[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරයෙන් ඇරැඹෙන කුලියාපිටියේ දුරුතු මහ පෙරහර සංස්කෘතිකාංගයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මහත් පිටුබලයක්

ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරයෙන් ඇරැඹෙන කුලියාපිටියේ දුරුතු මහ පෙරහර

 

සංස්කෘතිකාංගයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මහත් පිටුබලයක්

කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය මගින් වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන, මෙම වර්ෂයේත් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති කුලියාපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍යය වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ මහත් ඕනෑකමින් යුක්තව යි.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුපුරුදු ව ඇති, අප රටේ පෙරහර පැවැත්වීම පෙර රජදරුවන්ගේ සිට පැවත එන ප්‍රධාන පෙළේ සංස්කෘතික අංගය කි. කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය මගින් වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන කුලියාපිටිය දුරුතු මහා පෙරහර ද එම සංස්කෘතිකාංගයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මහත් පිටුබලයක් වනු ඇති බව නොඅනුමාන යි. එමෙන්ම 1920 ආරම්භ ව මෙම වර්ෂය වන විට සියක් වසක් සපුරනු ලබන මෙකී විහාරස්ථානය මගින් ප්‍රදේශයේ ජාතික, ආගමික සමාජයීය හා සංස්කෘතික ගුණාංගයන් වර්ධනය කිරීමෙහිලා සිදුකරනු ලබන මෙහෙයන් අතර මෙම දුරුතු මහා පෙරහර ද ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය.

වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී ස්ථවිරයන් වහන්සේගේ ආදර්ශමත් දිවියට අඩසියවසක් සපිරීමත්, විහාරස්ථානයට ශත වර්ෂයක් සපිරීමත්, අනුස්මරණය සිදුකරනු ලබන මෙම වර්ෂයේ 25 වන වරටත් පවත්වනු ලබන වාර්ෂික දුරුතු මහා පෙරහර කටයුතු සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා ! යි ප්‍රාර්ථනා කරන අතර, මෙවන් ශාසනික හා සංස්කෘතික සේවාවන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙම කටයුතු සඳහා දායකත්වය සැපයූ විහාරාධිපති ස්ථවිරයන් වහන්සේ ඇතුළු සැමට දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය සහ චිර ජීවනය ලැබේවා' යි ආශිංසනය කරම්හ.


ජාතික හා ආගමික පුනරුදයේ තෝතැන්නක්

අනුබුදු මිහිඳු මා හිමියන් විසින් ඇතිකරන ලද බෞද්ධ ප්‍රබෝධය මෙරට ආගමික සහ සාමාජීය පරිසරය තුළින් නව පරිවර්තනයක් ඇති කරන ලද හ. එදවස පටන් ගමයි – පන්සලයි -වැවයි-දාගැබයි යන උදාර සංකල්පය අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ත්, සමෘද්ධිය ත්, මේ යැයි මුළු ලොවට ම හඬ ගා කියන අභිමානය බවට පත්වූයේ එහෙයිනි. මෙම පරිවර්තනය, ලක්දිව ධාර්මික සමාජයක් ගොඩනැගීමට හේතු විය. තවද චිත්‍ර කලාව, සංගීතය, වෙද හෙදකම, විහාර කර්මාන්තය, ගොඩනැගිලි ශිල්පය. වාරි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තා දී ක්ෂේත්‍ර ගණනාවක් පුරා, බෞද්ධ ආභාෂයෙන් ම පෝෂණය වූයේ මේ නිසා ය.

