[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරුවානාපොත් වහන්සේ

පිරුවානා පොත් වහන්සේ

" අවිදු අඳුර දුරලා සිවුසස් දහම් අවබෝධ කළ නිසා අප තථාගතයන් වහන්සේට ‘නමෝ’ යැයි කියා වන්දනා කරන ලද්දේ සාතාගිර නමැති යක්ෂ සෙන්පතියා විසිනි"

" පළමුව සධාතුක කරඬුව ද, දෙවනුව පිරුවානා පොත් වහන්සේ ද, තෙවනුව මහා සංඝරත්නය ද වැඩමවනුයේ පුරාණ චාරිත්‍රයක් අනුව ය"

‘චතුභාණවාර පාළි’ නාමයෙන් හඳුන්වා ඇති ග්‍රන්ථය ලංකාවේ දී ‘පිරුවානා පොත් වහන්සේ’ නාමයෙන් සම්භාවනාවට පත් විය. පෙර මහා විහාරීය මහ තෙරුන් වහන්සේලා විසින් සත්වයන්ට අනුග්‍රහ පිණිස (සත්තානං අනුග්ගහාය), භය නැසීම පිණිස (භයානං පටිඝාතාය), ලොමු ඩැහැ ගැනීම් ප්‍රහානය කරනු පිණිස (ලෝමහංසානං පහාණාය), නොයෙක් නොයෙක් රෝග, ව්‍යාධි ආදී ව්‍යසන වනසනු පිණිස (නානාව්‍යාධීනං විනාසාය), අප තථාගතයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරන ලද නොයෙකුත් සූත්‍රයන් අතුරින් සත්වයන් භයාදී නේක විපත්තිවලින් හාත්පසින් ම ආරක්ෂා කරන බැවින් ‘පරිත්ත’ නාමයෙන් සුවිශේෂී ව නම් කරන ලද සූත්‍ර ඒ ඒ නිකායයෙන් උපුටාගෙන මෙම ‘චතුභාණවාර පාළි’ය සකස් කරන ලද බව පිළිගත් මතයයි.

ඇතැමෙක් මෙම ‘චතුභාණවාර පාළිය’ අප සිංහල දීපප්‍රසාදක අතිපූජනීය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හෝ මහා අටුවාචාර්ය භදන්ත බුද්ධඝෝෂාචාර්යපාදයන් විසින් ලංකාවට ගෙනා බව පවසති. කවරෙක් කවදා කොතැනදී ‘චතුභාණවාර පාළි’ය සංග්‍රහ කරන ලද දැයි ස්ථීරව කිව නොහැක. ‘චතුභාණවාර පාළි අට්ඨකථාව’ කලිකාල සාහිත්‍ය පණ්ඩිත, පරාක්‍රමබාහු රජදවස අතිපූජ්‍ය අනෝමදස්සි සංඝරාජයන් වහන්සේගේ අනුමැතියෙන් අති පූජනීය ආනන්ද වනරතන මහ තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ බහුශ්‍රැත මහ තෙරනමක් විසින් ලියන ලදී. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස අති ගෞරවාර්හ අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමිපාණන් වහන්සේ විසින් චතුභාණවාර පාළියට සිංහල ව්‍යාඛ්‍යානයක් සපයන ලදී.

‘අට්ඨක්ඛරා ඒ්කපදං
ඒ්කා ගාථා චතුප්පදා
ගාථා චේකා මතෝ ග‌න්‌ථෝ
ගන්ථෝ බත්තිංසතක්ඛරෝ’

අකුරු අටක් එක පදයකි. (පාදයකි.) පාද සතරක් එක ගාථාවකි. එක ගාථාවක් එක් ග්‍රන්ථයකි. (ගාථාවක් යනු ග්‍රන්ථයකි.) එවිට එක් ග්‍රන්ථයක අකුරු තිස්දෙකකි.

‘බත්තිංසක්ඛර ගන්ථානං
පඤ්ඤාසං ද්විසතං පන
භාණවාරෝ මතෝ එකෝ
අට්ඨක්ඛර සහස්සකෝ’ තී.

(චතුභාණවාර පාළි-හේවාවි.-1956-2 පිටුව)

අකුරු දෙතිස බැගින් වූ ගාථා දෙසීය පනහක් එක් බණවරකි. එවිට එක් බණවරකට අකුරු අටදාහකි. එවැනි අක්ෂර අටදාහ (8,000) බැගින් වූ බණවර සතරක් චතුභාණවාර පාළියේ ඇත. පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුළත් බණවර සතරෙහි අක්ෂර තිස් දෙදාහක් (32,000) ඇත.

අප තථාගතයන් වහන්සේගේ සිරිපා පහස තෙවරක් ලද උතුම් ශ්‍රී ලංකාද්වීපයේ ‘වහන්සේ’ නාමයෙන් ගරු ප්‍රසාදයට පත් ‌‌‌ගෞරවණීය ග්‍රන්ථ දෙකකි. ජාතක පොත් වහන්සේ හා පිරුවානා පොත් වහන්සේ ය.

සිරිලක් වැසියන්ට සමාජ අත්දැකීම් ලබාදී, ඔවුන්ගේ චරිත සංවර්ධනය සිදු කරවන ලද්දේ ජාතක පොතෙනි. රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂාදියෙන් ඔවුන්ට සුරක්ෂිත රැකවරණය හාත්පසින් ම සලසා දෙන ලද්දේ පිරුවානා පොත් වහන්සේ මගිනි. පිරිත් පොත තනිවම වඩමවනු නොලබයි. පිරිත් පොත වැඩමවීමට පෙර සධාතුක කරඩුන් වහන්සේ වැඩම කරවීම සිංහල බෞද්ධයන්ගේ පුරාණ චාරිත්‍රයයි. පළමුව සධාතුක කරඬුව ද, දෙවනුව පිරුවානා පොත් වහන්සේ ද, තෙවනුව මහා සංඝරත්නය ද වැඩමවනුයේ පුදුමාකාර ගෞරවයකිනි. අතිශය ශ්‍රද්ධාවකිනි.

