[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 02 කොටස: පැවිදි වීමට ගිය පද්මසිරිට වේවැල් පහර වදී

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 02 කොටස:

පැවිදි වීමට ගිය පද්මසිරිට වේවැල් පහර වදී


 නාගදීප විහාරය එදා


 නාගදීපයේ දීපය

පද්මසිරි අඟුරු කෑල්ලක් ගෙන දත් මදිමින් වත්ත වටේම ගියේ ය. වෙනදා පාසල් යන්නට දඟලමින් යන පද්මසිරිට පුදුමාකාර වෙනසක් දැනුණි. ආයෙත් කොල්ලොත් එක්ක බට්ට පනින්න යන්න, වෙනත් දඟ වැඩ කරන්න නොලැබෙන බව දැනගත් පද්මසිරිගේ සිත කැළඹෙන්නට විය.

නාගදීපයේ විහාරාධිපතිව වැඩසිටි අම්බලන්ගොඩ රන්දොඹේ සෝමසිරිතිස්ස නා හිමියන් අපවත් වූ අතර එහි විහාරාධිපති ධුරයට පත් බලපිටියේ බ‍්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන් නවදගල ගමේ බීටින් මැන්දිස් මහතාගේ නිවසට වැඩම කළහ.

එසේ වැඩම කළ හේතුව දැන ගන්නට සියලූ දෙනාම වික්ෂිප්තව බලා සිටියහ.

’‘අපේ නායක හාමුදුරුවන්ගේ අපවත්වීමේ තුන් මාසේ පින්කම ලොකුවට නාගදීපෙ තියන්නයි මගේ බලාපොරොත්තුව’’ ධම්මකිත්ති තිස්ස හිමියෝ පැවසූහ.

‘‘එහෙමයි’’

‘‘එදාට මේ පැත්තෙ දරුවො තුන් හතර දෙනෙක් මහණ කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. පේ‍්‍රමරත්නගෙන් මට දැන ගන්න ලැබුණා පද්මසිරි කියන දරුවා මහණ වෙන්න කැමැතියි කියලා, ඒකයි මම මේ ආවේ, කෝ කවුද පද්මසිරි’’ නායක හාමුදුරුවෝ එක දිගටම පැවසුහ.

පද්මසිරි බිම වාඩි වී උන් තැනින් නැඟිට අම්මා තාත්තා දෙසත් ඒ වෙලාවේ නිවෙසේ සිටි සහෝදර සහෝදරියන් දෙසත් බැලූවේ ය.

’’ළමය මහණ වෙන්න කැමැතිද?’’

ඔහුට කට උත්තර නැති විය. තමන් පැවිදි වනවාට අම්මා අකමැති බව පද්මසිරි හොඳින්ම දනියි.

එහෙත් ස්වාමීන් වහන්සේගේ ගෞරවාන්විත තේජස් පිරි මුහුණ දුටු පද්මසිරිට උන් වහන්සේට අවශ්‍ය පිළිතුර නොදී සිටින්නට බැරි විය.

‘‘ඔව්’’ පද්මසිරිගේ මුවින් නිකුත් විය.

‘‘එහෙමනම් මේ දරුවා සූදානම් කරල තියන්න, මම හෙට අනිද්දට පේ‍්‍රමරත්නව එවන්නම්’’.

නායක හාමුදුරුවන්ගේ කතාවට විරුද්ධව කතා කරන්නට හෝ උන් වහන්සේ විසින් කළ යෝජනාවට යම් හෝ වචනයක් කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවුණේ උන් වහන්සේට ඇති ගෞරවය නිසා ය. ගිලන්පස වැළඳූ නායක හිමියෝ ආපසු වැඩම කළහ.

නායක හිමියන් ආපසු වැඩම කිරීමෙන් පසුව පවුලේ අය අතර පද්මසිරිගේ පැවිදි වීම ගැන වැඩි කතාවක් ඇති නොවුණත් ගමේ බොහෝ අයට ඒ ආරංචිය පැතිර ගියේ ය.

දින දෙකක් ගෙවී ගියේ පුදුමාකාර වේගයකිනි.

පසුදින උදෑසන පද්මසිරි පිබිදෙන විට අම්මා ඇදේ සිටියේ නැත. කුස්සිය පැත්තෙන් කීප දෙනෙක් කතා කරනු පද්මසිරිට ඇසුණි.

පද්මසිරි ඇඳේ සිටම කල්පනා කරන්නට විය.

.තමා නිවසේ ගිහි දිවියේ සිටිනා අවසන් දිනය අද වනු ඇත. අද පේ‍්‍රමරත්න අයියා එනු ඇත. අද මම මේ ගෙදර අම්මාත් සමග ඇ‍ෙඳ් නිදා ගත් අවසන් දිනය වනු ඇත.. එසේ සිතූ පද්මසිරිගේ නෙතින් කදුළු ගලා ආවේ ය. පද්මසිරි පිබිදුණු බව දැනගත් කාමරයට පැමිණි අම්මා දුක නොපෙන්වා අමාරුවෙන් හිනාවුණා ය.

