[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2020.03.09

උත්සාහයට සහය දෙමු

සම්බුදු දහමින් සුපෝෂිත අපූර්වතම හෙළ සංස්කෘතියක් ඈත අතීතයේ සිට ම අපට උරුමව තිබුණි. වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් යන අත්‍යූදාර සංකල්පය අනුව ගොඩනැගුණු ඒ අතීතය ටිකෙන් ටික දියාරු වෙන්නට පටන් ගත්තේ විවෘත ආර්ථිකයත් සමග ය. එතැන් සිට ගුණ යහපත්කමට මුල්තැන දුන් මිනිසා රුපියල් ශතවලට ප්‍රමුඛත්වය දෙන්නට වුණි.

පරම්පරාවෙන් උරුම වූ වටිනාකම් නොවටිනාකම් බවට පත්කොට හරසුන් දේ පසු පසම ඇදී යන්නට වුණි. එහි ප්‍රතිඵලය භුක්ති විඳින්නට වූයේ ඔවුන්ගේ දරු මුනුපුරු මිනිපිරියන්ට ම ය. සංස්කෘතිය, සදාචාරය ටිකෙන් ටික සෝදා පාළුවට යන්නට විය. එහෙත් අනාගතයක අසුබ පෙර නිමිති දුටු බොහෝ ජනී ජනයා සාරධර්ම රැක ගනිමින්, ධර්මානුකූල දිවි පෙවෙතෙක් ම ගත කරන්නට වූ හ. තම බාල පරම්පරාවට ද ඒ මග යන ලෙස ආදර්ශවත් වූ හ.

උතුම් සංඝ රත්නය ද මෙහි දී සුවිශේෂී වේ. ගම එකමුතු කරමින්, ගමේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් සදාචාරවත් අනාගතයක් ගොඩ නගන්නට උන්වහන්සේ වෙත වන අප්‍රතිහත උත්සාහය විශිෂ්ට ය. අතීතය ගැන අපට ආවර්ජනය කරන්නට සිදු ව තිබේ. ඒ ආපසු අතීතයට යන්නට නොව අතීතයේ වටිනාකම්, හර පද්ධතීන් අනාගතයට රැක ගන්නට ය.

එදා අපේ සමාජය සරල ය. අල්පේච්ඡය. අල්පකෘත්‍ය ය. මව් පිය දූදරු, ස්වාමි භාර්යා, ගුරු සිසු, සේව්‍ය සේවක ආදී වශයෙන් සමාජ කණ්ඩායම් අතර යුතුකම් වගකීම් මනාව සුරක්ෂිත වුණි. ඒ තුළ සමාජයේ කිසිවෙක් අනාරක්ෂිත නොවීය. උපතේ සිට මරණය දක්වා ම, මරණින් මතු ද ජීවිතය ගොඩනඟා ගන්නට අවශ්‍ය ධර්මෝපදේශයන් භික්ෂූන් වහන්සේගෙන් ලැබුණි. එහෙත් අද අප වෙතින් බැහැර කළ යුතු නො වටිනාකම් බොහෝ වේ. වෙසෙසින් බෞද්ධයන් වන අප ජිවන මග හසුරුවා ගත යුතු පිළිවෙළක් තිබේ. අසංවරකම, අවිනීතකම අපවෙත නොවිය යුතු ය. ජීවත්වීමට ගන්නා ආහාරයේ සිට, ඇඳුම පැළඳුමේ සිට සෑම ජිවන ක්‍රියා කාරකමක ම සංවරකම, විනීත බව තිබිය යුතු ම ය.

හංසයා දියෙන් කිරි වෙන් කරන්නා සේ හොඳ නරක වෙන්කර ගැනීමට අප දක්ෂ විය යුතුව තිබේ. අවිචාරවත් ලෙස දකින ඕනෑම දෙයක් අනුකරණය කරන්නට යාම තුළ අත්වන ඉරණමෙහි ඵල භුක්ති විඳින්නට වන්නේ වැඩිහිටි සමාජයට පමණක් ම නොවේ. අනවශ්‍ය අනුකරණය, අසංවර ශීලි ඇඳුම පැළඳුම, අවිනීතවත් හැසිරීම තුළ ගිලිහී යන්නේ තමන්ගේ ම ගරුත්වය යි. එහෙත් සමහර කාන්තා, පිරිමි දෙපාර්ශවයට ම එය අවබෝධ වී ඇති සෙයක් නොපෙනේ.

සමාජයේ ඇස ගැටෙන දුරාචාර අනාගත ව්‍යසනයක පෙර නිමිති පෙන්වයි. ඇස් නොපෙනෙන, කන් නෑසෙන මිනිසුන් සේ නිහඬව සිටියා හොඳට ම ප්‍රමාණවත් ය. අප වෙතින්, අපගේ බාල පරපුර වෙතින් ගිලිහී යන හර පද්ධතීන් ආරක්ෂා කර ගන්නට දැන් දැන් ම පෙළ ගැසිය යුතු ව ඇත. දහම් පාසල, පාසල, නිවස තුළ මේ සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකළ හැකිය. විශේෂයෙන් ආර්ථිකයෙන් ශක්තිමත්, සදාචාරවත් සමාජයක් බිහි කිරීමෙහිලා වෙසෙස් කාර්ය භාරයක් ඉටු කරන්නට වත්මන් රාජ්‍ය නායකත්වය වෙසෙස් වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. රටවැසියන් ලෙස අප ඊට අනුබල දෙමින් ඒ උත්සාහය මල්ඵල ගන්වන්නට කැපවිය යුතු ව ඇත. ඒ කැපවීම වර්තමානයේ ද, අනාගතයේ ද සුබ සිද්ධිය පිණිස ම ය.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]