එමෙන්ම පන්සල හා බැඳුණු දේශිය සංස්කෘතිය විදේශ ආක්‍රමික යුගවල පවා යම් පසුබෑමකට ලක්වුව ද, එහි වූ සුවිශේෂි සබැඳියාව නිසා ම අප රට යළිත් පුනර්ජීවයක් ලද්දේ ය. එනයින් බලන කල දෙස – බස – රැස රැක ගැනීම වස් මහා සංඝයා වහන්සේගෙන් මෙරට ජනතාවට සිදුවු සේවය සහ ආදර්ශය, යළි යළිත් අප විසින් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වන්නේ එබැවිනි. ගිහි පැවිදි ජනතාව අතර වසර දහස් ගණනක් පුරා විහිදෙන මේ ශක්තිමත් බැඳීම අද දවසේ ද එකසේ රැකගෙන ඒම ඉතා ප්‍රශංසනීය ය . මේ අනුව බලන කල වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන කුලියාපිටිය – ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය ද ඉහතින් සඳහන් කරන ලද ජාතික හා ආගමික පුනරුදයේ තෝතැන්නක් බව කිව යුතුව ඇත. එමෙන්ම එහි වර්තමාන විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියප්ති ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේගේ පනස් වන උපන් දිනය සැමරීම, ශාසනාලංකාර විහාරස්ථ දුරුතු මහා පෙරහරට වසර විසි පහක් සම්පූර්ණ වීමත්, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය සිය වසක් සැමරීමත් යන ත්‍රිවිධ අවස්ථාවන් සැමරීම 2020 නව වසරේ දී කුලියාපිටිය ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව ට සුවිශේෂී ආගමික උද්‍යෝගයක් බව නොකිව මනාය. “තමාගේ ධර්මානුගත පැවැත්ම නිසා ධාර්මික පී‍්‍රතිය බහුල කොට ඇති බුදු සස්නෙහි පැහැදුණු භික්ෂු නම සංස්කාරයන්ගේ සංසිඳලීම නම් වූ ශාන්ත සැපය ලබන්නේ ය.” යනු බුදු වදනට අනුව පල්ලේකාගම රතනභාරතී ස්ථවිරතුමන් ද, තම අශ්මදාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායයේ අනුනායක පණ්ඩිත මහාචාර්ය කබලෑවේ ශ්‍රී පියභාරති මාහිමිපාණන් වහන්සේගේ අඩිපාරේ යන, ගුරු ගෞරවය සියතින් දරාගෙන ශාසන චිරස්ථිතිය උදෙසා කැපවුණ සුපේෂල ශික්ෂාකාමී තරුණ හිමිනමක් බව සඳහන් කළ යුතු ව ඇත.

ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙහි දායක සභාව , පෙරහර කමිටුව, සමිති සමාගම් සහ සංවිධාන සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහාය ද අපේ පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේට ලැබීම නිසා උන්වහන්සේ විසින් කරගෙන යනු ලබන ආගමික සහ ශාසනික සේවාවන් තව තවත් දියුණුවීමට බලපා ඇති බැව් නොකියාම බැරි ය. බෞද්ධ සිද්ධස්ථානවල පවත්වනු ලබන සාම්ප්‍රදායික දාන, සීල, භාවනා ආදී පින්කම් ආදියට අමතර ව බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍යාගමික ජනතාවගේ ද ආකර්ශනය සහ සබැඳියාව ඇතිකර ගැනීම සඳහා පෙරහර විශේෂාංගය ද මහත් අත්වැලක් වී ඇත. විශේෂයෙන් ම අපගේ දේශිය අනන්‍යතාවය රැකෙන, මෙවන් වටිනා සංස්කෘතික අංගයන් තුළින් අද රටට අවැසි සහජීවනය සහ සබැඳියාව ඇතිකර ගැනීමට නිතැතින් ම හේතුවනු ඇත. විසි පස් වසරක් පුරා ඉතා විශිෂ්ට වූ සංස්කෘතික අංගයක් වශයෙන් පවත්වාගෙන එනු ලබන දුරුතු පෙරහරට පස් විසි වසර සැමරීම, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ශත සංවත්සරය සැමරීම, පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේගේ පනස් වැනි ජන්ම දිනය සැමරීම ඉතා උදාර ශාසනික ක්‍රියාවක් බව පැසසුම් මුවින් කිව යුතුව ඇත.

මෙවන් මාහැඟි වැඩසටහන් ඉදිරියේ දී ද පැවැත්වීමටත්, අවශ්‍ය ශක්තියත්, බලයත් පූර්ණ මහජන සහයෝගයත්, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් ප්‍රධාන දායකකාරකාදීන්ටත් අදාළ සංවිධායක මණ්ඩලයටත් නොඅඩුව ලැබේවා ! යි ද ප්‍රාර්ථනා කරම්හ.


