[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවෙසේ සිටම වෙසක් සමරන්න‍

නිවෙසේ සිටම වෙසක් සමරන්න‍

තෛ‍්‍රනිකායික මහ නාහිමිවරු පවසති

දිවයිනේ සියලූ විහාරස්ථානවලදී හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වනසේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදි  පුණ්‍යෝත්සව සංවිධානය නොකොට නිවෙස් තුළදීම ආමිස හා ප්‍ර‍තිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල මෙවර සැමරීම වඩාත් යෝග්‍ය බව තෛ‍්‍රනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍‍්‍රකාශ කර සිටිති.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකල ක්ලේෂයන් ප‍‍්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යෝත්සව  දිනයයි. මෙදින දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්තිමය පූජෝපහාරයන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීම සකල ලෝකවාසී බෞද්ධයින්ගේ සිරිත විය. එහෙත් මෙවර ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා බලවත් රාජ්‍යයන්හි පවා පැතිර යන කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා නැමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කොටගෙන හුදෙක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස් වලට පමණක් සීමා වෙමින් වෙසක් පුණ්‍යෝත්සවය පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අපගේද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව බුදුන් වහන්සේගේ ඉගැන්වීම පරිදි ‘සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා‘ යනුවෙන් සැම සත වෙනුවෙන් මෙත් වඩමින් ලෝකවාසීන්ට අවිහිංසාවාදී ධර්ම මාර්ගයක් දේශනා කළ තථාගතයන් වහන්සේ විෂයෙහි කරන උතුම් පූජාවක් වශයෙන් උන් වහන්සේගේ පරම පූජනීය ගුණයන් සිහිපත් කරමින් සැදැහැ සිතින් කුසල් සිත් වඩා වර්ධනය කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගනිමු. එසේම ‘ආරෝග්‍ය පරමාලාභා’ යන බුදු වදන අනුව යමින් නිරෝගීකම සියලු සත්ත්වයන්ට සැලසෙන පරම ලාභයක් සේ සලකා මෙම වෙසක් සමය තුළ සියලු දුසිරිතෙන් වැළකී ආධ්‍යාත්මක ගුණධර්ම දියුණු කරගෙන එම සත්‍යක්‍රියා බලය තුළින් කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකාවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි කාරුණාධ්‍යාශයෙන් ආශිංසන කර සිටුම්හ.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]