‘‘මුහුණ කට හෝදා ගනින් පුතේ, අන්න මම කිරිබත් එහෙමත් හැදුවා’’

කුස්සිය පැත්තෙන් තවත් අයකුගේ කටහඬක්ද පද්මසිරිට ඇසුණි. පද්මසිරි අමුත්තා කවුදැයි හොරෙන් බැලූවේ ය. ඒ පේ‍්‍රමරත්න අයියාය. ඔහු උදෑසනම පැමිණ ඇත. පද්මසිරි අඟුරු කෑල්ලක් ගෙන දත මදිමින් වත්ත වටේම ගියේ ය. වෙනදා පාසල් යන්නට දඟලමින් යන පද්මසිරිට පුදුමාකාර වෙනසක් දැනුණි. ආයෙත් කොල්ලොත් එක්ක බට්ට පනින්න යන්න, වෙනත් දඟ වැඩ කරන්න නොලැබෙන බව දැනගත් පද්මසිරිගේ සිත කැළඹෙන්නට විය.

ඒ කිසිදු ප‍්‍රශ්නයකට විසඳුම් නොලැබුණු අතර අවසානයේ මවත් ප්‍රේමරත්නත් සමඟ පද්මසිරි නිවසින් පිට වූයේ සහෝදර සහෝදරියන්ගේ කදුළු මැද ය. පියා ද කිසිදා නොදුටු දුක්මුසු මුහුණකින් යුතුව ආශිර්වාද කෙළේ ය. පද්මසිරි මහණ වන්නට යන බව දැනගත් අතරමගදී හමු වූ බොහෝ දෙනා ඔහුට පාරේ ඉඩ දී අයින් වූඳැ. ඔහු සමඟ වෙනදාට වඩා සිනාසුනහ. කතා කළහ.

මවත් පේ‍්‍රමරත්නත් සමඟ පද්මසිරි දෙමටගොඩ පිහිටි නාගදීප විහාරයට පැමිණියේ ය. කුඩා පන්සලක් වූ එය ටකරං මඩුවකට නොදෙවිනි විය. එහි විහාරාධිපති බ‍්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ද එහිදී පද්මසිරිට හමු විය. නාගදීපයේ නායක හිමියන් එදිනම රාත‍්‍රී දුම්රියෙන් නාගදීපය බලා පිටත්ව ගිය අතර මවද පද්මසිරි පන්සලේ නවතා යළි නිවස බලා ගියේ දැඩි දුක් දොම්නසින් යුතුව ය.

අම්මා යන දෙස බලා සිටි පද්මසිරිගේ නෙතට කදුළු ඉනුවේ ය. අම්මා ලවා බෙලෙක් පිගානේ යළිත් බත් කවා ගන්නට නොලැබෙනු ඇත. අම්මාට තුරුල් වී ඇඳේ වකුටු වී නිදා ගන්නට යළිත් නොලැබෙනු ඇත . තාත්තාට දඟ වැඩ කළ බඩ පිස්සා නැත. තාත්තාට කෝටු පහර දෙන්නට පද්මසිරි නැත. මහණ වීම මෙතරම් දුකක් වනු ඇතැයි පද්මසිරි සිතුවේ නැත .

අම්මා පිටත්ව ගිය පසු පද්මසිරි ඉකි ගසමින් ඇඩුවේ ය. පන්සලේ සිටි සාමණේර හිමිවරුන් තුන් නමක් පද්මසිරි සැනසුවේ ය. එදින ඇතිවුණු අප‍්‍රමාණ දුක ලෙහෙසින් තුරන් කරන්නට හැකි වූයේ නැත.

රාත‍්‍රීයේ තනිවම බත් කද්දී පද්මසිරිට අම්මා මතක් විය. යළිත් නෙතට කදුළු ආවේ ය. ඔහු නිදි ලොවට පිවිසුණේ බොහෝ වේලාවකට පසුව ය.

පසු දින උදෑසන විහාරාධිපති සීවලී හිමියන් කොටහේන විද්‍යාලයට උගැන්මට වැඩම කළහ. සාමණේර හිමිවරුන් තිදෙනාත් පද්මසිරිත් හොඳහැටි සෙල්ලම් කළහ. දහවල් වන විට කරන්නට සෙල්ලමක් ඉතිරිව නොතිබුණි.

පන්සලේ තිබුණු වතුර පයිප්පය (හෝස්) දුටු පද්මසිරි අලූත්ම සෙල්ලමක් කෙළේ ය. වතුර පයිප්පය එක් එක් සාමණේර හිමිවරුන් වෙතට ඇල්ලූ පද්මසිරි සියලූ දෙනා තෙත බරියම් කෙළේ ය. ඔහුද හොඳ හැටි නා ගෙන සිටියේ ය.