වයඹ පළාතේ ම සංස්කෘතික මංගල්‍යයක්

කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරයේ ප්‍රථම විහාරාධිපති ලෙස කම්මට්ඨානාචාර්ය කට්ටමුරිච්චානේ සිරි සුභාරති මාහිමිපාණන් වහන්සේ වැඩවිසූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී සරණංකර මහාචාර්ය කබලෑවේ පියභාරති මාහිමිපාණන් වහන්සේ 1999 වර්ෂය දක්වා ම විහාරස්ථානයේ අභිවෘද්ධියට අනූපමේය සේවාවක් ඉටු කළ හ. තම ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ගේ අපවත්වීමෙන් අනතුරුව, වර්තමාන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති ස්ථවිරයන් වහන්සේ පත් වූහ. 1970 උපත ලද පල්ලේකාගම රතනභාරති ස්ථවිරයන් වහන්සේට 2020 වර්ෂය වන විට උපතින් වසර පණහක් සපිරේ. ඉතා ක්‍රියාශීලි, බුද්ධිමත්, බහුශ්‍රැත උදාර ගුණයන්ගෙන් හා භික්ෂු ගුණාංගයන්ගෙන් උපලක්ෂිත වූ තෙරනමක් බව සිහිපත් කරනුයේ මනා අවබෝධයකින් යුක්තව ය.

1994 දී ආරම්භ කරන ලද දුරුතු මහා පෙරහරට 2020 වන විට විසිපස් වසරක් සපිරේ. තම ගුරුදේවයන් වහන්සේගේ මග පෙන්වීම අනුව සිදුකරන එම පෙරහර වයඹ පළාතේ ම සංස්කෘතික මංගල්‍යයක් ලෙස දුරුතු මහා පෙරහර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. ශාසනාලංකාර මහා විහාරයට සිය වසරක් පිරීම 2020 වර්ෂයට සම්පූර්ණවීම නිමිති කොට ගෙන පෙරහරට සම්බන්ධ විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබීම ඉතා කාලෝචිත ය. වැදගත් සිහිවටනයන් ත්‍රිත්වයක් මෙම වර්ෂයට යෙදී තිබීම ශාසනාලංකාර විහාරය ලත් භාග්‍යයක් කොට සැලකිය හැකි ය.

මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වී විකාශනය වූ මෙරට ථෙරවාදී සංඝ සමාජය තුළ චාරිත්‍ර ධර්මයන්ට ගරු කරමින් ඉමහත් සේවාවන් සිදු කරන වර්තමාන භික්ෂු පරපුර අතර රතනභාරතී ස්ථවිරයන් වහන්සේ පැවිදි දිවිය තුළ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබමින් ආගමික සාමාජික, සංස්කෘතික වශයෙන් සිදුකරන ලද සේවාව අති ප්‍රශංසනීය වේ. එවැනි භික්ෂූන් වහන්සේලා අද සමාජයේ විරල ය. ශාසනාලංකාර විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට රතනභාරතී ස්ථවිරයන් වහන්සේ ගන්නා උත්සාහය අති විශිෂ්ඨය.

නව වසර ආරම්භයේ දී ම ශාසනාලංකාර විහාරස්ථානය නව පිටුවක් පෙරළන සංධිස්ථානයක් ලෙස, ශාසනාලංකාර, ඉතිහාසයට එකතුවනු නොඅනුමාන ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අග්‍රාමාත්‍යවරයෙකු මෙම දුරුතු මහා පෙරහරට පැමිණෙන ප්‍රථම අවස්ථාව ලෙස ද සනිටුහන් වනු ඇත. දුරුතු මහ පෙරහර සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි පතන අතර, සිය වසරක් සපිරෙන ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයට බෞද්ධ ප්‍රබෝධය තුළින් නව ජීවයක් හා ප්‍රගතියක් උදාවේවායි කියා ද උපතින් පනස් විය සපිරෙන රතනභාරති ස්ථවිරයන් වහන්සේට ත්‍රිවිධරත්නයේ බලයෙන් චිර ජීවනය සහිත නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


සැමට පුණ්‍යානුමෝදනා කරමි

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය දීර්ඝ ඉතිහාසයක් ඇති පුණ්‍ය භූමිය කි. බෞද්ධ අබෞද්ධ සැමට මානසික සුවයක් ලබා දෙන ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වනවා පමණක් නොව දැකුම්කළු රමණීය විහාරාලංකාරයෙන් උපලක්ෂිත ආගමික තෝතැන්න කි.

