[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමතක නොකළ යුතු අතීත මතකය

අමතක නොකළ යුතු අතීත මතකය

ආහාර ගැනීම, නිදා ගැනීම, බිය වීම, ලිංගික සේවනය යනාදි  කරුණු මිනිසාට ද අනෙක් සතුන්ට ද පොදුය. මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙන් වනුයේ ධර්මය හේතුවෙනි. ධර්මය යනු හැදියාව හෙවත් සදාචාරයයි.

සමාජයක සදාචාරය සුරක්‍ෂිත කිරීමේ වගකීම සමාජයේ සෑම සාමාජිකයෙකුට ම ඇත. එය නිසි ලෙස ඉටු නොවන බැවින් නීති ද දඬුවම ද සමාජගත වී තිබේ. එසේ වුවත් නීතිය ඉක්ම වන්නන් ද ඒ සඳහා දඬුවම් ලබන්නන් ද බොහෝය. නූතන ශ්‍රී ලාංකික සමාජය ම මෙයට ප්‍රමාණවත් නිදසුනකි.

හැදියාවෙන් ඔපවත් වූ හෙළයා

අතීත ශ්‍රී ලාංකිකයන් සදාචාර සම්පන්න ජීවිත ගත කොට තිබේ. දේශීය සාහිත්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ද ෆාහියන්, හියුංසාං, රොබට් නොක්ස් වැනි විදේශිකයන්ගේ වාර්තා ද එය තහවුරු කරනු ලබයි. ලොව අතළොස්සක් ජාතීන්ට හිමි ප්‍රෞඪ සංස්කෘතියක් අපට හිමි වූයේ මෙම හැදියාව හේතුවෙනි. ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දිවයිනක් වන ලංකාව ධර්මද්වීපය නමින් ලොව ප්‍රකට වූයේ ලාංකිකයන්ගේ සදාචාරාත්මක දිවි පෙවෙත නිසාවෙනි. අද ද ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය වැනි ගුණ ධර්ම ලෝක ප්‍රකට ය.

මහින්දාගමනයත් සමග සමස්ත ශ්‍රී ලාංකේය සංස්කෘතිය ම සුවිශේෂී පරිවර්තනකට ලක් විය. බෞද්ධ සංස්කෘතිය ලංකා සංස්කෘතිය, සමඟ ගසට පොත්ත මෙන් බැඳී ගියේ ය. ලාංකිකයන්ගේ සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, සිරිත් විරිත්, භාෂාව සාහිත්‍ය, කලා ශිල්ප යනාදි සංස්කෘතියේ සෑම අංගයක් ම බෞද්ධාගමික ආභාසයෙන් ප්‍රභාමත් විය. මෙරට වැසියන්ගේ ජීවිත ධර්මානුකූල ව හැඩ ගැසුණි. එහෙයින් සදාචාර සම්පන්න ජන සමාජයක් ලක්දිව බිහි විය. සෑම ගමක ම පන්සලක් ගොඩ නැගුණි. පන්සල ගමේ කේන්ද්‍රස්ථානය විය. පන්සලේ හාමුදුරුවෝ මිනිසුන්ගේ ලෞකික අධ්‍යාපනයේ ද ආධ්‍යාත්මික අධ්‍යාපනයේ ද ගුරුවරයා විය. ගම් වැසියන් විසින් උන්වහන්සේ සිවුපසයෙන් පෝෂණය කරනු ලැබූහ. මිනිසුන්ගෙන් උපස්ථාන ලද උන්වහන්සේ ඔවුන්ගේ සෑම කටයුත්තක දී ම පෙරමුණ ගත්හ. මිනිසුන්ගේ සියලු ප්‍රශ්න ඉදිරිපත් කරන්නට යෙදුණේ උන්වහන්සේට ය. එකල පැවති සෑම විෂයක් ක්‍ෂේත්‍රයක් පිළිබඳව ම දැනුම උන්වහන්සේ සතු විය. පන්සලේ හාමුදුරුවෝ ගමේ මිනිසුන්ට ගුරුවරයා මෙන් ම කුලුපග මිතුරා ද විය.

