[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැගෙනහිර සිල් සුවඳීන් සුවඳවත් කළ දීඝවාපී මහ සෑරද වන්දනා

නැගෙනහිර සිල් සුවඳීන් සුවඳවත් කළ දීඝවාපී මහ සෑරද වන්දනා

මීට වසර 12 කට පෙර ආරම්භ කරන්නට යෙදුන බෞද්ධයා රූපවාහිනී නාලිකාව හා මීට වසර 8 කට පෙර ආරම්භ කරන්නට යෙදුන බෞද්ධයා ගුවන් විදුලිය මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ මහා වෙනසක් සිදු කළේ ය.

එම වෙනස ඇති කිරීමේ පුරෝගාමියා වුයේ මීට වසර දෙකකට පෙර අපවත් වී වදාළ කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ව වැඩ විසූ දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මත දියුණුවෙන් දියුණුවට පත්වන බෞද්ධයා මාධ්‍ය ජාලය උන්වහන්සේගේ නිර්මාණයකි.

එපමණක් නොව උන්වහන්සේගේ මාධ්‍ය දායකත්වය සමගින් අනගි ආගමික, සාමාජීය, මෙහෙවරක් කළ යතිවරයාණන් වහන්සේ නමකි. මහ බෝ මහා සෑ වන්දනාව, මියගුණ සෑ වන්දනාව, සෝමවතී සෑරදුන් වන්දනාව, අටමස්ථාන වන්දනාව යනා දී අසදෘෂ මහා පින්කම් රාශියක් ක්‍රියාත්මක කළා සේම දරු දැරි සහන අරමුදල ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය, ගව අභය දානමය පින්කම්, උතුරු නැගෙනහිර වෙහෙර විහාර නඟා සිටුවීම ආදී නෙකවිධ පින්කම් උන් වහන්සේගේ ජිවිත කාලය තුළ සිදු කරන්නට යෙදුණි.

උන් වහන්සේ අවසර 54 ක් ආයු වළඳා 2018.03.03 දින අපවත් වී වදාළහ. ඉන්පසු එම භාරදූර කර්තව්‍ය වත්මන් විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ නාහිමියන් වෙත පැවරිණි. උන් වහන්සේ සිය ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාවට නංවන තරුණ සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමකි.උන් වහන්සේ සිය නාහිමියන් ගෙන ගිය සමාජීය සුබසාධන ව්‍යාපෘති වඩා වර්ධනය කරමින් කුසලධම්ම නාහිමි සිව්පස පදනම මගින් සාසනික සේවා රැසක් ඉටු කරමින් සිටී. එසේම නිවෙස් අහිමි අය වෙනුවෙන් නිවාස ඉදි කිරීම, මාර්ග සංවර්ධන ව්‍යාපෘති, පාසල් උදෙසා බුද්ධ මන්දිර ඉදි කිරීම, ජල පහසුකම් සම්පාදනය කර දීම ආදී නේකවිධ පින්කම් රාශියක් කරගෙන යනු ලබයි.

එම පින්කම් අතරවාරයේ තමන්ගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම 2019 වර්ෂයේ මාර්තු මස 03 සහ 04 යන දිනයන් හි දී ඓතිහාසික අනුරාධපුරය කේන්ද්‍රකර ගනිමින් මහ බෝ මහා සෑ වන්දනාව නමින් පවත්වන්නට යෙදුණි. එහිදී දිස්ත්‍රික්ක 25 නියෝජනය වන පරිදි දුෂ්කර විහාරස්ථාන 55 තෝරා ගෙන ඒ උදෙසා සධාතුක මන්දිර 55 ක් පුජා කරන්නට යෙදුණි.

මේ අතර වැදගත්ම දෙය දෙවර්ෂ පූර්ණ පින්කම පැවැත්වීමයි. ඒ සඳහා උන්වහන්සේ තෝරා ගනු ලැබුයේ සම්බුදු පා පහසින් පූජනීයත්වයට පත් සොළොස්මස්ථානයන්ට අයත් බුදුන් වහන්සේගේ නිය ධාතූන් වහන්සේ තැන්පත් කොට සද්ධාතිස්ස නිරිඳුන් ශාසනයට පූජා කරන්නට යෙදුණු ඓතිහාසික දීඝවාපි මහා පූජා භූමිය යි. උන් වහන්සේ පින්කම සංවිධානය කිරීම ආරම්භ කළේ ය. නැගෙනහිර දුෂ්කර විහාරස්ථාන 10 ක් උදෙසා රන් කණු 100 සහිත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් බෝධි ප්‍රාකාර 10 ක් නිර්මාණය කිරීම, දීඝවාපී රාජමහා විහාරයට පිවිසෙන මාර්ගයේ 70 කට අධික කොන්ක්‍රීට් කණු සහිත පතාක ධජ සහිත කොඩි කණු සවි කිරීම, ස්වාමින් වහන්සේලා 1000 ක් උදෙසා දියවැඩියා පරීක්ෂණ යන්ත්‍ර, හෘද ස්පන්ධනය මැනීමේ උපකරණ, ඖෂධීය මෙට්ට,කොට්ට පුජාව දේශීය හා බටහිර බෙහෙත් මංජුසා පූජාව, ඖෂධීය ගිලන්පස බඳුන් පූජාව, දේශීය හා බටහිර වෛද්‍ය සායන පැවැත්වීම ආදී නොයෙකුත් පුජාවන් උන් වහන්සේ සකස් කරන්නට යෙදුණි.

