[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙත් සිතින් පින් දෙමි

දුක්බර දිවිය ගෙවනා මා මෙහෙණියකි
තෙවලා දහම් පොත් නැති මේ පින්බිමකි
සතර පෝයට ම බුදුසරණ ලැබෙන්නකි
නිවන් දකින්නට මෙය මා හැඟි මිණකී

ලොවට එළිය ගෙන දෙන්නේ හිරු මඬල යි
දහමින් දහම ගෙන එන්නේ බුදුසරණ යි
නැණ මල් පූදින්නේ ගත් මෙහෙවර අගය යි
පින් දෙමි මෙත් සිතින් බුදුසරණට බුදුසරණ යි

****

දරු සෙනෙහස

මල් පූදින උදය හරි ලස්සන වේ ලූ
ඒ මල් පරදවා අම්මා පිබිදේ ලූ
දුක් ගිනි හදෙහි කොනකින් සඟවනවා ලූ
දරු සෙනෙහසට දුක අමතක වෙනවා ලූ

ඔබෙ ගුණ මෙපමණ යි මට නැහැ කිව හැක්කේ
ඒ ගුණ සුවඳ සැමදා මතකේ ඇත්තේ
මතු බුදු වූ දිනෙක ඔබ මේ සංසාරේ
ඉන්නම් ඔබෙ දෙපා මුල මා අද වාගේ

****

මෙවර ජයග්‍රාහී කවිය

මරණය අබියස

ජීවිත අනියතය මරණය නියතම ය
ඒ බුදු වදන අනුව මරණය අත ළඟ ය
සියලුම බැඳීම් අතැර සිත තුළ දම් රස ය
රැඳුණොත් නිසැකව ම දෙයි සැනසිලි සුව ය

නවාතැන් පළකි ජීවන බව කතර
අතහැර දමා යන්න ට සිදු වෙයි විසිර
ඉසි කෝ මද මාන තණ්හා කර බැහැර
පැතුමක් පතමි ඉක්මනට ම කෙටි සසර

****

මහා කස්සප වෙහෙර

දකුණු ලකේ බෙන්තර පුරයේ තිබෙන
කස්සප හිමි රහත් ධාතුන් වැඩ හිඳින
තුන් ලෝකයේ එක ස්ථානයක් වන
මහා වෙහෙර අපි නමඳිමු බැති සිතින

****

සිතක මහිම

බුදු මඟට පිළිපන්නෝ
සිත දමනය කර ගන්නෝ
සමත විදසුන් වඩන්නෝ
නිවන් සැප ලබන්නෝ

****

පෙර දිනයක

වාරුව නැතිවෙලා හයිහති ගිලිහිලා ගියත්
දුක් කඳ ගලා පියමන් යුග බැඳුණු වෙලේ
හද විල ගෙපැලේ ගොරහැඬි කටු කොළ අතරේ
දුන් දා පියුම් නැණ මල් දරු කළ තුටිනේ

පාසල් නිමාවී තිබුණ ද සොඳ ඇදුරිඳුනේ
දුටුවිට මඟ තොටක පාරක දණ බිම තිව්වේ
වරදට දඬුවමක් ලෙස නොව පිය සෙනෙහසිනේ
ගුරු පිය මුතණුවනි එයමය නුඹහට නිවනේ

****

රාහුල මාතා දැක්ම

පෙරුම් පුරා ආවෙමි මුළු සසර පුරා
ලෝ සත දනන් දුක් ගින්නෙන් මුදන තුරා
සන්තානයේ දැල්වුණි මෙත් සිසිල පෙරා
හිමිසඳු බුදු වුණා මගෙ නෙත් තිබෙන තුරා

****

මුනිඳු සුගත බස

අසිරිමත් දෙයකි මිනිසත් බව ලැබුම
ලෝ සතුනට සැපකි බුදුවරු බිහි වීම
වේ මය දුලබ හිමි දෙසු අම දම් ඇසුම
එලෙසම අසිරියකි කළ ගුණ සැලකීම

****

ඇසළ සඳ

වෙසක් පොසොන් සඳ බැස ගොස් ඇසළ සඳ
පායාලා නිල් ගුවනේ දිලෙන විට
මුළු ලොව සිසාරා රැස් කඳ බෙදන විට
සිහිවේ උතුම් බුදු හිමිගේ නිමල ගුණ

බෝසත් කුමරු මහමායා මවු කුසෙහී
ඇසළ පෝයදා ගැබ්ගත් සිරි අසිරී
අබිනික්මන් කළ රෑ ගුවනේ දිලිහී
ඇසළ සඳේ ඔබ සිටියා එළිය දිදී

සම්බුදු පදවි ලැබ කරමින් කෙලෙස් දුරු
ඉසිපතනයේ මිගදායට වැඩම කෙරු
පස්වග තවුස් වෙත දම්දක් දෙසූ බුදු
හිමි දුටු ඇසළ සඳ අදටත් නුඹෙහි ගුරු

****

ගෞතම බුදු සසුන

බව කතර සැඬ සුළඟ
හමන තැන
සිසිලස ද සැනසුම ද රැඳි
එකම තැන
කඳුළක දුකක සෝ සුසුමන්
නොමැති තැන
සවනත වැකුණු පමණින් තුටු
සිත් නිවන
ගොයුම් බුදු සසුන භව දුක
නිවන තැන

****

ඇයි?

මල් පිපුණේ
ඇයි?
පරවෙන්න නේද?
ඔබ මා ඉපදුණේ
ඇයි?
මිය යන්න නේද?
මේ ටික
නොතේරෙන්නේ
ඇයි?
අවිද්‍යාව නේද?

****

නිවුණු සිත

රාග සිතිවිලි සසල වූ විට
වේදනා දුක් දෙයි කසළ පව
කුසලයේ නිකසල පියුම් කෙම්
නිසල සිත් විල යැ’යි පිපී ඇත
සවන් සැනසෙයි නුවන් දිදුලයි
මනස් විල පිවිතුරු ව සැරසෙයි
නිවුණු සිත මා නිවා සනසයි

****

වස්සානය

නිකිණි සඳ මෝරමින් අහස් ගැබ දිලෙන වා
අහස් කුස දිදුලමින් තරු රටා මැවෙන වා
වස් කාලේ සමරන්න පින් බිම් ද සැරසෙන වා
ෂඩ් වර්ණ කොඩි වැල් ද මඟ දෙපස දිලෙන වා

කසාවත කඨිනයක් ලෙසින් සකසා ගන්න ට
සැදැහැතියො සැරසෙනවා කුසලය ම ලැබ ගන්න ට
බුදු සමිඳු දෙසු දහම එලෙසින් ම පවතින්න ට
සඟරුවන සැරසෙනව බුදු වදන නොබිඳීන් ට

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]