[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිහිසුණු අපාය: අපායට යන මඟ වසා නිවන් මඟ විවර කර ගන්න

බිහිසුණු අපාය:

අපායට යන මඟ වසා නිවන් මඟ විවර කර ගන්න

සිතෙන් , කයෙන් , වචනයෙන් පාප කර්ම සිදු කළොත් ඒ සෑම දෙනාටම නරකාදී සතර අපායට යන්නට සිදු වෙනවා.

කාය කර්ම තුනක් තිබෙනවා. සතුන් මැරීම, සොරකම, කාම මිත්‍යාචාරය යි. වචීකර්ම සතරයි, එනම්, බොරුකීම, කේළාම් කීම, නපුරු වචන කීම සහ හිස් වචන කීම යි. මනෝ කර්ම තුන යි. එනම්, දැඩි ලෝභය, තරහව, මිසදිටුකම ආදිය යි. මේවායින් දරුණුම විපාක ලැබෙන්නේ මිසදිටුකමට යි .

කෙසේ වෙතත්, ලෝභ, ද්වේශ, මෝහ සිදුවන සියලුම පාපයන්ගෙන් වැළකීම ඔබ, අප සතු යුතුකමක්. සිත, කය, වචනය සංවර වෙනවිට දස කුසල කර්ම සංඛ්‍යාත ධර්ම වැඩෙනවා.

දස කුසල් හොඳීන් ම වැඩෙනවා. දස කුසල් වැඩීමෙන් තම තමාගේ ජීවිතවලට උදාර ගුණ සම්පත් දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සිතෙන්, කයෙන්, වචනයෙන් හොඳ දේ කළොත් හොඳ තැනක උපත ලබනවා. ඒ ගැන හොඳට වටහාගෙන තමාට අයිති කුසල කර්ම ටික එනම්, සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන්, කාමමිත්‍යාචාරයෙන්, බොරුවෙන්, කේළමෙන් වැළකීම, නපුරු වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, දැඩි ලෝභයෙන් , තරහවෙන් වැළකීම, සහ මිසදිටුකමෙන් වැළකීම කියන දස කුසල ධර්මයෝ දියුණු කළොත් සුගතිගාමී විය හැකි යි.

අපායේ ස්වභාවය නම් නිබඳව ම දැවෙනවා. තැවෙනවා. කායික , මානසික දුක් සීමාවක් නැහැ. අඬනවා, වැළපෙනවා, කෑ ගසනවා, පැන යන්න හදනවා,කෙතරම් කෑගසුවත්, විළාප නැඟුවත් , පැනලා යන්න හැදුවත් කරන්න දෙයක් නැහැ. පාප කර්මයේ විපාක තිබෙන තුරා අපායේ සිටිය යුතු යි. ඊළඟට යා යුත්තේ ඊළඟට පව් කළ අපායන් වෙත යි. එය කර්මයෙන් ම යැවෙනවා.

යම පල්ලන් විසින් දරුණු දුක් දෙනවා. ඒ නිසා කවුරුත් හොඳීන් හැදෙන්න මහන්සි ගන්න. පංචශීලය හොඳීන් රැක ගන්න.

සූදුව, සුරාව , දුරාචාරයෙන් වළකින්න. මව්පියන්ට හොඳීන් සලකන්න. දාන , ශීල, භාවනා පින් කර ගන්න. උදේ සවස හොඳීන් බුදුන් වැඳ ගන්න. බණ ටිකක් අසන්න , භාවනාවක් කර ගන්න. කරුණාව , මෛත්‍රිය හොඳීන් දියුණු කර ගන්න, සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්න. එවිට නරකාදියට නොයා සුගතියක වාසයෙන් නිවන් පසක් කරන්න පුළුවන්කම තියෙනවා.

අපාය එකසිය තිස් හයක් තිබෙනවා. කර්මානුරූපී ව ඒවායේ අපාගාමී වෙනවා. අද සඳහන් කරන්නේ අනූවන අපාය වන පසුතග්ගී අපාය යි. මෙහි පත්වන්නේ මිනිස් ලොව සිටියදී මත් වතුර පානය කර, මත් ද්‍රව්‍ය , මත්කුඩු භාවිත කරන, තමාගේ නිවසටත්, අඹු දරුවන්ටත්, මව් පියන්ටත්, ගමටත් අවාසනාවන්ත ලෙස හැසිරුණු පුද්ගලයන් ය. ඒ තැනැත්තා මෙලොව සිටියදීත් බේබද්දෙක්. කුඩු කාරයෙක් යනුවෙන් පටබැඳී නාමයන් තිබෙනවා.

