[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුවරු මග කියන්නෝ ය

 බුදුවරු මග කියන්නෝ ය

" බුදුන් වහන්සේ විසින් ලෝකයට විවෘත කළ ධර්මය පරිපූර්ණ වශයෙන් ජීවන දර්ශනයකි. එය ඇදහීමකට වඩා පිළිපැදීමට සමීප දහමකි. බුදුරජාණන් වහන්සේලා කරන්නේ, නටබුන් ඔස්සේ පැරැණි නගරයක් මතු කරන්නාක් වැනි ක්‍රියාවකි. එය සදාතනික පරම සත්‍යයේ පණිවිඩයයි."

“බ්‍රාහ්මණ තිට්ඨතෙව නිබ්බානං තිට්ඨති නිබ්බානගාමී මග්ගො, තිට්ඨාමහං සමාදපෙතා, අථ ච පන මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනූසාසීයමානා අප්පකෙච්චෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති, එත්ථ ක්‍යාහං, බ්‍රාහ්මණ , කරොමි? මග්ගක්ඛායීහං , බ්‍රාහ්මණ තථාගතොති.”

(බ්‍රාහ්මණය, නිවනක් ඇත.

නිවනට යන මගක් ද ඇත. යොදවන්නා වූ මමද සිටිමි. මා විසින් මෙසේ අවවාද අනුශාසනා කරන විට සමහරු ඒකාන්තයෙන් නිෂ්ටාව වූ නිවනට පැමිණෙත්, සමහරු නොපැමිණෙත්, බ්‍රාහ්මණය, මෙහි මම කුමක් කෙරෙම් ද? බ්‍රාහ්මණය, තථාගත තෙම මග කියන්නේ වේ)

බුදුන් වහන්සේ විසින් ලෝකයට විවෘත කළ ධර්මය පරිපූර්ණ වශයෙන් ජීවන දර්ශනයකි. එය ඇදහීමකට වඩා පිළිපැදීමට සමීප දහමකි. බුදුරජාණන් වහන්සේලා කරන්නේ, නටබුන් ඔස්සේ පැරණි නගරයක් මතු කරන්නාක් වැනි ක්‍රියාවකි. එය සදාතනික පරම සත්‍යයේ පණිවිඩයයි. බුදුන් වහන්සේ පහළ වන අවධියේ දෘෂ්ටි ජාලයක ගැටුමක් පැවති බවත්, 62 දෘෂ්ටි අතරින් බුදුසමය ප්‍රවේශමෙන් මතු වී ඇති බව පළමුව තේරුම් ගත යුතු ය. එකල සියලු ඉගැන්වීම්වලට වඩා බුද්ධ දේශනාව විශේෂ වන්නේ එහි වගකීම පැවරෙන්නේ අන් කිසිවකුට නොව අනුගමනය කරන්නාට ය. මෙය එක්තරා පර්යේෂණයකි. ලෙඩවීම, වයසටයාම, මරණය ආදී ධර්මතා ඉදිරියේ ලෙඩ නොවී අමරණීය වන ආකාරය පිළිබඳ ආර්ය පර්යේෂණයකි. මෙහි පර්යේෂණය, නිරීක්ෂණය, නිගමනය , තම තමන් විසින් සිදු කළ යුතුය. බුදුන් වහන්සේට ගරු කිරීමට බෞද්ධයන් විය යුතු නැත. මීට වසර 2600 කට පෙර දී දෙවියන්ට වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨ බව ලෝකය ඉදිරියේ සිංහනාද කිරීම බුදුන් වහන්සේට ගරු කිරීමට ප්‍රමාණවත් වේ. වගකීම භාග්‍යවතුන් වහන්සේ භාර නොගත් අතර උන්වහන්සේ මඟ විවර කොට නිහඬ විය. බුද්ධ දේශනාවට අනුව බුද්ධ ශාසනයකින් ඉල්ලා සිටීම අසාර්ථක වෑයමකි. ඉල්ලා සිටි පමණින් ලබාදීමට ද කිසිවක් නැත. කුඩා රාහුල කුමරු දායාදය ඉල්ලා මාලිගාවේ සිට භාග්‍යවතුන් වහන්සේ පසුපසින් පැමිණි විට උන්වහන්සේ සාරිපුත්ත හිමියන් අමතා දේශනා කළේ, පින්වත් සාරිපුත්ත මේ කුඩා දරුවා දායාදය ඉල්ලා සිටියි. රැගෙන ගොස් පැවිදි කරන ලෙසයි. ශාසනික දායාදය නම් සදාකාලික නිවීමේ පණිවිඩයයි.

