[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

සැරසෙමු

දුබලය පසිඳුරන් සෙම් සොටු වැගිරෙනවා
මරණය නියත බව ළඟ ළග වැටහෙනවා
අද හෙට වුව ද පිළිගන්නට සිදු වෙනවා
කළ කම් අනුව හෙට දුක සැප අත් වෙනවා

****

තක්සලාව

ගගන තලේ
හිරු රැස්
බඹරුන්
මල් වදුලේ
දරුවන්
තක්සලාවේ
කරයි අකුරු
සතුටින් පිරෙයි
නෙතට රසඳුනක්
මැවේ

****

කඨිනය

සම්බුදු සසුන මහ පින්කම් අට අතර
මුල්තැන ගනී පෙන්වා සසරින් එතර
කඨිනය පිදීමේ දායක හැම අතර
අනුසස් ගැන කතා පැතිරී යයි නිතර

තුන් සිවුරෙන් එකකි, කඨිනය ලෙස දෙන්නේ
චීවර මහේ දී සිදු කළ යුතු වන්නේ
එකම තැනක එකමයි කළ හැකි වන්නේ
මේ කාරියෙන් හැම දෙන පින් ලැබ ගන්නේ

****

නිවන සොයා

උපතෙහි මරණයෙහි ඇති මේ රහස සොයා
බෝසත් කුමරු කටු සසරෙහි ඇවිද ගියා
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය පෙරුම් පුරා
සම්බුදු පදවි ලැබ ගත්තා නිවන සොයා

****

ආමිස පූජා

ලොවට උතුම් බුදු රුවනක්
පහළ වුණේ කෙලෙස් නසා
සියලු පාප දුරැර සමිඳු
බුදු වූයේ පෙරුම් පුරා

රහසින් වත් පවිටු කමක්
නොකළ සේක බුදු සමිඳා
බුදු සමිඳුගෙ ගුණ සිහිකොට
පුද දෙමි ආමිස පූජා

****

බුදුහිමි දුටිමි

අනුරපුරේ මහමෙව්නා උයන මැද
මෙත් කරුණා දයා මුදිතා ගුණය ලද
සමවත් පිළිම රජිදා නෙත ගැටුණු සඳ
මම බුදු සමිදු දුටුවේ යයි කියයි හද

සම්බුදු හිමි ගෙ ගුණ කඳ එහි ඔප රන්දා
විස්කම් කලාකරුවා ජය දද බැන්දා
නව සියවරක් දැක ගන්නට සිත රන්දා
කවි මල් පොකුර තබමින් සිරිපද වැන්දා

****

ආදර අම්මා

දිවා රෑ නිදි මරා මා නැළවූ අම්මා
කැත කුණු අත ගගා දුක් විඳ හැදු අම්මා
නිවන් දකීවා මා ආදර අම්මා
මානෙල් කුමාරි අබේකෝන්

****

මුගලන් තෙරණුවෝ

හැම මොහොතකම අකුසල් කර පවෙහි ගැලී
නරකාදියෙහි ගොස් ගිනි දැල් අතර වෙළී
මිනිසුන් එදා කළ පව් සිහි කරන යළි
මුගලන් හිමිට පැවසුවෙ මතකයෙන් යළි

හැකිලූ අතක් දිග හරිනා වේගයෙනි
දෙව්ලොව විමන් අතරේ යළි පහළ වුණී
පින් කළ පිනැත්තන් කළ පින් විමසුවෙනී
මුගලන් තෙරණුවෝ සතු ඍද්ධියෙ බලෙන්

****

අමා නිවන

රන්වැලි මහ සෑ මළුවෙදි වැඳගෙන
ජයසිරි මහ බෝ මළුවෙහි හිඳගෙන
සිරිපද මහ මළුවේ දී සැම දෙන
පසක් කර ගමු භවයෙහි දුක් කඳ

සිතේ ගලා ගිය කෙලෙස් පිරි ගඟ
දෙගොඩ තලාවිත් සසරෙ බොහෝ දුර
අරි අට මඟ දැන මේ දුක් සමුදුර
තරණය කර යමු අමා නිවන් පුර

අමා දහම් ගඟ ගලා ගලා යයි
සොළොස් බැම් බිඳ ඉවුරු තලාවේ
බුදුන්, දහම්, සඟ තෙරුවන් ගුණ දැන
උවැසි, උවැසියන් සාධු නාද දෙයි

****

අවසන් ගමන

පුරුදු පාරෙන් යනෙන මුත් අද
පුරුදු ගමනක් නම් නොවේ
ජීවිතේ මම කිසිම දිනයක
මගේ බර දුන්නැත පුතේ
වාරු නැතුවැති නුඹේ දෑතට
මාව තබපන් බිම පුතේ
සොහොන් පිටියේ බොහෝ අය ඇත
මාව පිළිගන්නට පුතේ
ජීවිතේ හැම අනියතයි පුත
කදුළු පිස දමපන් නෙතේ

****

දිගු නින්දක්

සිහින දැක දැක
සතුටු වෙන
අවදි වෙන්නට
නොසිතන
දිගු නින්දක්

****

අනිච්චං දුක්ඛං

සිතේ සතුට මැකී ගොසින්
කළු වලාව නැගුණ දිනෙක
වත හසරැලි ඒ වලාව
තුරුලට ගොස් මැකුන කලෙක
අඬා වැටී තැවෙනවාද?
අනිච්චං දුක්ඛං අනත්තං

****

පින්බල මහිමය

සෙවණැලි මත බිම ඇඳුන
මුමුනති දනන් බුදු ගුණ බිම ඇණ දෙදණ
වස්සානයේ පින්බල මහිමය හැඳින
තෙරුවන් සරණ ලැබ යමු මඟ සිත නිවන

පන්සල වෙහෙර දාගැබ වට ඇමැද බැතින්
වස් කල කමටහන් ලැබ වස් තෙරණු වෙතින්
නෙත්වල කදුළු පිස සම්බුදු දකින සිතින්
තුන්කල දුටුව සම්බුදු හිමි පුදමු මෙතින්

****

මරණය

ඇති වීමම තමයි නැති වීමට කරුණ
විමසති මේ කරුණු සෑම දෙන ගුණ පුරණ
අනියත වීය පැවතුණ හැම දේ පොරණ
උරුමකම තමා ලෝ සතුනට මරණ

****

ජය මඟ

සම්බුදු රජිඳු
රුදු මරු පැරදු
දෙව්දත් තෙරිදු
නිරයේ දැනුදු

සුදොවුන්රජ පුතු
මායා මව් පුතු
ලොවට දෙසූ තතු
අවබෝධයෙන් නතු

මාගේ දූ පුතු
එමඟ යා යුතු
අරිඅටමඟ ගතු
ඔබට ජයම සතු

****

නව එළිය

ගැමුණු රජුන් තැනවූ රන් මැළි සෑයේ
වටිනාකමින් තුන් ලොව මුල් තැන ආයේ
නව චූඩා මැණික කොත් අග පැළඳූ යේ
මුළු විශ්වය ම බුදු බලයෙන් ඔප වූයේ

බොදු මඟ යනෙන ජනතාවගෙ හද පතුලේ
දැල්වුණ එළිය මුළු සිරිලක එකලු කළේ
රන්මැලි සෑ රජුගෙ සම්බුදු මහිමි බලේ
ඇති තෙක් සිහල වැසියන් ලොව උතුම් කුලේ

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]