පිරුවානා පොත් වහන්සේ හෙවත් චතුභාණවාර පාළිය රචනා වී ඇත්තේ පාලි භාෂාවෙනි. එහි ඇතුළත් පාලි පාඨයන්ගේ අර්ථ දැන ගැනීම සිවුවනක් පිරිසට ම අත්‍යවශ්‍යවූවකි. එනිසා පිරුවානා පොත් වහන්සේ තුළ අන්තර්ගත පාලි පාඨයන්ගේ අර්ථ අපගේ ශක්ති ප්‍රමාණයෙන් විමසා බැලීම කාලෝචිත ය.

පිරිත් පොතේ ඇතුළත් පළමු බණවරෙහි ධර්ම කොට්ඨාස දහසයකි.

ඒ්වායින් සරණාගමන, දසසික්ඛාපද, සාමණේර පඤ්හ, ද්වත්තිංසාකාර, මංගල සුත්ත, රතන සුත්ත, කරණීයමෙත්ත සුත්ත යන ධර්ම කොටස් හත ඛුද්දක නිකායෙන් උපුටාගෙන ඇත. පච්චවෙක්ඛණා, දසධම්ම සුත්ත, ඛන්ධ පරිත්ත, මෙත්තානිසංස සුත්ත යන ධර්ම කොටස් හතර අංගුත්තර නිකායෙන් උපුටා ගන්නා ලදී. මිත්තානිසංස සූත්‍රය, මෝර පරිත්තය යන සූත්‍ර දෙක ජාතක පාළියෙන් ගන්නා ලදී. සංයුත්ත නිකායෙන් ගත් සූත්‍ර වශයෙන් චන්ද පරිත්ත, සුරිය පරිත්ත, ධජග්ග පරිත්ත යන සූත්‍ර තුන සැලකේ.

දෙවැනි බණවරෙහි ධර්ම කොට්ඨාස පහකි.

ඒ්වායින් මහාකස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍රය, මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ඣංග සූත්‍රය, මහා චුන්දත්ථෙර බොජ්ඣංග සූත්‍රය යන සූත්‍ර තුන සංයුත්ත නිකායෙනුත්, ගිරිමානන්ද සූත්‍රය අංගුත්තර නිකායෙනුත්, ඉසිගිලි සූත්‍රය මජ්ඣිම නිකායෙනුත් උපුටාගන්නා ලදී.

ඉන් අනතුරුව දැක්වෙනුයේ සූත්‍ර හතකි. ඉන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය සංයුත්ත නිකායෙනුත්, මහාසමය සූත්‍රය දීඝ කායෙනුත්, පරාභව සුත්ත, ආලවක සුත්ත, වසල සුත්ත, කසීභාරද්වාජ සුත්ත යන සූත්‍ර හතර ඛුද්දක නිකායෙනුත් අවසානයට ඇති සච්චවිභංග සූත්‍රය මජ්ඣිම නිකායෙනුත් උපුටාගෙන ඇත.

තෙවැනි බණවරෙහි හා සිවුවැනි බණවරෙහි ඇතුළත් ආටානාටිය සූත්‍ර දෙක දීඝ නිකායෙන් ගන්නා ලද ධර්ම කොට්ඨාසයන් ය. ඒ් අනුව අප නිරන්තරයෙන් භාවිත කරන පිරුවානා පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර ධර්ම කොට්ඨාස සියල්ල තිහකි. දැන් අප ඒ කොටස් එකිනෙකගෙන අරුත් විමසා බලමු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස.

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා

සම්බුදුරජාණන් වහන්සේට

නමස්කාර වේවා.

පළමුව දැක්වෙනුයේ නමස්කාරය යි. එහි ‘අවිදු අඳුර දුරලා සිවුසස් දහම් (චතුරාර්ය සත්‍ය ධර්මය) අවබෝධ කළ නිසා’ අප තථාගතයන් වහන්සේට ‘නමෝ’ යැයි කියා වන්දනා කරන ලද්දේ සාතාගිර නැමති යක්ෂ සෙන්පතියා විසිනි. ‘තෘෂ්ණා මානාදී සියලු ම කෙලෙස් ධර්මයන් මුලිනුපුටා දැමූ නිසා’ අප අමාමෑණියන් වහන්සේට ‘තස්ස’ යැයි කියා නමස්කාර කරන ලද්දේ වේපචිත්ති අසුර සෙන්පතියා විසිනි. ‘සියලු රාගාදී කෙලෙස් ධර්මයන් නසා භග ධර්මයන්ගෙන් පිරිපුන් වූ නිසා’ අප භාග්‍යවතුන් වහන්සේට ‘භගවතෝ’ යැයි කියා නමස්කාර කරන ලද්දේ සිවුවරම් රජදරුවන් විසිනි. ‘දෙවි මිනිසුන්ගේ සිවුපස ලාභය ලැබීමට සුදුසු එකම අසහාය උතුමන් වහන්සේ වන නිසා’ තථාගතයන් වහන්සේට ‘අරහතෝ’ යැයි කියා නමස්කාර කරන ලද්දේ දෙ දෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා විසිනි. ‘සිවුසස් දහම හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ තනිව ම අව‌බෝධ කරගත් නිසා’ බුදුපියාණන් වහන්සේට ‘සම්මා සම්බුද්ධස්ස’ යැයි කියා නමස්කාර කරන ලද්දේ සහම්පතී මහා බ්‍රහ්මයා විසිනි.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]