[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: දරුවා අචේතනික වස්තුවක් නොවේ

දරුවා අචේතනික වස්තුවක් නොවේ

බොහෝ අවස්ථාවලදී පිය පුතු ගැටුම් ඇතිවන්නේ ඉඩකඩම් වස්තුව පිළිබඳව ය. නැත්නම් දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා නිසා ය. මේ කාරණා දෙක ම ඇති වන්නේ දරුවන් හරියාකාරව නොසෑදීම නිසයි. යනුවෙන් මහාචාර්ය නන්දසේන රත්නපාලයන් දෙමාපියන් සහ දරුවන් පිළිබඳව කළ අධ්‍යයනයක දී ප්‍රකාශ කොට තිබිණි.

පුත්තා වත්ථු මනුස්සානං දරුවන් දෙමව්පියන්ට සිටින උතුම්ම වස්තුවයි. දරුවන් හදා වඩා පෝෂණය කොට සමාජයට දායාද කිරීම මව්පියන් සතු යුතුකමයි. දරුවන් මෙලොවට බිහි කරනු ලබන්නේ මව්පියන්ගේ සතුට සඳහා ද? එසේ නොවන්නේ නම්, දරුවන්ගේ සතුට වෙනුවෙන් මව්පියන් තම හැඟීම් දන් දෙනවාද? යන ප්‍රශ්නයට පිළිතුර සොයා බැලීම වඩාත් වැදගත් වෙයි. බොහෝ මව්පියන් තමන්ගේ මානසික සංතෘප්තතා දරුවාගෙන් ලබා ගන්නට යාම එයට හේතුවයි. එම ස්වභාවය තරමක් ගැටලු සහගතයි.

ළමයි හිතන්නේත්, කටයුතු කරන්නේත් ඔවුන්ගේ ලෝකවල ජීවත්වෙමින්. එම දරුවන් හිතන පතන ආකාරයෙන් කටයුතු කරන්න ඉඩ දෙන එකත්, ඒ පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් සිටින එකත් මව්පියන්ගේ වගකීමක් අම්මා, තාත්තා කියන ආකාරයටම දරුවා සිතිය යුතුය කියලා ඇතැම් අනුවණ මව්පියන් කල්පනා කළත්, එවැනි ආකාරයෙන් එසේ සිදු නොවන බවත්, එබඳු අවස්ථාවලදී ගැටුම් ඇතිවන බවත්, වැඩිහිටියන් කල්පනා කළ යුතු යි. වැඩිහිටියන් යමක් පිළිබඳව හිතන්නේ ඔවුන්ට ලබා තිබෙන අත්දැකීම් අනුවයි. ඔවුන් තීන්දු තීරණ ලබාදෙන්නේත් ඒ ආකාරයටමයි. දරුවන් හිතන්නේ පතන්නේ කටයුතු කරන්නේ ඔවුන්ට තිබෙන අත්දැකීම්වලට අනුවයි. මෙම දෙපාර්ශවය අතර ඇතිවන ගැටුම නිවැරැදිව අවබෝධ කරගැනීම වඩාත් වැදගත්.

ඇතැම් අම්මලා හිතන්නේ ඒ අයගේ මොළයට හිතන දෙය. නිවැරැදි ම එක බවයි. එයින් එහාට ගිය එයට වඩා වෙනස් පිළිතුරකට ගෙදර ඉඩක් නැැහැ. එවැනි අවස්ථාවලදීත් හිත් අමනාපකම් ඇතිකර ගන්නවා. තම දරුවන්ගෙන් පළිගන්න හිතන අම්මලා වුණත් අපේ සමාජයේ ඕනෑ තරම්. දරුවෙක් දස මසක් කුසේ තියාගෙන ඉඳලා බිහිකරන එක එතරම්ම විශාල ප්‍රශ්නයක් නොවෙයි. තමා මෙලොවට දායාද කළ දරුවාගේ චිත්තාවේග හඳුනාගෙන ඔහුත් අචේතනික වස්තුවක් නොවන බව වටහාගෙන කටයුතු කිරිම ඉතාම වැදගත්. වර්තමාන බොහෝ මව්පියන්ට බැරිවෙලා තියෙන්නේ එම කාරණාව තමයි.