පරමාදර්ශය

ධර්මයෙහි නිපුණ වූ උන්වහන්සේ විනයානුකූල ජීවිතයක් ගත කළහ. ධර්මය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය පොදු ජනයාගේ සිට රජු දක්වා ලබා දෙනු ලැබුවේ උන්වහන්සේ විසිනි. එහෙයින් සදාචාර සම්පන්න සමාජයක් බිහි විය. සිංහල ජාතිය ගුණ නුවණින් පෝෂණය කිරීමේ භාරදූර කාර්ය හැමදාම හිමි වූයේ භික්‍ෂූන් වහන්සේට ය. උන්වහන්සේ මෙම ජාතික කාර්ය දිවි හිමියෙන් ඉටු කළ සමාජයට අවැසි සෑම දැනුමක්ම කේන්ද්‍රගත ව පැවතියේ පන්සලට ය. පරමාදර්ශී වූ උන්වහන්සේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ සමාජය සරල හා සදාචාර සම්පන්න එකකි- යුරෝපීයන් මෙරටට පැමිණෙන තුරු ම පැවතියේ මෙම සමාජ ක්‍රමයයි.

ශ්‍රී ලාංකික ජන සමාජය මෙවන් අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ සෑම ක්‍ෂේත්‍රයක ම සදාචාරය පිරිහීම නිසයි. එහෙයින් කඩිනමින් සදාචාරය නැවත ලාංකික සමාජය තුළ ස්ථාපිත කළ යුතු ය. මෙහිදී ආගමට ඇත්තේ ප්‍රමුඛ වගකීමකි. ශ්‍රී ලාංකික ජන සමාජයේ බහුතරයක් බෞද්ධාගමේ ආභාසයෙන් හැඩ ගැසී ඇති බැවින් මෙම සමාජය තළ නැවත වරක් සදාචාරය තහවුරු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් භික්‍ෂූන් වහන්සේලාට කළ හැක.

ශ්‍රී ලාංකේය සමාජය පරිහානියට පත් වූ සෑම අවස්ථාවක දී ම භික්‍ෂූන් වහන්සේ දිවි පරදුවට තබා ජාතිය බේරා ගැනීමේ කාර්යභාරය ඉටු කොට තිබේ. අද පවතිනුයේ අතීතයේ පැවති සරල සමාජය නොවේ- වඩාත් සංකීර්ණ වූවකි. ජාතීන් ගනණාවකින, සංස්කෘතීන් ගණනාවකින් සැදුම් ලද්දකි. නවීන විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් දියුණු වූවකි. ගෝලීයකරණයට හසු වූවකි. මෙවැනි තත්ත්වයක් තළ සදාචාර පරිහානිය වළක්වා ගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග කාලීන තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් වඩාත් සංවිධානගත ව ගත යුතු ය.

අතීත ලක්දිව සදාචාරවත් ජන සමාජයක් ගොඩ නැගීම සඳහා ශක්තිමත් ගිහි පැවිදි සබඳතාව හේතු විය. “ගමයි පන්සලයි වැවයි දාගැබයි,” යන සංකල්පයෙන් නිරූපණය වන්නේ අතීත ලක්දිව පැවති ශක්තිමත් ගිහි පැවිදි සබඳතාවයි. යුරෝපීයන් මෙරට පාලනය කළ අවුරුදු 450කට අධික කාලය තළ මෙම සබඳතාව බිඳ දැමී ය. එය ඔවුන්ට පරිපාලන කටයුතුවලට පහසු වූ වා සේ ම ඔවුන්ගේ දුසිරිත් මෙරට වැපිරීමට පහසු විය. එතැන් සිට මේ දක්වා ම මෙම සබඳතාව ශක්තිමත් වී නොමැත. ලාංකේය සමාජය සදාචාරයෙන් ඈත් වීමට මෙය ප්‍රමුඛ වශයෙන් බලපා තිබේ. එහෙයින් ශක්තිමත් ගිහි පැවිදි සබඳතාවක් ගොඩ නැගිය යුතු ය. ඒ සඳහා ගිහියන් හා පැවිද්දන් අතර අන්‍යොන්‍ය වශයෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු විය යුතු වේ. එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයෙන් තමන්ට ඉටු විය යුතු යුතුකම් ගැන පමණක් සිතන්නේ නම් මෙම සබඳතාව පලුදු වීමට හේතු වේ. අනෙක් අතට එක් පාර්ශ්වයකින් යුතුකම් ඉටු වන විට අනෙක් පාර්ශ්වයෙන් සිය යුතුකම් ඉටු නොකරන්නේ නම් එය ද ගැටුමකට හේතුවක් වේ. අන්‍යොන්‍ය ව යුතුකම් ඉටු කරමින් කටයුතු කරන විට ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් වේ.

