[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2020-05-07

ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් සමරමු!


ශාන්ති නායක අමාමෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අසමසම ගුණ සමුදාය සිහිපත් කරමින් ලෝ වැසි බුදුනුවන් උතුම් තෙමඟුල සමරන පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. අපගේ ශාස්තෘවරයාණන් වහන්සේට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පුද පූජා දැක්වීමට වෙනදා මෙන් වෙහෙර විහාරස්ථාන වෙත එන්නට මෙවර අවස්ථාව නොලැබෙනුයේ මුළු ලෝකය ම භයානක වයිරස රෝගයකට මුහුණ දී සිටින බැවිනි. එහෙත් බෞද්ධයන් ලෙස අප ලෝක ස්වභාවය තේරුම් ගත යුතුව තිබේ. මේ ව්‍යසනකාරී තත්ත්වය ඊට හොඳම අවස්ථාවකි.

පෞද්ගලික වශයෙන් ද, පොදු සමාජයීය වශයෙන් ද අප මුහුණ දෙන නේක ගැටලු ප්‍රතිපත්තිගරුක නොවීමේ ප්‍රතිඵල මය. ප්‍රතිපත්තියක් නොවූ කල ජීවිතය අයාලේ යයි. අවුල් ජාලාවක් වෙයි. තථාගත ශ්‍රී සද්ධර්මය තුළ බෞද්ධයාට මහාර්ග ප්‍රතිපදාවක් හඳුන්වාදී ඇත.

සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ප්‍රතිපත්ති පූජාව තමන් වහන්සේ වෙනුවෙන් කරනු ලබන උතුම්ම පූජාව වන බවය. මේ උතුම් වෙසඟේ නිවෙස් තුළම රැඳෙමින් දරු මුණුබුරන් සමගින් පවුලේ සියලු දෙනා ප්‍රතිපත්ති පූජාවෙන් බුදු හිමි පිදීම අධිෂ්ඨාන කරගත යුතුව ඇත.

මහා තොරණ නොබැඳුණ ද පෙරහර නොවුණද, වීදි පුරා මංමාවත් පුරා වෙසක් සැරසිලි නොවුණද සෑම බෞද්ධ නිවසකම කුඩා ප්‍රමාණයෙන් හෝ වෙසක් සැරසිල්ලක් කිරීම යෝග්‍ය ය. ඒ සඳහා පරිසරයට වින කරන ප්ලාස්ටික් පොලිතින් ආදී දේ වෙනුවට මහ පොළොවට දිරා ගොස් මහපොළොවම පෝෂණය කරන ස්වභාවික අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම ඉතා වැදගත් ය.

පරිසරය වෙනුවෙන් අපගේ ශාන්ති නායකයාණන් වහන්සේ වෙත වූ ආකල්පයට අප ගරු කළා වන්නේ ද එවිට ය. ඒ වෙසක් සැරසිල්ලෙන්, පහන් කූඩුවෙන් ධර්මානුකූල පණිවිඩයක් අර්ථ ගැන්වීම ද විය යුතු ය. ඒ තුළ ගෙයින් ගෙය ආලෝකවත් ව ගමින් ගම ආලෝකවත් වනු ඇත. ගමින් ගම ආලෝකවත් ව මුළු රටම ඒකාලෝක වනු ඇත.

සම්මා සම්බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ අසූහාරදහසක් ශ්‍රී සද්ධර්ම ස්කන්ධය තුළ අපට ලැබෙන රැකවරණය මවකගෙන්, පියකුගෙන් හෝ නොලැබෙනු ඇත. තමන්ගේ ආරක්ෂකයා තමන්ම ය. ධර්මය පිළිපැදීම තුළම ය ඒ ආරක්ෂාව ලැබෙනුයේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න වූ අවස්ථාවේ උන් වහන්සේ අවසන් වරට දැක බලා ගැනීමට වන්දනාමාන කිරීමට නන්දෙසින් ශ්‍රාවකයන් වහන්සේ වැඩම කළහ. තම ශාස්තෘවරයාණන්ගේ වියෝ වීම ගැන දොම්නසට පත් වූහ. බොහෝ භික්ෂූන් වහන්සේ හඬා වැළපුනහ. එහෙත් ඒ අතරේ එක් භික්ෂූන් වහන්සේ නමක් භාවනා වැඩීමෙහිම නිරත වූහ. අනෙක් භික්ෂූන් වහන්සේ මේ ගැන විමතියට පත්වූහ. බුදුහිමියන්ගේ පරිනිර්වාණය ගැනවත් නොසලකා සිටින්නේ යැයි, ඒ බව දැන්වූහ.

ඒ ගැන විමසූ විට ඒ භික්ෂූන් වහන්සේ පැවසුවේ අප ගේ භාග්‍යවතුන් වහන්සේ තව සුළු කාලෙකින් පිරිනිවන් පාන සේක. උන් වහන්සේ ජීවමාන ව සිටියදී ම කෙලෙස් දුරු කොට රහත් බවට පැමිණ ගෞරව කිරීමේ සිතින් භාවනා කෙළෙමි යනුවෙන් ය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගේ අප්‍රමාදී බව වීර්යවන්ත බව ම අගය කළහ. මේ උතුම් වෙසඟේ දෙලොව දියුණුව සලසා ගැනීමට අප්‍රමාදී වෙමු. අපගේ ශාස්තෘවරයාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජා දක්වමු.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]