[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කුට්ටිකණ්ණ සෝණ මහ රහතන් වහන්සේ

යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කුට්ටිකණ්ණ සෝණ මහ රහතන් වහන්සේ

"දිනක් මොහු තම යහළු හේමවත යක්ෂයා හමුවීමට අහසින් ගමන් කළේ හිමාලය බලා ය. ඒ බුදුන් වහන්සේගේ අසිරිමත් පුවත දන්වා සිටීමට ය."

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතර බැබළෙන කුට්ටිකණ්ණ සෝණ මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ ලැබූ තනතුර විශිෂ්ට ය. ඒ යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලැබීම යි.

උන්වහන්සේ ගිහි කල කෝටියක් වටිනා කර්ණාභරණයන් පැළැඳී නිසා ‘කුට්ටිකණ්ණ සෝණ’ නාමයෙන් හැඳීන්වීම විශේෂිත ය.

මෙයින් කල්ප ලක්ෂයකට ප්‍රථම පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ සෝණ තෙරුන් වහන්සේ උපත ලැබුවේ එක්තරා කෙළඹි පුත්‍රයෙක් ලෙස ය. එහිදී ඔහුගේ සිත ඇදී ගියේ යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේ නමකට, අග්‍රස්ථානය ලබා දෙන අයුරු පිළිබඳවයි.

මේ අසිරියෙන් මහත් සේ පැහැදී ගිය මොහු අනාගත බුද්ධ ශාසනයක දී මෙවැනි තනතුරක් ලබා ගැනීමේ අදිටනින් සිදු කළ පින් දහම් අපමණ ය. පදුමුත්තර බුදුන් වහන්සේ සමඟින් මහ සඟරුවනට සතියක් මුළුල්ලේ ම මහ දන් පවත්වා, වැඳ නමස්කාර කළේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. සම්බුද්ධ ඥානයෙන් අනාගතය දෙස බැලූ පදුමුත්තර බුදුන් වහන්සේ, කෙළඹි පුත්‍රයාට විවරණ දී වදාළේ මොහුගේ අදහස මෙයින් කල්ප ලක්ෂයකට පසුව ඉටු වන බව ය.

මොහු සසර මඟ බොහෝ පින් දහම් සිදු කර අවසන් ආත්ම භාවයේ දී ගෞතම බුද්ධ ශාසනයේ දී උපත ලැබුවේ කුරඝර නුවර ය. මොහු ගේ මව කාළි උපාසිකාව ය. ඇය තම කුසෙහි දැරූ පින්වත් දරුවා වූයේ සෝණ ය. මොහු උපත ලැබීමට ආසන්නයේ සිටි ඇය විවේක සුවයෙන් කාලය ගත කළේ නිවසේ උඩු වහලේ ආලින්දයේ සිට ය. එහි දී ඇයගේ දෙසවන් යොමු වූ පින්බර පුවත කදිම ය.

ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව සතියකින් බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී දෙසූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් තුන් ලෝකයම සැනසී ගියේ අසිරිමත් ලෙස ය. පස්වග තවුසන්ට කළ මේ දේශනාවෙන් මඟ ඵල ලබා සාධුකාර නැඟූ දස දහසක් සක්වල දෙව් බඹුන් පිරිස අපමණ ය. එයට සවන් යොමා සිටි යක්ෂ සේනාධිපතියකු වන සාතාගිරි සෝවාන් ඵල ලැබීම ද අපූර්ව ය.

දිනක් මොහු තම යහළු හේමවත යක්ෂයාහමුවීමට අහසින් ගමන් කළේ හිමාලය බලා ය. ඒ බුදුන් වහන්සේගේ අසිරිමත් පුවත දන්වා සිටීමට ය. මෙහිදී හේමවත යක්ෂයා ද තම යහළු සාතාගිරි යක්ෂ සේනාධිපති හමුවීමට පැමිණෙමින් සිටියේ හිමාලයේ අකාලයේ සුපිපුණු පුෂ්පයන්ගේ කතා පුවත පවසන්නට ය. හිමාලයේ මෙලෙස අකාලයේ බොහෝ මල් පිපෙන්නට ඇත්තේ අසිරිමත් ප්‍රථම දම් දෙසුම නිසා විය හැකි ය.

මෙලෙස දෙදෙනාම එක මඟ එකට හමුවී කතා බස් කරන්ට වූයේ කාලි උපාසිකාවගේ නිවසට ඉහළින් ඇති ගුවන් තලයේ දී ය. මේ යක්ෂයන් දෙදෙනාගේ සුපින්බර කතාවට සවන් යොමා සිටි ඇය ද සදහම් සුවයෙන් සිත මෙහෙයවා පෙර පිනෙහි මහිමයෙන් සෝවාන් වීම විශේෂිත ය.

