[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විපරීතබව

විපරීතබව

අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ චතුක්ක නිපාතයේ රොහිතස්සවග්ගයේ නවවැනි සූත්‍රය, ‘විපල්ලාස’ සූත්‍රය විපරීතබව ගැන වදාළ දේශනය.බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපරීත සංඥා, විපරීත චිත්ත, විපරීත දෘෂ්ටි හතරක් ඇති බව. ඒ තමයි,

අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් දැකීම. විපරීත සංඥාවක්. විපරීත චිත්තයක් විපරීත දෘෂ්ටියක්. දුක සැප වශයෙන් දැකීම. එය විපරීත සංඥාවක්. විපරීත චිත්තයක්. විපර්ත දෘෂ්ටියක්. අනාත්ම දේ ආත්මය වශයෙන් දැකීම. එය විපරීත සංඥාවක්. විපරීත චිත්තයක්. විපරීත දෘෂ්ටියක්.

අසුබ දේ සුබ වශයෙන් දැකීම. එය විපරීත සංඥාවක්. විපරීත චිත්තයක්. විපරීත දෘෂ්ටියක්.

මේ ලෝකයේ තිබෙන සියල්ලම අනිත්‍යයි. නමුත් මිනිසුන් හිතන්නේ මේ සියල්ල නිත්‍ය බවයි. ඒ නිසා සැම විටම කටයුතු කරන්නේ නිත්‍ය ලෝකයක සිටිනවා යැයි සිතාගෙන ඇයි? ඔහුට විපරීත සංඥාවක්, විපරීත දෘෂ්ටියක්, විපරීත චිත්තයක් තිබෙන නිසයි. ඇස, කන, නාසය, දිව, කය, මන යන මේ සියල්ල අනිත්‍යයි. නමුත් නිත්‍ය යැයි සිතා අල්ලා ගන්නවා.

මේ පංච උපාදානස්කන්ධයෙන් හැදුණු රූපය නිත්‍ය යැයි සිතා අල්ලා ගන්නවා. නමුත් එය අනිත්‍යයි. සමස්ත ලෝකයේම එදිනෙදා ජීවිතය දෙස බැලීමේ දී බලය, නිලය, කුලය, වංශය, රුපය, නම්බුනාම, කීර්ති, ප්‍රශංසා ආදී මේ හැම දෙයක් ගැනම දකින්නේ නිත්‍ය වශයෙන්. එය විපරීත සංඥාවක්. විපරීත චිත්තයක් විපරීත දෘෂ්ඨියක්.

දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ

මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතයි. නමුත් මේ පුද්ගලයාට සිතෙන්නේ මේ හැම දේම සැපයි සැපයි කියලා. සැපක් තියෙනවානම් ඒ සැබෑ සැපය ලැබෙන්නේ නිවන අවබෝධ කරගැනීමෙන් පසුවයි. ඊට මෙහායින් තිබෙන සැප තාවකාලික සැප.

ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සැප හතරක් දේශනා කළා. ඒ තමයි අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ. මේ සැප හතර අනිත්‍ය බව උන්වහන්සේ දේශනා කළා. සදාකාලික සැපය යනු නිවන් සැපයයි. විශේෂයෙන් ම පුද්ගලයා සිතාගෙන සිටින්නේ මේ ලෝකය සැපයි කියලා එය සංඥා විපරීතයක්. චිත්ත විපරීතයක්. දෘෂ්ඨි විපරීතයක්. සැපයි කියා සිතුවත් එහි ඇතුළත තිබෙන්නේ දුකයි. ඒ නිසා අප මේ සැපයි කියලා ගන්නා දේ නිසා සංසාරයට බැඳී පවතිනවා. ඇලෙනවා. අපට ගැලවෙන්න බැරි වී තිබන්නේ මේ විපරීත බව නිසායි.

අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම. මේ ලෝකයේ තිබෙන්නේ අපට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යා හැකි දේවල් නොවෙයි. ඇස, කන, නාසය, දිව, කය, මනස අනාත්මයි. අපේ වසඟයේ පවත්වාගත නොහැකියි. මට අවශ්‍ය ආකාරයට පවතීවා යනුවෙන් පැවසුවත් වැඩක් නැහැ.

සියල්ල අනාත්මයි. නමුත් අපි ආත්ම වශයෙන් ගන්නේ. එය විපරීත සංඥාවක්. විපරීත චිත්තයක්. විපරීත දෘෂ්ඨියක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසුබ දේ සුබ වශයෙන් ගැනීම පිළිබඳ ව. මේ ශරීරය අසුබයි. නමුත් අපි හිතන්නේ සුබයි කියලා. ශරීරය ලස්සනට තියාගන්න උපරිම උත්සාහ කරනවා. පින්කම්වලට පරිත්‍යාග කරන්නේ නැති පුද්ගලයා ශරීරය නඩත්තු කරන්න ලක්ෂ ගණනින් වියදම් කරනවා.

අසුබ දේ සුබ වශයෙන් තියාගන්න උත්සාහ කරනවා. ලස්සනට තියාගත්තට වරදක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එහි තිබෙන අසුබය අප තේරුම් ගත යුතු යි. ශරීරයේ තිබෙන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත, කුඩා බඩවැල්, මහ බඩවැල් ආදී මේ සමස්තය අසුබ දේ මේ ශරීරයේ හම රැලි වැටෙන හෙයින් දිරායන හෙයින්, දුඟඳ හමන හෙයින්, පිළිකුල්. අසුබ කියන්නේ පිළිකුල්. පිළිකුල් භාවනාවක් හැටියට ගන්න පුළුවන්.

කවදා හෝ දිනයක මේ දේවල් අසුබ යැයි අවබෝධ කරගත්තොත් පිළිකුල් භාවනාවක් හැටියට ගන්න පුළුවන්. අසුබ දේ පිළිබඳ ව සුබ විදියට සිතන්නේ. ඒක විපරීත සංඥාවක්. විපරීත චිත්තයක්. විපරීත දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ මෙහිදී අවිපරීත සංඥා, අවිපරීත චිත්ත අවිපරීත දෘෂ්ටි පිළිබඳ දේශනා කළා. යම් පුද්ගලයෙක්ට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තේරෙනවා. දුක, දුක වශයෙන් තේරෙනවා. අනාත්ම දේ අනාත්ම වශයෙන් තේරෙනවා. අන්න ඒ තැනැත්තා තුළ තිබෙන්නේ අවිපරීත සංඥාවක්, අවිපරීත චිත්තයක්, අවිපරීත දෘෂ්ඨියක් බව බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා.

ඒ නිසා ඔබ සංඥා විපල්ලාසයෙන් චිත්ත විපල්ලාසයෙන් දෘෂ්ඨි විපල්ලාසයෙන් මිදී සැබෑ අවබෝධයක් ඇති කරගෙන සසර දුකෙන් නිදහස් ව ලබන අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට වාසනාව උදා වේවා.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]