පින්වත් ඔබේ දායකත්වය දිනෙන් දින වැඩි වන්නට පටන් ගත් අතර දිනෙන් දින අති සාර්ථක පින්කමක පෙර නිමිති පහළ වන්නට විය. ඒ උදෙසා දීඝවාපි ය රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා අම්පාර මහ දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතාගේ උනන්දුව හා කැපවීම මේ පින්කම තවත් සාර්ථක කර ගන්නට උදවු විණි.

අටවිසි බෝධි ප්‍රාකාර සඳහා පූජා කරන්නට සුදානම් කළ පිළිම වහන්සේලා 280 නමක් ඉතා මනරම් රන්සිවි ගෙවල් 6 කොළඹ සිට මත වඩා හිඳුවා ගමන් කිරීම ආරම්භ කෙරිණි. මඟ දෙපස ලක්ෂ සංඛ්‍යාත සුපින්වතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙමින් මෙම රථ පෙරහර දින දෙක හාමාරකින් පසුව දීඝවාපී පුණ්‍ය භූමියට ළඟා වුණි. අදහාගත නොහැකි තරමේ විශාල ජන ගඟක් පූජා භූමියට ඇතුළත් වූ අතර මේ අතරවාරයේ සවස ගිලන්පස දානය උදෙසා ස්වාමින් වහන්සේලා 1000 කට අධික පිරිසක් වැඩම කරන්නට යෙදුණි. මේ අතරවාරයේ දී ගුවනින් මල් දැමීමේ කටයුත්ත ආරම්භ කෙරිණි. ලක්ෂ සංඛ්‍යාත සුපින්වතුන්ගේ සාධු නාද මැද මහා ආලෝක පූජාවක් පවත්වන්නට යෙදුණි. ලක්ෂ 5 කට අධික ජන ගංගාවක් නැගෙනහිර එකම පුණ්‍ය භූමියකට එකතු වූ ප්‍රථම අවස්ථාව ලෙස එම පළාතේ බලධාරීන් ප්‍රකාශ කරන්නට යෙදුණි. ධර්ම දේශනා, පිරිත් දේශනා , භාවනා වැඩසටහන්, සාකච්ඡාමය වැඩසටහන් ආදී වැඩසටහන් ගණනාවක් පැය 16 පුරාවට විකාශය කළා. විදෙස් රටවල් 100 කට අධික පිරිසක් මෙය දැක සාධුකාර පැවැත්වූහ. හෙවිසි ශිල්පීන් 100 කින් සමන්විත මහා ශබ්ද පූජා මධ්‍යයේ ඖෂධ 1008 ක මහා පූජාවක්, කිරි ආහාර පාත්‍ර 1008 ක පූජාවක්, කන්චුක පූජාවක්, සුවඳ දුමි පූජාවක්, අටපිරිකර පූජාවක්, මල් පූජාවක් ආදී සෑම දෙයකින්ම දීඝවාපී සෑ රජාණන් වහන්සේ වන්දනා කිරීමට හැකි වූ හ.

අවසානසේ එහි ප්‍රතිඵලය බවට පත් වුයේ මේ අනර්ඝ වටිනා පුණ්‍ය භූමිය නැවත ගොඩනැගීමේ අති දුර්ලභ කාර්යය සඳහා අපට අවස්ථාව ලැබීම යි. අවස්ථාව ලබා දුන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතාට සමස්ත බොදු ජනතාව වෙනුවෙන් ගෞරවය පිරි නමා සිටිමු.

මෙවැනි මහාර්ග පින්කමක් සිදු කිරීමට සහය වූ සියලුම ආරක්ෂක අංශ,සියලුම රාජ්‍ය ආයතන,බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය,පරිපාලන කමිටුව, බෞද්ධයා නාලිකාවේ සමස්ත කාර්යය මණ්ඩලය හා නන් අයුරින් උදවු උපකාර කළ පින්වත් ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරමු.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]