ඇතැමුන් කතා කරන්නේ ‘අසවල් බේබද්දා, අසවල් කුඩු කාරයා’ යනුවෙන්. ඒ නිසා කිසිවකු සුරාව, මත් ද්‍රව්‍ය, මත්කුඩු වලට ඇබ්බැහි වන්නට එපා. දරුවන් ද රැකගෙන එහි ආදීනව පෙන්වා දෙන්න. මෙවැන්නෝ පසුතග්ගී අපායට පත් වුණවිට ලෝදිය, ගිනියම් වතුර පොවනවා, ඉවසන්න පුළුවන්ද? බැහැ, එසේම ලෝහ කටාරමක උතුරන වතුර හැලියක පැහෙනවා.

යම් ලෙසකින් මනු ලොවට මේ අය පැමිණියහොත් උමතු පුද්ගලයන් වෙනවා. අවාසනාවන්ත ජීවිතයක්. දුගී දුප්පත් අසරණ ජීවිතයක්.

මේවා හො½දින් ඉගෙන කියාගෙන කවුරුත් මේ කියන පාප කර්මයන්ගෙන් මිදීමට අධිෂ්ඨාන තබා ගන්න.

අනූඑක්වෙනි අපාය වෙරණිතග්ගී අපාය යි. මෙහි උපත ලබන්නේ සූදු කාරයෝ ය. එලෙසම සූදුවට අනුබල දෙන්නන් ය. අවමංගල්‍ය අවස්ථාවන්හි දී මෙවැනි දේ බොහෝ සිදු වෙනවා. මෘත ශරීරයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි නොකර, සතිපට්ඨානය නොකියා සූදුව සහ සුරාවේ නියැළෙනවා. එවිට මෘත ශරීරයේ අයිති කරුවටත්, සූදු කාරයන්ටත් මරණින් පසු යහපතක් වෙයිද? නැහැ. එය භයානක තත්ත්වයක්.

ඒ නිසා සෑම දෙනාම සූදුවෙන් වැළකී, ගේ දොර, දරු මල්ලන් හදාගෙන, හොඳීන් කා බී ජීවත් විය යුත්තේ ධාර්මික ලෙස යි.

බුදුන් වහන්සේගේ කාලයේත් අති විශාල ධනවතෙක් සිටියා. මොහුට කහවණු කෝටි එකසිය හැටක් අයිති යි. හරකබාන, ගොවිතැන, කුඹුරු යායවල් සීමාවක් නැහැ. මේ අය කළේ සූදුව, සුරාව සහ දුරාචාරය යි. මේ අයගේ මහත් ධනස්ඛන්ධය සොර සතුරන් පැහැර ගත්තා. විනාශ වුණා. සූදුවට වැය වුණා.

අවසානයේ ගේ දොරත් උකස් තබා හිඟමනේ ගියා. කිසිවෙක් ආහාර පාන දුන්නේ නැහැ.මොකද? සිටු මැඳුරෙහි වාසය කරද්දී ,තමන්ට ධනය තිබියදී කිසිවකුට කිසිවක් දුන්නේ නැහැ. දැන් විපාකය දෙස බලන්න.

බුදුන් වහන්සේ මහ මඟ වඩිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මෙසේ විමසුවා.

ආනන්දය, මේ දෙපළ අඳුරනවාද යනුවෙන්?

මොහු මේ ප්‍රදේශයේ සිටි ලොකුම ධනවතා යනුවෙන් වදාළා. සූදුව, සුරාව, දුරාචාරය නිසා මහා ධනස්ඛන්ධය විනාශ ව අද සිඟමනේ යෙදෙනවා. මරණින් පසු ද වෙරණිතග්ගී අපායට වැටෙනවා.

මෙහි යමපල්ලන් දෙන දඬුවම් සීමාවක් නැහැ.

