[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සම්බුදු ගුණ මහිම

සම්බුදු ගුණ දෙසීම යි බෝපත් හඬේ සිලි සිලි යයි
වාතලයම පිරිසුදු වෙයි ජීව බලය ඉස් මතු වෙයි
පෙනහළු යුගල පණ ගැන් වෙයි
රෝ දුක් බිය දුරුවී යයි
සිත කය මනස පැහැ ගැන්වෙයි
ආනාපාන සතිය වැඩෙයි

****

පවින් මිදෙමු

මුවින් කියන දේ ගැන සැම සිත යොමු කරමු
පවින් මිදෙන්නට නිරතුරුවම වෙර දරමු
දුරින් පෙනෙන නිර්වාණය ළං කර ගනිමු
බවුන් වඩා සිත් තුළ කෙලෙසුන් දුරු කරමු

****

නිබ්බාණං පරමං සුඛං

මලක් පිපුණා
ගියා පරවී
ඇලුණෙ නෑ ගැටුනෙ නෑ
මිලාන වූ මල
සාරයක් නෑ පැවැත්මක් නෑ
දහම මෙලෙස යි සිද්ධ වන්නේ
සතුටු කඳුළුයි වගුරවන්නේ

****

ධනය

බුදු හිමියන් වදාළ දහමෙ හරය වෙත
යොමු කළ විටදී අප සැමගේ දහම් සිත
විසඳුම් වලට මේ සඳහා කළ යුත්ත
දහමෙන් අපට දෙන පිණිවිඩ තිබෙනු ඇත

****

යහ පුරුදු

වැඩිහිටියනට කීකරු වීලා
කියනා දේ පිළිපැදලා
හොඳ ගුණ දම් වඩලා
ඉමු හොඳ බොදු දරුවකු වීලා
හරි වැරැදි දැනගෙන
වැරැදි අහකට පන්නා
යහපුරුදු දැනගෙන
ඉමු සතුටින් සැම දින

****

සසරක කෙළවර

බෝසත් කුමරු මව් කුස පිළිසිඳ ගැනුම
රාහුල කුමරුගේ උපතත් සිදු වීම
සිදුහත් කුමරු ගිහිගෙය නික්මී යාම
ඇසළ පෝ දිනක මේ සැම සිදු වීම

සසර සතුන් සසරින් මුදවා ලන්න
සසර කළකිරී ගිහිගෙය හැර යන්න
සසර ගමන කෙළවර කරවා ගන්න
සසර සයුර තරණය කළෙ ඒ ලෙසින

****

මෙවර ජයග්‍රාහී කවිය

ගමන හා සැපය

වසුරු කද ගෙන
වෙහෙස දුක විඳ
ඇදෙන ගමනකි
නිමාවක් නැති
අසුරු සැණයකි
සුවය දුක නැති
එහිම ඵලයකි
දුකම උපදින
එකම සුවයකි
සදාකාලික
නිවන යන එය
තිලොව සැපයකි

****

ලෝකයා

සිතූ දේ පේනවා
ඇසෙනවා දැනෙනවා
සිතින් නිමවුන
ලෝකයක් මේ
මුලාවී ලෝකයා
පරතෙරක් නැති
සසර මඟ ගෙවා
මෙහි දෙවට පාරට
බැණ අඬ ගහනවා

****

නොපමා සිත

ජීවිතයට අපේ එක මොහොතයි ඇත්තේ
ඇතවුණ සියලු දෙය අනියත බව සත්තේ
පමා වුණෝතින් හෙට දවසක් නැත්තේ
නොපමා සිතයි රුදු සසරෙහි ජය ගත්තේ

****

ගත සිත සෙත

දිරිය වඩා දැහැමි බවෙන් ගත පණ ගන්වමු
අත සරු වී ගත බලයෙන් කුස පුරවාගමු
පිරුණු කුසින් නිරෝගිවී සිත පුරවාගමු
සිත ශක්තියෙ සමාධියෙන් සසර කතර ජයගමු

****

අම්මා

තෙරුවන් සරණ මට පහදා දුන් අම්මා
ලොව තතු මෙය යි මට පෙන්වා දුන් අම්මා
පියාණන්ගෙ ගුණ වටහා දුන් අම්මා
මතු භවයකදී බුදු වේවා මගෙ අම්මා

****

නිවනම පතමු

පිදු මේ සුවඳ මල් මැලැවෙන අයුරු සිතා
විදසුන් වඩමු මොහොතක් අප නිවන් පතා
අසුරක් ගයන මොහොතක් භවයක් නොපතා
නිවනම පතමු සසරම බියකරුයි ඉතා

****

වෙනසක් මොටද?

බුද්ධ, ධම්ම, සහ සඟ ගුණ පෙරටු කොට
ලියවෙන සාරවැකි බුදුසරණින් යසට
අනියත ජීවිතේ ඇති තතු දැන ගන්ට
සරණ යි බුදුසරණ සැමදා අප සැමට

****

වඳිමි මුනි

දෙව්ලොව වාසි දෙවියන් හට සත්ථාය
මනුලොව වාසි මිනිසුන් හට සත්ථාය
දෙදෙව් ලොවම වාසී මුනි සත්ථාය
සිහි කර වඳිමි ගුරු වූ ගුණ සත්ථාය

****

විකල්පය

තෙවැනි සිල්පදය
කැඩුවෙ නැහැ මම
හොඳින් රැක්කා
පන්සිල්
සිතට සැනසුම
සොයා ගෙන
පෝයට රැක්ක
අටසිල්
ආදර හිමියනේ
මගේ පණ වැනි
සිරිමල්
කරයි නම් ඔබ මට
තවත් හිරිහැර
ගන්නවාම යි දස සිල්

****

කුසල් වඩමු

පෙර පින් බලෙන් ලැබුණා මිනිසත් භවය
රැකගන්නට යළිත් භවයක ඒ උපත
නිරතුරු අසන්නට බුදු බණ යොමා සිත
ජීවත් වන්න සිතමින් මිය යනවා ය අද

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]