ධර්මය දේශනා කළ පමණින් ප්‍රතිඵල උදාකරගත නොහැකි ය. එය ප්‍රතිපදාවක්, ජීවන දර්ශනයක් ලෙස අප්‍රමාදි ව පුහුණු කළ යුතු ය. බුදුවරු මග කියන්නෝ ය. (තුම්මෙහි කිච්චං ආතප්පං – අක්ඛතාරො තථාගතො) අනුගමනය කිරීම හෝ නොකිරීම තමන් වෙත පැවරේ. බොහෝ දේශනා තුළ සසර මග හා නිවන් මග වෙන් වෙන් වශයෙන් පැහැදිලි කොට ඇත. සසර නමැති සැඩ පහරින් එතෙර වීම හෝ නතර වීම තම අභිමතය අනුව සිදුවිය යුත්තකි. බුද්ධ ශාසනයක කිසිදු බලපෑමක් නොමැත. මජ්ක්‍ධිම නිකායේ, අලගද්දූපම සූත්‍රයට අනුව ධර්මය යනු පහුරක් වැනි ය. එගොඩ වීම පිණිසම භාවිත කළ යුතු ය. සසරින් එතෙරවිය යුත්තේ තමන්ගේ ප්‍රතිපදාව හා පදන් වීර්යය අනුව වේ. බුද්ධ වචනය ක්‍රියාවට නැංවීම බුදුන් වහන්සේට කළ හැක්කක් නොවේ. එය තමන් විසින් අත්හදා බැලීමට උත්සාහවත් විය යුතු ය.

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමුවට ගණක මොග්ගල්ලාන නම් බමුණෙක් පැමිණ ඉතා පි‍්‍රයමනාප සාකච්ඡාවක යෙදී ඇත. ඔහු විමසන්නේ බුදුන් වහන්සේ අවවාද අනුශාසනා කළ පසුව සියල්ලෝම නිර්වාණගාමී වන්නේ ද යන සාධාරණ ප්‍රශ්නයයි. එවිට බුදුන් වහන්සේ දේශනා කළේ සමහරු නිර්වාණගාමී වන බවත්, සමහරු එසේ නොවන බවත් ය. එවිට ඔහු ඊට හේතු කාරණා පහදා දෙන ලෙස ඉල්ලා සිටී. භාග්‍යවතුන් වහන්සේ ගණක මොග්ගල්ලාන අමතා දේශනා කළේ

පින්වත් බමුණ, ඔබගෙන් මම ප්‍රශ්න කරමි. ඔබට කැමති ලෙස, වැටහෙන ලෙස පිළිතුරු ලබා දෙන්න.

බුදුරජාණන් වහන්සේගේ විමසීම මෙසේ ය. ඔබ රජගහනුවරට යන පාර දන්නේ ද? එසේය මම රජගහ නුවරට යන පාර දන්නේ ය.

ඔබෙන් පාර නොදන්නා අයෙක් පාර විමසුවහොත් ඔබට කිව හැකි ද?

“එසේය කිව හැකියි. මම ඔහුට මේ රජගහ නුවරට යන මගයි. මේ මග ටික දුරක් යන විට අසවල් ගම හමුවේ. අසවල් නියම්ගම හමුවේ. රමණීය මල්වතු, පොකුණු , මං සලකුණු ඔස්සේ මම ඔහුට මඟ කියමි. යනුවෙන් ගණක මොග්ගල්ලාන පිළිතුර ලබා දුන්නේ ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ විමසා සිටින්නේ මඟ අසා ගත් තැනැත්තා මග වරදවා ගතහොත් වරද කාගෙ ද යන්නයි. බමුණාගේ පිළිතුරු වූයේ මම මග නිවැරැදිව කියා දී ඇත. මග වරදවා ගැනීමට මම කුමක් කරන්නද යනුවෙනි.

එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ බමුණ, නිවනක් ඇත. නිවනට යන මගක් ද ඇත. එසේම එය පෙන්වා දෙන ශාස්තෘන් වහන්සේ ද සිටී. මම අනුශාසනා කරමි. අවවාද කරමි. එවිට ඇතැමෙක් නිර්වාණගාමී වෙති. ඇතැමෙක් නොවෙති. මේ පිළිබඳ බමුණ මම කුමක් කරන්නද යනුවෙනි. නිවීම ප්‍රත්‍යක්ෂ නොවීම භාග්‍යවතුන් වහන්සේගේ වරදක් නොවේ. එය අපගේ ප්‍රතිපදාවේ අඩුපාඩුවකි.

වර්තමානයේ නිවන්මග විමසා දැන ගැනීමේ දී, විමර්ශනශීලි විය යුතු ය. අද වන විට ධර්මයේ වේශයෙන් අධර්මය සමාජගතවී ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් එක් වරක් නොව දස දහස් වරක් විමසීමට ලක් කොට මැනවින් දේශිත ධර්මය ප්‍රවේශමෙන් ජීවිතයට ගළපා ගත යුතුය. එය පුහුණු කළ යුතු ය. බුදුන් වහන්සේ නා නා පර්යායෙන් දේශනා කොට වදාළ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ,ගාථා , උදා, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය නුවණින් විමසමින් ගලපා ගත යුතු ය. අනුන් හෙළා දැකීමේ අදහසින් හෝ තමන් හුවා දැක්වීමේ අදහසින් ධර්මය භාවිත නොකළ යුතු ය. ධර්මය වරදවා ගැනීම සර්පයකුගේ කය මැදින් හෝ නගුටෙන් අල්ලා ගැනීමක් ලෙස අලගද්දූපම සූත්‍රය විග්‍රහ කරයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් විවර කොට වදාළ ආර්ය මාර්ගය තමන්ට අවශ්‍ය මාත්‍රාවට ඖෂධයක් මෙන් ලබාගත යුතු ය.

ධර්ම විනය දන්නා ගුණවතුන් වහන්සේලා විසින් නිවීමට මාවතක් සොයන්නෙකුට, තමන් විසින් හැදෑරූ ත්‍රිපිටක ධර්මය මුල සිට ඉගැන්වීම වෙනුවට අනුගමනය කළ යුත්‍ර ප්‍රතිපදාවක් පෙන්වා දිය යුතු ය. එවිට අනුගාමිකයන් නිරායාසයෙන් බිහි වෙනු ඇත. අප සෙනෙහසින් මතක තබා ගත යුතු සත්‍යයක් ඇත. වගකීම ඇත්තේ තමන් වෙත ය. එය පිරිතකට හෝ බෝධි පූජාවකට හෝ පවරා ඉවත්විය නොහැකි ය. සැබෑවට ම බුදුන් වහන්සේ දැකිය හැක්කේ මාර්ගය අනුගමනය කිරීමෙනි. බුද්ධ ධර්මය ජීවන මාර්ගයක් කොට ගැනීම බුදුන් වහන්සේට සමීප වීමේ අවස්ථාවයි. බුදුන් වහන්සේ විවර කර දුන් නිර්වාණගාමී මාර්ගය පුද පූජා තුළින් යටපත් කර නොගත යුතු ය. බුද්ධ දේශනාව පරම්පරාවෙන් පරම්පරාවට දායාද වන්නක් නොවේ. ධම්මානුධම්ම පටිපදාව තුළ සාක්ෂාත් කළ යුතු සැබෑ ජීවන දර්ශනයකි. නිවන යනු කෙලෙස් තවන වීර්යෙන් ඔබ තුළ මතුවන ධර්මතාවයකි. බුදුවරු කලින් කලට පහළ වී මග හසර පෙන්වා දෙති. මාර්ගය වඩන වීර්යවන්තයන් මාර බන්ධනයෙන් මිදී සදාකාලික ව සුවපත් වේ.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]