අනූදෙවැනි අපාය සතග්ගී නරකය යි. මෙහි අපායගාමී වන්නේ පැවිදිව සිටියදී පැවිදි ගරුත්වය විනාශ කර දමන්නන් ය. බුද්ධ නීතීන් කඩා බිඳ දැමූවන් ය.

ගිහිව සිටියදී අහංකාරකමෙන් අනුන්ගේ උසස්කම් පහත් සේ සලකනවා. බලන්න, එවිට සිවුරක් දරාගෙන බුදු දහමට අනුව කටයුතු නොකර වාසයෙන් අපායගාමී වෙනවා. ගිහිව සිටින්නන් උඩඟුකම නිසා උසස් කෙනෙක්, ධනවත් කෙනෙක්, බලවත් කෙනෙක් වශයෙන් අනුන් පහත් කොට සැලකුවා. කෙසේද බලන්න විපාකය? දරුණු දඬුවම ලබන සතග්ගී නරකයේ උපත ලබනවා.

අහංකාරකම, උඩඟුකම නිසා එහි උපත ලබා පසුව මනු ලොව උපත ලැබුවොත්, සුනඛයන්, වඳුරන් වෙනවා. ඒ නිසා කවුරුත් මාන්නය ඇති කරගන්න එපා. පින් දහම් හොඳීන් කරගෙන ජීවත් වෙන්න.

අද ජන සමාජයේ මෙවැනි පාපකාරී පුද්ගලයන් සිටිනවා. අනුන් පහත් කොට සලකනවා. තුනුරුවන්ට නිගරු කරනවා. ඒ අයට කිසි දිනක යහපතක් දකින්න බැහැ. අපායගාමී වුවහොත් දරුණු දුක් දෙනවා. කෑ කෝ ගැසුවත් , විලාප නැඟුවක් වැඩක් වන්නේ නැහැ. දිගු කලක් අපායේ දුක් විඳීන්න වෙනවා. ඒ නිසා පින්වතුනි, අපායේ තතු ඉගෙන කියාගෙන අහංකාරකම්, උඩඟුකම් ඉවතලා හැකිතාක් දාන, ශීල , භාවනා වඩා සුගතිගාමී වන්න වෙහෙස මහන්සි වන්න.

එවිට බුද්ධාදී උතුමන්ටත් උපස්ථාන කර , සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ලොවුතුරා බුදුවරු පහළව මනුලොව, දෙව්ලොව, බඹලොව ගැන කියනවා. අපාය ගැනත් කියනවා. අපායට යන මඟ , මනුලොවට යන මඟ , දෙව්ලොවට යන මඟ, බඹලොවට යන මඟ තියෙනවා.

අරූපාවචර බඹතලයට යන මඟ වෙනම තියෙනවා. ඒ සැමටම වඩා වටිනා උත්තරීතර මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම් නිවන් මඟ යි. එහි ගමන් ගන්නන් බුදු, පසේ බුදු, මහ රහත් තනතුරට පත් වුණා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, තත්වයන්ට පත් වුණා.

ඒ නිසා කවුරුත් දනට පිනට විරුද්ධ නොවී , පාපකාරී පුද්ගලයන් ආශ්‍රය නොකර හැකිතාක් පාපයෙන් වළකින්න. පන්සිල් රැකගන්න, ස්වාමියාට, ස්වාමි දියණියට සලකන්න, දරුවන්ට කරුණාව, මෛත්‍රියෙන් අමතා මව්පියන්ට හොඳීන් සලකන්න. උදේ සවස බුදුන් නැමැඳ බණ භාවනා කර ගන්න. එවිට කිසිවකින් අඩු පාඩුවක් වන්නේ නැහැ. සැප සම්පත් වින්ඳනය කර භයානක සංසාර සාගරයෙන් එතෙරව නිවන් පසක් කළ හැකි යි.

එහෙමනම්, පින්වතුනි, මහා දුක් කන්දරාවක් ඇති අපාය බව වටහාගෙන , සැප කන්දරාවක් ඇති සුගතියක් බව වටහාගෙන , අපායගාමී දොරටු වසා දමා දෙව්ලොවට, බඹ ලොවට, නිවනට යන මග විවෘත කරගෙන අපමණ පින් දහම් කරගත්තොත්, තමන්ගේ ජීවිතය භාග්‍යවන්ත යි.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]