පසුව ඔහුට අලූත් අදහසක් ආවේය. සාමණේර හිමිවරුන් සමඟ එක්ව වතුර බටයේ කෙළවරක් ඇඟිලිවලින් තරමක් වැසුවේ ය. වතුර පාර වේගයෙන් විද්දේ ය. වතුර බටය ඉහළට විද්දේ පාරේ මිනිසුන් යන වේලාවන්හිදී ය. පාරේ ආ ගිය අය කුරුල්ලන් මත්‍ව පහ කළ බව සිතමින් පිස දමන්නට යමක් සෙවූහ. ඔවුන් වඩාත් විනෝද වූයේ පාරේ ආ ගිය අය කලබල වී දුවනා සැටි දැකීමෙනි. එහෙත් වූයේ කුමක්දැයි කිසිවකු දැන සිටියේ නැත. සිවු දෙනාම වතුර ඉහළට යනවාත් සමගම සැඟවුණහ. මේ අමුතු සෙල්ලම හරිම විනෝදකාමී විය.

සෙල්ලම දිගටම කරගෙන යද්දී එක්වරම පද්මසිරිගේ පිටට තද වේවැල් පහරක් වැදුණි. එය කුමක්දැයි බලන්නට යන විට හිසට තවත් වේවැල් පහරක් තදින් වැදුණි. පද්මසිරි වතුර ගොඬේ බිම ඇද වැටුණේ ය. ඒ සමඟම සාමණේර හිමිවරුන්ගේ හිසටද වේවැල් පහර වැදුණි.

සීවලී හාමුදුරුවන් ඒ වන විට වැඩම කර තිබුණි. තාත්තාගේ වේවැල් පහරට වඩා එයින් පද්මසිරිට රිදුණි. පද්මසිරි දුවගොස් හැඬුවේ ය.

එහෙත් පද්මසිරි ඇතුළු සාමණේර හිමිවරුන්ගේ කන් කරච්චලය එතැනින් නතර වූයේ නැත. සිවු දෙනාට තවත් අයෙක් එක් විය. ඒ විහාරස්ථානයට දානය ගෙන එන කොලූ ගැටයෙකි. මේ පස් දෙනා ගැන සීවලී හිමියන්ට අසල් වාසීන්ගෙන් මෙන්ම කඩවලින් ද පැමිණිලි ගලා එන්නට විය.

බ‍්‍රාහ්මණවත්තේ සීවලී හාමුදුරුවන්ගේ වේවැල් පාර පද්මසිරිට පන්සල එපා කෙළේ ය. එහෙත් ඒ සමඟම නාගදීපයට යන දිනය උදාවිය.

1973 ජූලි මස නාගදීපයට යාම පිණිස පද්මසිරි සීවලී නා හිමියන් සමඟ රාත‍්‍රී තැපැල් දුම්රියෙන් යන්නට විය. ඒ වෙන් කළ නිදන ආසනවල ය.

පන්සලේදී තිබුණු මහා සැරපරුෂ බව ගමනේදී සීවලී හිමියන්ගෙන් පද්මසිරි දුටුවේ නැත. උන් වහන්සේ තමන් ආරක්ෂිතව රැගෙන යන බව පද්මසිරිට වැටහී ගියේ ය.

රාත‍්‍රිය මුළුල්ලේම තැපැල් බෙදමින් පැමිණි දුම්රිය යාපනයට ළඟාවූයේ හිමිදිරියේ ය. යාපනයේ මහා නාග විහාරයෙන් උදෑසන දානය වැළª සීවලී හිමියන් පද්මසිරිටද අවශ්‍ය සියලූ පහසුකම් ලබා දෙන ලදී. යාපනයේ සිට නාගදීපය බලා යන කරිකුට්ටුවාන් දක්වා යන ගමන අද මෙන් පහසු නොවූ එකල ගමන් කළ කබල් වෑන් රථයට සෑහෙන වේලාවක් ගත විය. රාත‍්‍රිය පුරාම කොළඹ සිට යාපනයට දුම්රියෙන් පැමිණීම නිසා මෙන්ම අබලන් පාරේ ගැස්සි ගැස්සී පැමිණීම නිසා කරිකුට්ටුවාන් ජැටියට පැමිණෙන විට පද්මසිරිට හොඳටම වෙහෙස වී තිබුණි.

මුහුද මැද පෙනෙන දූපතට යන්නට එදා විනාඩි 45ක් පමණ ගත විය. පද්මසිරි සීවලී හිමියන් සමඟ නාගදීපයට පැමිණියේ ඒ අයුරිනි.

(මතු සම්බන්ධයි)

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]