එහි ඉතිහාසය ගැන කතා කිරීමේ දී 1900 වර්ෂයේ සිට විටින් විට ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ අවශ්‍යතාවය මත ගොඩනැගෙන්නට සැලසුම් ගොඩනගමින් විත් ප්‍රභූ සැදැහැවත් බෞද්ධයන් පිරිසකගේ අප්‍රතිහත ධෛර්ය තුළින් 17,18,19 කාලවකවානුව තුළ සමිති සමාගම් බිහිවූ බව හා ධර්ම දේශනා ආදිය පවත්වා තර්ජන ගර්ජන වලට බෞද්ධ ජනකොටස් මුහුණ දුන් බව ශාසනාලංකාර විහාර වංශයේ සඳහන් වේ.

1919 පුෂ්පදාන සමිතියේ නුගවෙල අදිකාරම්තුමා ,හල්පේ බණ්ඩා රටේ මහත්තයා, අප්පුහාමි කෝරළේ මහත්තයා ආදි පිරිසක් එකතු වී පන්සල ස්ථාපිත කිරීමට සාකච්ඡා කරන ලදී. ඇස්සැද්දුම වලව්වේ අප්පුහාමි කෝරළේ මහතා ඉඩමක් පරිත්‍යාග කිරීමට ද ඉදිරිපත් විය. විවිධ ගැටුම් ඇතිවීම කරණකොට ගෙන ලයනල් ජයතිලක මැතිතුමාගේ පියා වන ඒබ්‍රහම් පෙරේරා මැතිතුමා ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව ද සඳහන් වේ. පොලිසිය හා පොදු ජනයා අතර ගැටුම් ද ඇති විය. මේ කරුණු මත අද දිස්වන සේ ඇති විහාරස්ථානයට යාබද කුඹුරේ පිල්ලෑවේ 1919 ධර්ම ශාලාවක් ඉදිකරන ලදී. මේ කාලයේ දී ම පැරැණි විහාර මන්දිරයේ ඉදිකිරීම් ද ආරම්භ විය. 1921 ශාසනාලංකාර සමිතියක් ආරම්භකොට පොල් අතු සෙවිලි කළ බණමඩුව ඉදිකොට ධර්ම දේශනයක් ද පවත්වා ඇත. 1921-1926 කාල වකවානුව තුළ විවිධ පින්කම් සිදුකළ අතර ස්ථීර ලෙස භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටි බව සඳහන් නොවේ.

ශාසනාලංකාර සමිතියේ දායක පිරිස් මීරිගම ශාසනවර්ධන පිරිවෙනට ගොස් වස් විසීමට භික්ෂුන් වහන්සේ නමක් ලබා දෙන ලෙස එවකට එහි විහාරාධිපතිව සිටි මහෝපාධ්‍ය කදිරාගම සුමනසාර හිමිපාණන්ට ආරාධනාකර සිටියෙන් එම, විහාරයේ වැඩසිටි එහි නියෝජ්‍ය පරිවේනාධිපති ධුරය දැරූ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී වියත් බහුශ්‍රැත තරුණ භික්ෂූන් වහන්සේ ශාසනාලංකාරයේ වස්විසීමට වැඩම කරන ලදී. වස් කාලයෙන් අනතුරුව දායක පිරිසගේ ආරාධනය පරිදි උන්වහන්සේ එහිම වැඩ සිටීමට ආරාධනය භාර ගත් හ. උන්වහන්සේ මගේ අත්තා කෙනෙකු බව ද මෙහි සඳහන් කිරීම වටනේ ය. එතැන් පටන් ශාසනාලංකාර ඉතිහාසයට ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් පැවත එන විවිධ බුද්ධිමත්, උගත්, බහුශ්‍රැත පණ්ඩිත මහා තෙරවරුන් විහාරාධිපතින් වහන්සේලා සහ අන්තේවාසික මහ සඟරුවන ලෙස වැඩසිටිය හ. විශාල ආගමික නවෝදයක් උදාවිය. අද රජයට පවරාගෙන ඇති ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලය ආරම්භ කරන ලද්දේ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ ය.

