයවර්ධනපුර , කොළඹ හා කැලණිය යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළා. 1984 වර්ෂයේ දී ස්ථිර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු,1997 සිට පාලි අධ්‍යයනාංශාධිපතිවරයකු,2000 වර්ෂයේ සිට භාෂා අධ්‍යයන අංශ පීඨාධිපතිවරයකු,වශයෙන් කටයුතු කරමින් සිටිය දී එම වර්ෂයේ දී ම පාලි විෂය පිළිබඳ ව මහාචාර්යවරයකු වීමට හැකි වුණා. 2005 සිට 2008 දක්වා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යයන් වහන්සේ ලෙස කටයුතු කළ වකවානුව තුළ දී විශාල සේවයක් සිදුකිරීමට අවස්ථාව උදාවුණා. රජය අනුමතව එම විශ්ව විද්‍යාලයටම අනුබද්ධිතව ජර්මනිය,ජපානය,ඕස්ට්‍රේලියාව,හා සිංගප්පූරුව යන රටවල විදේශීය අනුබද්ධිත අධ්‍යාපන ආයතන බිහි කිරීමට කටයුතු කළා.

සිංගප්පූරුව විදේශීය අනුබද්ධිත ආයතනයෙහි විදුහල්පතිවරයකු වශයෙන් මේ වන විටත් කටයතු කරනු ලබනවා. 2009 වර්ෂයේ සිට මේ දක්වා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරමින් ශාස්ත්‍රීය හා පරිපාලන පිළිබඳ කමිටු රාශියක සාමාජිකත්වය දරමින් ශාස්ත්‍රීය සේවයක නිරතවෙන බවත් ප්‍රකාශ කළ යුතුයි.

2006 වර්ෂයේ සිට රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයකු ලෙස ද, 1984 සිට මේ දක්වා වසර 30 ක් විද්‍යෝදය පිරිවනේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් ද, නිරතවෙමින් 2010 වර්ෂයේ සිට කැලණිය විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨ මණ්ඩලයේ බාහිර සාමාජිකයකු ලෙස ද කටයුතු කරමින් සිටින බවත් සිහිපත් කළ යුතුයි.

2011 වර්ෂයේ දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන තුළින් විද්‍යෝදය ධර්ම ශාස්ත්‍ර විභූෂණ සම්මාන උපාධිය ද ලබාදීමට කටයුතු කළා.

ඒවගේම ධර්ම ශාස්ත්‍රීය සඟරා, සංස්කරණ ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපිලේඛන විශාල ප්‍රමාණයක් පළ කිරීමට කටයුතු කළා. ඒ අනුව පාලි අට්ඨකථාවන්හි පිළිබිඹුවන ව්‍යාකරණ සම්ප්‍රදාය, සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්ප වැනි පර්යේෂණ කෘති ද,සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණ පාලි භාෂාව(ඓතිහාසික අධ්‍යයන), budhist attitude towards aesthetics, grammatical tradition reflected in pali commentaries  ආදී කෘති ද, බාලාවතාරය, කච්චායනය,සාරස්වත ව්‍යාකරණ,රූපසිද්ධි,සහස්සවත්ථුප්පකරණය,සමන්තකූට වණ්ණනා,පාලි මහාබෝධිවංසය,පාලි දාඨාවංසය,පාලි ථූපවංසය,වුත්තමාලා, ආදී සංස්කරණ ග්‍රන්ථ ද,පාලි හා බෞද්ධ අධ්‍යයන(2006),පාලි හා බෞද්ධ අධ්‍යයන(2007),විද්‍යෝදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය(1984 සිට 2014 තෙක්), ප්‍රාචීන ශාස්ත්‍රීය සංග්‍රහය ආදී ශාස්ත්‍රීය සඟරා පළ කිරීමට කටයුතු කළා, වගේම ශාස්ත්‍රීය ලිපි විශාල ප්‍රමාණයක් පුවත්පත්වල පළකිරීමටත් අවස්ථාව ලැබුණ බව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. ඉන්දියාව,නේපාලය,තායිලන්තය,මියන්මාරය,

ඉන්දුනීසියාව,සිංගප්පූරුව,හොංකොං,කොරියාව,මැලේසියාව,ඕස්ට්‍රේලියාව,ජපානය,ජර්මනිය,ඩෙන්මාර්කය,ස්වීඩනය ආදී රටවල විදේශීය ධර්ම දුත සේවයෙහි යෙදීමටත් අවස්ථාව උදා වුණා.

විද්‍යෝදය පිරිවනේ ආචාර්යවරයකු, විශ්ව විද්‍යාල ගණනාවක කථිකාචාර්යවරයකු හා මහෝපාධ්‍යායන් වහන්සේ නමක් වශයෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ දී කාල කළමනාකරණය කරගත්තේ කෙසේද?

අදාළ දිනට කළ යුතු කටයුතු කොටස පෙර සූදානමක් වශයෙන් පෙර දින සටහන් කරගැනීමක් සිදුකරනවා. අලුයම අවදිවෙමින් රාත්‍රී 10 වන තෙක් එම දිනට අදාළ කාර්යභාරය නොපිරිහෙලා ඉටුකිරීමට වග බලා ගන්නවා.සාමණේර අවධියේ සිටම ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණ අවවාද අනුශාසනා පිළිගෙන නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීම පුරුද්දක්. කුඩා අවධියේ ලැබුණු පුහුණුව වර්තමාන පැවිදි ජීවිතයටත් විශාල ශක්තියක්.

හැදෙන වැඩෙන සාමණේර ස්වාමීන් වහන්සේලා ගේ පැවිදි දිවිය සාර්ථක කර ගැනීමට ක්‍රියා කළ යුත්තේ කුමන අයුරින්ද?

භික්ෂූන් වහන්සේ නමක් ත්‍රිපිටකය අටුවා සහිතව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කළ යුතුයි. අපි අධ්‍යාපන ලබන අවධියෙහිත් ඉතාම කැපවීමෙන් පාලි භාෂාව හොඳීන් අධ්‍යයනය කළා. ඒ අනුව ත්‍රිපිටක අටුවා කියවමින් සටහන් තබාගනිමින් කටයුතු කළා. නූතන භික්ෂූන් වහන්සේලාත් පාලි භාෂාව පිළිබඳ මූලික පොත් අධ්‍යයනය කරමින් පාලි වරනැගීම සිදුකරමින් හොඳීන් අධ්‍යයනය කළ යුතුයි.

ගුරු හාමුදුරුවරුන් ලබාදෙන අවවාද අනුශාසනා වගේම, ගුරු ආශිර්වාදය ලබාගෙන ගුරුවරුන්ට ගෞරවය දක්වමින් , උන්වහන්සේලා කෙරෙහි ප්‍රතිපත්ති හා වතාවත් සිදුකරමින් කටයුතු කරන තරමට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. වර්තමානය තුළ පවතින අන්තර්ජාලය , ජංගම දුරකතනය වැනි තාක්ෂණික මෙවලම් සඳහා වැඩිදුර භාවිතාවක් සිදුනොකොට නිතර පොත පත පරිශීලනය කිරීමට හුරුවෙමින් සිංහල, පාලි , සංස්කෘත භාෂාවන් අධ්‍යයනය කරමින් ශාසනික ප්‍රතිපදාවන් අනුගමනය කිරීම සිදුකළ යුතුයි.

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]