පූර්වාදර්ශය

“තමන් පළමුව උපදෙස් පිළිපදින්න” යන බුද්ධ වචනයේ සඳහන් වන ආකාරයට ම සමාජයේ සදාචාරය තහවුරු කිරීමට නම් පළමුවෙන් වැඩිහිටියන් සදාචාර සම්පන්න විය යුතු ය. එසේ නොවන කල ඔවුන්ගේ ආනුශාසනය බාල තරුණ අය ශ්‍රවණය නොකරනු ලබයි. දරුවෝ් නිරන්තරයෙන් වැඩිහිටියන් අනුකරණය කරනු ලබති. එහෙයින් වැඩිහිටියා ගුණ නුවණින් පෝෂණය වූ තැනැත්තෙකු විය යුතුය. වැඩිහිටියන් දරුවන්ට අවවාද කිරීමෙන් පමණක් නොනැවතී චරිතාදර්ශයෙන් ඒවා පෙන්විය යුතුය. මෙය දරුවන්ට ආකර්ෂණීය බලපෑමක් ඇති කරවයි. එය සමාජ සදාචාරයට ප්‍රමුඛ බලපෑමක් ඇති කරන්නේය.

විධිමත් දහම් අධ්‍යාපනය

දරුවන් සමාජයේ වැදගත් ම පිරිසයි. ඔවුන් කුඩා කාලයේදීම සදාචාරායට හුරු කිරීමට හැකි වන්නේ නම් සමාජය සදාචාරවත් කිරීම පහසු ය. එබැවින් කුඩා කල සිටම දරුවකු තුළ හැදියාව ඇති කළ යුතු ය. එය නිවෙසින් ඇරඹිය යුත්තකි. ඉන් අනතුරුව අධ්‍යාපනයෙනි. අද වන විට ලංකාවේ පවත්නා දහම් අධ්‍යාපනයට මෙය සාර්ථක ව සිදු කළ හැකි ය. දරුවාට විධිමත් දහම් අධ්‍යාපනයක් ලබා දිය යුතු ය. සදාචාරවත් දරුවකු බිහි කර ගැනීමේ පරමාර්ථය ඇතිව දහම් අධ්‍යාපනය සකස් විය යුතු ය. එය මුද්‍රිත පාඩම් මාලාවක් ඉගැන්වීමේ අරමුණට එහා ගිය අරමුණකින් ක්‍රියාමත්මක විය යුත්තකි. පාසල මගින් කරනුයේ ද මුද්‍රිත පොත්හි පවත්නා පාඩම් ඉගැන්වීම ය. විෂයය දැනුම ලබා දීමෙන් පමණක් සදාචාරවත් දරුවකු බිහි කර ගත නොහැකි ය. ගුණවත් හා ආදර්ශමත් ආචාර්යවරුන් පිරිසක් විසින් දහම් අධ්‍යාපනය ලබා දිය යුතු වේ.

දහම් අධ්‍යාපනය දරුවකු තුළ ගුණ ධර්ම වැඩි දියුණු වන අයුරින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි කොට සකස් විය යුතු වේ.

දුර්ගුණ මගහැරීම

පාසල් තුළ මෙන් තරග විභාගවලට ප්‍රමුඛ තැනක් දහම් පාසල තුළ ලබා නොදිය යුතු ය. දරුවන් තුළ වෛරය, ඊර්ෂ්‍යාව තරගකාරිත්වය වැනි දුර්ගුණයන් වැඩි කරන අයුරින් පවත්වනු ලබන විවිධ තරඟ දහම් පාසලින් ඉවත් කළ යුතු වේ. මව්පියාදී වැඩිහිටියන්ට සැලකීම, සියලු සතුන්ට දයාව, කරුණාව, දක්වන ප්‍රායෝගික වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ය. මුද්‍රිත පොත්හි පාඩම් හැකි තාක් දුරට ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කළ යුතු ය.

නැතහොත් දහම් පාසලින් ද සැමදෙනා එක්ව නොව එකිනෙකා පරයා යන සහතික පත්‍රයක් පමණක් හිමි විෂය දැනුමින් පිරිණු පුද්ගලයකු බිහි වීම වැළැක්විය නොහැක. අද වන විට මෙවන් තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ වැඩි වී තිබේ. ක්‍රමවත් දහම් අධ්‍යාපනයක් සකසා දහම් පාසලට දරුවන් එකතු කර ගැනීමේ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළ යුතු වේ. අතළොස්සක් තැන්වල මෙබඳු සැලසුම් ක්‍රියාත්මක වන අයුරු දැක ගත හැකි ය.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]