ප්‍රථම විහාරාධිපති මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව සිය ශිෂ්‍ය කබලෑවේ පියභාරතී මාහිමියන් විහාරාධිපතිත්වයට පත්වූ හ. ශ්‍රී ශාසනාලංකාර මහා විහාර පිරිවෙණක් ද ආරම්භ වු අතර එතැන් පටන් ස්වර්ණමය යුගය ආරම්භ විය. ශාසනාලංකාර මහා විහාරය වෙහෙර විහාර වලින් සමලංකෘත විහාරාංග කරවීම ප්‍රථම විහාරාධිපති මාහිමිපාණන්ගෙන් ආරම්භ වී ඒවා දියුණු කරවීම තත් විහාරාධිපති හිමිපාණන් වහන්සේ විසින් සිදුකරන්නට යෙදුණි. ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙන් ආරම්භ වු ශාසනික සේවය තුළ නව විහාරස්ථාන ඉදිකරන්නට යෙදුණි. මල්වාන් ගෙදර ශ්‍රී මුනින්දාරාමය, දීගල්ල සිරි සුභාරතීන්දාරාමය, කිරින්දව නිධාංගල ශ්‍රී ශෛලබිම්බාරාමය , ඉළුක්හේන සිරි විජයසුන්දර පිරිවෙන, දික්හැර ශ්‍රී සද්ධර්මෝදය, කුලියාපිටිය ධර්මාශෝක බෞද්ධ මධ්‍යස්ථානය , කුලියාපිටිය තබ්බෝමුල්ල සිරි වර්ධනාරාමය, කරගහගෙදර, නීග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, කරඹලාන ධර්මාශෝක යන විහාරස්ථානයන් ඉදිවන්නට විය.

ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ආධිපත්‍ය උසුලමින් 1969 සිට 1999 වර්ෂය දක්වා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරති මා හිමිපාණන් වහන්සේ ආගමික, සාමාජීය අද්විතික මෙහෙවරක් සිදුකළ අතර උන්වහන්සේ 1994 දී දුරුතු මහා පෙරහර ආරම්භ කොට වසරින් වසරට දියුණු තත්වයට පත් කරන්නට යෙදුණි. අනුනා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු එහි විහාරාධිපතිත්වයට පත්වුයේ ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේ වන මම ය. අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ගෙන ආ ආගමික සාමාජිය කටයුතු නොපිරිහෙලා ඉදිරියට ගෙන එමින් ඒවා වැඩි දියුණු කරලන්නට ඉමහත් කාර්ය සාධනයක් සිදු කළ හ.

ශාසනාලංකාර මහා විහාරයේ 2020 ජනවාරි 04 වෙනි දින වෛද්‍ය සායනයක් පැවති අතර 05 වෙනි දින ලේ දන් දීමේ වැඩසටහනක් සහ පැල බෙදාදීමේ වැඩසටහනක් ද, ජනවාරි 18 වෙනි දින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සඟ සතු දානමය පුණ්‍ය කර්මයක් ද, නොමිලයේ ඇස් කණ්ණාඩි ලබාදීමේ අවස්ථාවක් ද, ගැබිණි මව්වරුන් පනහකට අවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් ද, එදින රාත්‍රී 7.00 ට කඳුබොඩ සියනෑ භාවනා මධ්‍යස්ථානාධිකාරි ශාස්ත්‍රපති කම්මට්ඨානාචාර්ය දියසෙන්පුර විමල හිමිපාණන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්විණි.

ජනවාරි මස 31 වෙනි දින 25 වන වරටත් දුරුතු මහා පෙරහර විථී සංචාරය කිරීමට නියමිත ය. මෙහි විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකයකු පැමිණෙන පළමු අවස්ථාව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සධාතුක සර්වඥධාතු කරඬුව සුබ මොහොතින් මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීම යි.

ඓතිහාසික දුරුතු පෙරහර සඳහා ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයෙන් සිදු කරනු ලබන මෙම සංස්කෘතික මංගල්‍යයට පින් කැමති ඔබ සැමට ශාසනාලයෙන් යුතුව ආරාධනා කරන අතර මෙම උදාර පුණ්‍ය මහෝත්සවය සඳහා ආධාර උපකාර කළ සැමට පුණ්‍යානුමෝදනාපූර්වක පින් අනුමෝදන් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.


පුණ්‍යොත්සව රැසක් සංවිධානය කිරීම අගනා පින්කමක්


ධර්මකාමී ශික්ෂිත සමාජයක් වෙනුවෙන් සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඉටු කරනුයේ සුවිශේෂී ශාසනික මෙහෙවරකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේ ද දැහැමි බෞද්ධ සමාජයක උන්නතිය වෙනුවෙන් එවැනි සුවිසල් ශාසනික මෙහෙවරක නිරත වෙති.