ළමයින් සචේතනික පුද්ගලයන් වශයෙන් දැන හඳුනාගන්න අවශ්‍යයයි. ඔවුන්ටත් හිතන්න හැකි සිතිවිලි ගලා එන බව හඳුනාගන්න හැකිවන්නේ එවිටයි. ඕනෑම සංසිද්ධියක් පිළිබඳ ව ඔවුන්ටත් අදහසක් තිබෙනවා. යට යා නොදී එය එළියට ඇද ගැනීම වැදගත්. නිවැරැදි බව තේරුම් කරලා දීම වැදගත්. යමක් එපා යැයි කියනවා නම්, එයට හේතුව පෙන්නලා දෙන්න අවශ්‍යයයි. මේ හේතුව නිසා තමයි මම මෙය එපා කියන්නේ. කියන වග ළමයින්ට තේරුම් කරලා දිය යුතුයි. එහි හරි වැරැද්ද තේරුම් කර දීම වැදගත්. යමක් අනුමත කරනවා නම්, එයට සාධාරණ වූ හේතු පෙන්නා දෙන්න වෙනවා. එ වැනි ආකාරයට හේතු පෙන්වාදීමක් නැතිව ප්‍රතික්ෂේප කිරීමක් හෝ පිළිගැනීමක් කළ යුතු නැහැ. බුද්ධාගමේ යමක් හෝ යම් සංසිද්ධියක් පිළිබඳව දරණ ආකල්පයත් එයමයි. යමක් එපා කියලා කියනවා නම්, එයට හේතු ඉදිරිපත් කරනවා. කළයුතු දෙයක් නම්, එයටත් හේතු තියෙනවා. හේතුවලින් තොරව යම් දෙයක් පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න බුදුදහම කැමති නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ හේතුවාදී දහමක් ඉදිරිපත් කළා කියලා අවධාරණය කරන්නේ. එක ප්‍රශ්නයකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. තමන් පිළිගන්න හේතුව එකක්. තමන්ගේ ඤාණයට අසු නොවූ තවත් හේතු සාධක ඕනෑතරම් තියෙන්න පුළුවන්. ඒවා හඳුනා ගත්තේ නැත්නම්, එහිදී ප්‍රශ්නයක් මතුවෙනවා. බොහෝ විට ඒවා තමන් විසින් නොදැනුවත්කම නිසා ඇති කර ගනු ලබන ඒවා බව තමන්ම නිදහස් මනසින් යුතුව කල්පනා කර බලන විට පැහැදිලි වෙනවා. මව්පියන් හා දරුවන් අතර පවතින බොහෝ ගැටලු ඒ වගෙයි. යමක් පිළිබඳව අන්‍යයා දරන ආකල්පය වටහා ගන්න හැකි පුද්ගලයාට ප්‍රශ්න අඩුයි. එහෙම නොවන තැන ගැටලු වැඩියි. අවබෝධ පූර්වක පුද්ගලයා කියන්නේ ගැටලු වැඩි ප්‍රමාණයකට මුහුණ දුන් පුද්ගලයාටයි. පුංචි කාලේ ඉඳලම දරුවන්ට වුණත් ගැටලුවලට මුහුණ දීමට ඉඩ හැරීම අවශ්‍යයි. එයට ඔහු ලබාදුන් පිළිතුර වැරැදි නම් නිවැරැදි දෙය කියා දෙන්න අවශ්‍යයි. අද බොහෝ මව්පියන් ගැටලුවලට මුහුණ දෙන්න දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් පැනලා ඉදිරිපත් වෙලා එයට පිළිතුරු දෙනවා. දරුවන්ට පන්තියේ දෙන ගෙදර වැඩ වුණත්, එයාට වැඩ වැඩියි. කියලා හිතන මව්පියන් ඔවුන් වෙනුවෙන් ඒවාත් කරන්න ඉදිරිපත් වෙනවා. දරුවා පුරුදු කරන ආකාරය එය නොවෙයි. ගේ දොර මිදුල අතුපතු ගා පිරිසුදු කිරීම, කුස්සියේ වැඩ වුණත් දරුවාලවා කරවා ගන්න අවශ්‍යයයි. නැතිනම් ඔවුන් ඒවා පුරුදු පුහුණු වෙන්නේ කවදාද? උයන්න, පිහන්න බැරි, නිවැරැදිව වැඩක් සම්පූර්ණ කරන්න බැරි උදෑසන අවදිවෙන්න බැරි, ගැහැනු ළමයි අද සමාජයේ කොපමණ සිටිනවාද? ඒවායේ වරද එන්නේ අම්මා වෙතමයි. එහෙම නැතිනම් දරුවා විවාහ කර දීලා ගෙදර වැඩ කාරකමට යන්න වෙනවා. පුංචි ප්‍රශ්නයක් වුණත්, එයට පිළිතුරු දී ගත නොහැකිව අම්මාට දුරකතනයෙන් කතා කරන දරුවන් මොන තරම් ද?

තමන්ගේ දරුවා තමයි නිවැරැදි කියා හිතන එක හරිම අනුවණකමක්. ඒ තුළින් එම දරුවාටත් සිදුවන්නේ අසාධාරණයක්. ළමයා ඇති කරගන්න සම්බන්ධතාවය වැරැදියි. තමන් හොයලා දෙන එක තමයි හරි කියලා හිතන දෙමව්පියන් නිසා වර්තමාන ගෙවල්වල හරියට ගැටලු. හේතු සොයා බලන්නේ නැතිව යමකට විරුද්ධ වීම හරිම අනුවණකමක් හැටියටයි. බුදුදහම දකින්නේ.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]