මෙලෙස සම්බුදු සසුනේ ප්‍රථම උපාසිකාව වීමට භාග්‍ය ලැබුවේ ද කාලි උපාසිකාව ය. ඇය එදිනම රාත්‍රියේඋපත ලබා දුන් පින්බර දරුවා වූයේ ද සෝණ ය.

දිනක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කුරඝර නගරයේ පර්වතයක වැඩ සිටියදී උන්වහන්සේට නිබඳව ම ඇප උපස්ථාන කළේ කාලි උපාසිකාව ය. ඇයත් සමඟ උපස්ථාන කරන සෝණ දරුවා ද කාශ්‍යප හිමියන්ගේ ඇසුරින් නිවී සැනසී ගියේ කාලයාගේ ඇවෑමෙනි.

නිසි වියට පැමිණි මොහුට කාශ්‍යප හිමියන්ගේ ඇසුර නිසා ඇතිවූයේ පැවිදි වීමේ අදහසකි. මේ අනුව කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙතින් පැවිදි වූ සෝණහිමියන්ට උපසම්පදාව ලැබුණේ තුන් අවුරුද්දකට පසුව ය. එයට හේතු වූයේ ඒ සඳහා අවශ්‍ය භික්ෂූන් වහන්සේ ප්‍රමාණය ඒ වන විට, සොයා ගැනීමට අපහසු වූ නිසා ය.

පසුව කමටහන් ලබා විදර්ශනා නුවණ ලැබූ සෝණ ස්වාමීන් වහන්සේ රහත් ව, තම ආචාර්යවරයා වන කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් සූත්‍ර නිපාතය ඉගෙන ගත්තේ කදිම ලෙස ය.

පසුව සෝණ මහ රහතන් වහන්සේ සූදානම් වූයේ සම්බුදු පියාණන් වහන්සේ හමුවීමට ය. උන්වහන්සේ තම මෑණියන් වහන්සේ පිදූ පළස පිළිගෙන ගම් නියම් ගම් වෙත පිළිවෙළින් වැඩම කළේ බුදුන් වහන්සේ වෙත ය.

මෙහි දී සෝණ රහතන් වහන්සේගේ අදහස දැන ගත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සඳහා සුදුසු ස්ථානයක් පිළියෙළ කර දුන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි කුටියේ දී ම ය. එහිදී බුදුන් වහන්සේ පසු දා අලුයම සෝණ ස්වාමීන් වහන්සේ අමතා වදාළේ ‘සෝණ, ඔබ දන්නා යම් ධර්මයක් වේ නම් වදාරන ලෙස ය.

උන්වහන්සේ එකම අකුරක්වත් නොවරදවා ‘සුත්ත නිපාතයෙහි අට්ඨක වග්ගයෙන්’ සදහම් දෙසුවේ සුමධුර ස්වරයෙනි. දේශනාව අවසානයේ දී ‘ඔබගේ වදන් වැල හරිම මිහිරියි, අර්ථය ඉතා පැහැදිලි යි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රසන්න භාවය ප්‍රකාශ කොට වදාළේ සාධුකාර නඟමිනි. සෝණ තෙරුන් වහන්සේ , තම ආචාර්ය මහා කච්චාන හිමියන් ඉල්ලූ වර පහ බුදුරදුන්ට ගෞරවයෙන් ඉදිරිපත් කර,වැඳ නමස්කාර කරමින් ඒ සඳහා අවසරය ලබා ගත් අයුරු ද අගනේ ය.

එය ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදු වීමක් ලෙස ද සඳහන් ය. තව ද සෝණ ස්වාමීන් වහන්සේ බුදු කුටියෙන් පිටත් වීමට පෙර තම මෑණියන් ලබා දුන් පාපිස්නාව බිම අතුරා ශ්‍රී පා පියුම් වැඳ නමස්කාර කළේ පැදකුණු කරමිනි.

පසුව කාශ්‍යප මහ රහතන් වහන්සේට සියලු තොරතුරු දැන්වූ සෝණ තෙරුන් වහන්සේ නැවත වැඩම කළේ තම මෑණියන්ට තොරතුරු දන්වා සිටීමට ය. එහිදී බුදුන් වහන්සේ හමුවේ දේශනා කළ ධර්මය ඒ අයුරින් ම සෝණ මහ රහතන් වහන්සේ නැවත දේශනා කළේ තම මෑණියන්ගේ ඉල්ලීම මත ය.

පසු කලෙක දී බුදුන් වහන්සේ, භික්ෂූන් වහන්සේ මධ්‍යයේ සෝණ මහ රහතන් වහන්සේට දුන් තනතුර විශිෂ්ට ය. ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේ අතුරින් සෝණ කුටිකණ්ණ භික්ෂූන් වහන්සේ අග්‍ර වන බව යි.

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]