පූජ්‍ය රතනභාරති මාහිමිපාණන් වහන්සේ බුද්ධ ධර්මයේ හරය හා ගැඹුර පිළිබඳ වර්තමාන සමාජයට අර්ථ ධර්ම අනුශාසකත්වයෙන් , මගපෙන්වීමෙන් සිදුකරන මෙහෙවර ප්‍රශංසනීය ය.

කුලියාපිටිය ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ආදි කර්තෘවර අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී නාහිමිපාණන් වහන්සේ වැඩසිටි මෙම පුණ්‍ය භූමියට වසර සියයක් පිරීම නිමිති කොට ආගමික පුණ්‍යොත්සව රැසක් සංවිධානය කිරීම අගනා පින්කමක් ලෙස මම දකිමි.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙම විහාරස්ථාන මූලික කර ගනිමින් සිදු කෙරුණු අතීත ආගමික මෙහෙවරත්, සමාජීය මෙහෙවරත් ගිහි පැවිදි සැමගේ සිත්සතන් සනහන සහ ආගමික භක්තිය දනවන ආකාරයට අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට වැඩ සිටි සියලු මහා තෙරුන් වහන්සේලා කළ කැපවීම මේ රජත ජයන්තිය සමරන මොහොතේ මම ගෞරවයෙන් සිහිපත් කරමි.

දශක දෙකකට අධික කාලයක් පවත්වනු ලබන දුරුතු මහා පෙරහර සංස්කෘතික මංගල්‍යය ද බෞද්ධ සංස්කෘතික ප්‍රගමනයට හේතු වේ. ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේ විසින් බුද්ධ උපස්ථානයක් ලෙස පවත්වනු ලබන මේ පුණ්‍යොත්සව මාලාවත්, පෙරහර මංගල්‍යයත්, සත්කෝරළයට පමණක් නොව මුළු රටටම ආශිර්වාදයක් වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.


අතිශයින් සතුටට පත්වෙමි

කුරුණෑගල, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ශත සංවත්සරය සැමරීමත්, ඇතුගල් පුරවරයෙහි පැවැත්වෙන ප්‍රධාන පෙරහරක් වන දුරුතු මහා පෙරහරට විසිපස් වසරක් පිරීමත්, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේගේ පනස්වන උපන්දිනය සැමරීමත් යන ත්‍රිවිධ අවස්ථා වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ ව මම අතිශයින් සතුටට පත්වෙමි.

මෙම විහාරස්ථ අනුලා කුළඟණ සමිතිය මඟින් 1994 වර්ෂයේ දී සංඝමිත්තා පෙරහරක් ප්‍රථමවරට පැවැත්වීම ද, ඉන් අනතුරුව දුරුතු මහා පෙරහර නමින් පෙරහර මංගල්‍ය සෑම වර්ෂයක ම ජනවාරි මාසයේ අඛණ්ඩ ව පවත්වාගෙන ඒම හා 2020 වර්ෂය දක්වා ම ක්‍රමක්‍රමයෙන් විධිමත් ලෙස විකාශනය වෙමින් වයඹ පැවැත්වෙන විශාල මහා පෙරහරක් ලෙසට පරිවර්තනයවීමට අවකාශය ලැබීම භාග්‍යයක් කොට සැලකිය හැකි ය. 25 වෙනි වරටත් දුරුතු මහා පෙරහර පැවැත්වීමේ ගෞරවය ගෞරවණීය විහාරාධිපති මාහිමිපාණන් වහන්සේට සහ පෙරහර කමිටුවට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

ගෞරවණීය පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේ, එම විහාරාධිපති පණ්ඩිත මහාචාර්ය කබලෑවේ පියභාරතී අනුනායක මාහිමිපාණන් වහන්සේ ගුරුකොට 1983 වර්ෂයේ ප්‍රවෘජිත භාවයට පත්වී ගුරු හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ විහාරාධිපති ධූරයට පත් වූ අතර මෙම පැවිදි දිවිය තුළ කළ උදාර මෙහෙවරට, පනස් වසරක් සපිරෙන මෙවන් මොහොත ගෞරවයෙන් සිහිපත් කළ යුත්තකි.

ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ සිදුවන අසිරිමත් ආගමික පුණ්‍යොත්සවයට මාගේ ගෞරවනීය සුභාසිංශනය පිරිනමමි.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]